අතට ලැබුණු විප්ලවීය අවස්ථාව අත් නොහරිමු!

The Flying Child, Quint Buchholz

– අජිත් පැරකුම් ජයසිංහ, 2018 දෙසැම්බර් 9 අනිද්දා පුවත්පතෙනි.

සති කීපයකට පෙර මෙම පුවත්පතට අපි මෙසේ පැවසුවෙමු. “මේ වන විට පැන නැගී තිබෙන බල අරගලය ……. හදිසියේ පැනනැගුණ තත්වයක් ලෙස අප දකින්නේ නැත. මෙම අර්බුදය පැනනගින්නේ ම, පවත්නා ක්‍ර‍මය රැකගැනීම සඳහා වඩා මර්දනකාරී පාලනයක් ඉල්ලා මධ්‍යම පන්තියේ පහළ තලය තුළ මතු වූ ජනප්‍රියවාදී රැල්ලත් සමගයි. බල අරගලයේ මුල එතැනයි. ජනාධිපති සිරිසේන  අසු වන්නේ එම රැල්ලේ බලපෑමට ය. මහින්ද රාජපක්ෂ ඉතා නිවැරදිව එතැනට ඇදී එයි. මේ වන විට එම බල අරගලය ප්‍ර‍ජාතාන්ත්‍රික සීමා තුළ සිදු විය හැකි උපරිම තලයට පැමිණෙමින් තිබේ.  එහි ප්‍ර‍තිඵලය පූර්ණ අරාජිකත්වයකි. ඉතා අසීරුවෙන් පවත්වාගෙන ගිය ආර්ථිකයක් මතට මෙම බල අරගලය කඩා වැටීම නිසා මෙම සමාජ ක්‍ර‍මය ඉතා ඉක්මණින් මුළුමනින් ම බිඳවැටෙන්නට අවස්ථාව උදා වී තිබේ. මේ වන විටත් රටේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත තත්වයකට පත් වී හමාර ය. මෙය විප්ලවීය මොහොතකැයි අප කියන්නේ ඒ නිසා ය. ජනතාවනි, විප්ලවීය අරගල, ජාතික විමුක්ති අරගල, හමුදා කුමන්ත්‍ර‍ණ ආදී ඕනෑම ආකාරයක පඹගාලක පැටලීමට සූදානමින් සිටින්න.”

දිනෙන් දින ම තත්වය තීව්‍ර‍ වෙමින් තිබේ. අප පුරෝකථනය කළ ඇතැම් දේ සිදු වන ලකුණු පහළ වෙමින් තිබේ. මේ අතර බොහෝ දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙස නෙත් යොමාගෙන සිටිති. එමගින් කුමන තීන්දුවක් දුන්නත් මෙම අර්බුදය විසඳෙන්නේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ පියවර අනුමත කළහොත් එතැන් සිට පාර්ලිමේන්තු ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට කුමක් සිදු වේ ද යන ප්‍ර‍ශ්නය අපට තිබේ. 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේ මූලික ම අරමුණ වූයේ ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීමයි. එසේ තිබියදී පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ගෙන එන තර්කය පිළිගතහොත් සිදුවන්නේ ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනාධිපතිවරයාට ලැබීමයි. එය 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණුවලට මුළුමනින් ම පටහැණි වන අතර, එයින් ජනාධිපතිවරයාට ලැබෙන අසීමිත බලය 1978දී විධායක ජනාධිපති ක්‍ර‍මය ඇති කරද්දී ලබා දුන් බලතල ද ඉක්මවා යන තත්වයක් නිර්මාණය කරයි.

අපගේ විග්‍ර‍හය වන්නේ මේ වන විට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට මුළුමනින් ම පටහැණි රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණයක් දියත් කර තිබෙන බවයි. ඔහු එයට මහින්ද රාජපක්ෂ ද පටලවා ගත්තේ ය.  ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමෙන් මෙම තත්වය මනාව පැහැදිලි වේ. ඔහු විසින් පළ කරන ලද අදහස ලංකාදීප පුවත්පත වාර්තා කළේ මෙසේ ය:

“ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 38(2) (අ) වගන්තිය තුළ මනාව පැහැදිලි කර ඇති බව නීතිපතිවරයා පෙන්වා දුන්නේය.

“එම වගන්තියට අනුව ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන අවස්ථාවක ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දෝශාභියෝග යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා වැඩිදුරටත් කීය.

“ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ඒ පිළිබඳ අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතු බව ද පෙන්වා දුන් නීතිපතිවරයා එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.”

නීතිපතිවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවයි. එහෙත්, ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කර තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නම් , මේ මොහොතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට නොගොස් වෙන කුමක් කරන්න ද?

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන තුන ම පඹගාලක පැටලවීමට මෙම කුමන්ත්‍ර‍ණයේ නියමුවා වන මෛත්‍රීපාල සිරිසේන සමත් වී තිබේ. කෙසේ වෙතත්, අප නම් කියන්නේ උදා වූ මෙම විප්ලවීය අවස්ථාව නාස්ති නොකර ගත යුතු බවයි. ලංකාවේ දේශපාලන ගැටලුවට ව්‍යවස්ථාවෙන් විසඳුම් සෙවිය නොහැකි ය. විප්ලවීය ක්‍රියාමාර්ගයක් ඔස්සේ ව්‍යවස්ථාව නිශ්චිත කාල වකවානුවකට තාවකාලිකව අත්හිටුවා සම්පූර්ණයෙන් ම අලුත් ආණ්ඩුක්‍ර‍මයක් සම්පාදනය කිරීමට මෙම අවස්ථාව යොදාගත හැකි ය. එය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් වන්නේ නැත. මන්ද, අප සිටින්නේ ජනාධිපතිවරයකු විසින් දියත් කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණයක් විසින් අරාජික කරන ලද දේශපාලන සංදර්භයක් තුළ නිසා ය. එය ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තිරසර ලෙස ස්ථාපිත කිරීමේ විප්ලවයකි.

