අපට තිබෙන ආර්ථික ප්‍රශ්නය මොකක් ද?

Keerthi Kariyawasam Adලංකාවෙ වාමාංශික ව්‍යාපාරය මතවාදී තලයෙදි හරි ප්‍රබලයි. වමට බලයක් නැතිකම එතනදි අදාළ නැහැ. සමස්තයක් ලෙස ලංකාවෙ මිනිසුන්ගෙ විඥානය බොහෝ දුරට වාමාංශිකයි. ඒ නිසා අපට තිබෙන සකල පිරිපතවලට හේතුව ධනවාදය, නව ලිබරල්වාදය, ධනේශ්වර සූරාකෑම එහෙම කියලයි අප සිතන්නෙ.

අප ජීවත් වන්නෙ ධනේශ්වර සමාජයක වුණාට අප සිතන ආකාරය බොහෝ දුරට සමාජවාදීයි. එය එහෙම වීම ආරම්භ වුණේ දෙවන ලෝක යුද්ධයටත් පෙර සිට වෙන්නට පුළුවන්. විශේෂයෙන් ම 1956න් පසුව ලංකාව ධනවාදයෙන් වේගයෙන් විතැන් වෙමින් සමාජවාදී, සුබසාධනවාදී ආර්ථිකයක් වෙත නැඹුරු වුණා. රාජ්‍ය දේපල රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් බවට පත් වුණා. රජය ආනයන, අපනයන, නිෂ්පාදනය, බෙදාහැරීම් පමණක් නොවෙයි සිල්ලර වෙළඳාම පවා සියතට ගත්තා.

මේ රාජ්‍ය මූලික සමාජවාදී ආර්ථිකය ඇතුළෙ අවුරුදු 20ක් විතර යනකොට ඒක හිර වුණා. ඒ හිර වීමේ ප්‍රතිඵලයක් තමයි 1977 ආණ්ඩු පෙරළිය හා ආර්ථිකය විවෘත කිරීම.

1978දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මූලිකත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වුණා. එහිදී ඔහු රටේ නම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙස නම් කළා. බොහෝ අය මේ සමාජවාදී කෑල්ලට විහිළු කළාට ජේ.ආර්. ඒ කාලෙ නුගේගොඩ තිබුණු රැළියකදී ඒ වචනය යොදන්නට හේතුව පැහැදිලි කළා. ඔහු කීවේ අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක් රාජ්‍ය හා සමාජවාදී දේපල බවයි. ඒ වන විටත් රජය පිඟන් කෝප්ප, උළු ගඩොල්, සපත්තු පවා හදමින් හිටියා. ඒ විතරක් නෙමෙයි, හාල් තුනපහත් විකිණුවා. දැවැන්ත සමාජවාදී පද්ධතියක් වන සමුපකාර ව්‍යාපාරය රජය සමග බද්ධ කරගෙනයි තිබුණෙ.

අද දක්වාත් ලංකාවේ සමාජ ක්‍රමය පූර්ණ ධනවාදී ක්‍රමයක් නෙමෙයි. තවමත් අපේ රටේ ඉතා ප්‍රබල රාජ්‍ය අංශයක් තිබෙනවා. භාණ්ඩ නිෂ්පාදනය, වානිජමය සේවා, බෙදාහැරීම්, අලෙවිය, ආනයනය, අපනයනය, ප්‍රවාහනය, මුල්‍ය වැනි අංශවලින් දැන් රජය බොහෝ දුරට ඉවත් වෙලා තිබෙනවා. ඒත්, තවමත් තෙල්, ගෑස්, විදුලිය වැනි බලශක්ති ක්ෂේත්‍ර ලිබරල් කර තිබෙන්නේ ඉතා සීමිතවයි.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ජල සම්පාදනය, වාරි කළමනාකරණය වැනි අංශ ලිබරල්කරණය සම්බන්ධයෙන් සමාජයේ දැවැන්ත විරෝධයක් තිබෙනවා. ඒවා රජයේ පාලනය තුළ තබා ගත යුතු බව තමයි මහජන මතය.

ඒත්, මේ වන විට ලංකාවේ රජය අධික ණය බරකට උර දී සිටිනවා.

විගණකාධිපතිගේ මහජන ණය කළමනාකරණ වාර්තාවේ සඳහන් වන ආකාරයට 2016 වසර අවසන් වන විට සෑම