එය එතනින් එහාට ද විහිදේ. මේ වන විට ප්‍ර‍ධාන ණය ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශක තුනක් විසින් ශ්‍රී ලංකාව පහත හෙළා තිබේ. ලබන අවුරුද්ද වන විට ණය ගෙවීම සඳහා තවදුරටත් ණයගැනීම බරපතල ගැටලුවක් බවට පත් වනු ඇත. දැවැන්ත අකාර්යක්ෂම රජය නඩත්තු කරගැනීමට හෝ නොහැකිව සිටියදී පසුගියදා පත් වූ හොර කැබිනට් මණ්ඩලය විසින් තව තවත් හෙංචයියන් රජයේ සේවයට පුරවන ලදී. ඒ මදිවාට රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය ද දස දහස් ගණනින් රජයේ රැකියා ම ඉල්ලාගෙන පොලිසිය මරාගෙන කන්නට බලාගෙන පැමිණෙති. මහජනතාවට ලබන අවුරුද්දේ අධික බදු බරකට අමතරව තම ඉතුරුම් කැපකිරීමට පවා සිදු වන්නට ඉඩ තිබේ.

සංචාරක කර්මාන්තය බිමට ම හාන්සි වන තත්වයක් මතු වී තිබේ. සංචාරක කර්මාන්ත ව්‍යවසායකයෝ තම ක්ෂේත්‍රයේ උත්සවයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන්නේ නම් තමන් එය වර්ජනය කරන බව කියමින් විරෝධය පළ කළ හ. ඉතිහාසයේ කෙදිනකවත් ව්‍යවසායකයන් ජනාධිපතිවරයකුට මේ අන්දමින් විරෝධය දක්වා නැත.

ආර්ථික අර්බුදය කළමනාකරණය කර නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කරන්‍නට හැකියාවක් නැත. ණය උගුල මැද ලංකාවේ ආර්ථික අර්බුදය කළමනාකරණය කරගැනීම අතිශය සංකීර්ණ කාර්යයක් වන අතර එහිදී විකල්ප රැසක් ද අප හමුවේ නැත. විනයගරුක, කැපවීම් කරන, අවදානම් දරාගන්නට සූදානම් විප්ලවීය අධිකාරියක් යම් නිශ්චිත කාලයක් සඳහා පත්කරගන්නට අවශ්‍ය බව අප යෝජනා කරන්නේ එබැවිනි. එමගින් ණය අර්බුදය කළමනාකරණය කරමින්, හැමෝම පටි තද කරගෙන, නාස්තිය පිටුදැක, ඵලදායිතාව නංවමින්, රට සංවර්ධන මාවතේ ස්ථාවර කරන්නට පියවර ගත යුතු ය. නැතිනම්, ලංකාවට මේ සති පහ තුළ තව තවත් ගැඹුරට කණින ලද මෙම අගාධයෙන් ගොඩ එන්නට ලැබෙන්නේ නැත. කමින්, බොමින්, ලොව වටා රවුම් ගසමින්, මහජන මුදල් නාස්ති කරමින්, කානිවල් තබමින් විනෝද වන නායකත්වයකට ලංකාව ගොඩ ගත නොහැකි ය. රටට අවශ්‍ය ජනතාවට ආදර්ශයක් වන නායකත්වයකි. නිශ්චිත කාලයක් සඳහා උපරිම කැපකිරීම කරමින් අවදානම දරාගන්නට සූදානම් නායකත්වයකි.

නැවත මැතිවරණ පැවැත්විය යුත්තේ අප සඳහන් කළ ආකාරයේ විප්ලවීය අධිකාරියක් යටතේ අධිකරණය, රජය, පොලිසිය වැනි ආයතනවල පදනම් දේශපාලනයට සෙලවිය නොහැකි ලෙස ශක්තිමත් කරමින්, රටේ අනාගතයට ගැලපෙන නව ව්හ‍යවස්ථාවක් නිර්මාණය කිරීමෙන් අනතුරුව ය. අප මුහුණ දී සිටින තත්වය පිළිබඳ මහජනතාවත් සමග විවෘත සාකච්ඡාවක් පවත්වාගෙන යා යුතු ය. රජයට කරන්නට පුළුවන්, බැරි දේවල් විවෘතව ජනතාවට පැවසිය යුතු ය. බොරු බලාපොරොත්තු දී ජනතාව නොරැවටිය යුතු ය. රට ම රට වෙනුවෙන් වැඩ කරන්නට යොමු කළ යුතු ය. දේශපාලකයන්ගේ සිට රාජ්‍ය නිලධාරීන් හරහා මහජනතාව දක්වා දැඩි විනයක් ‍‍ගොඩනැගීම මෙහිදී අත්‍යවශ්‍ය ය. එවැනි විප්ලවීය වගකීමක් භාරගැනීමට සූදානම් කවුරු ද?

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *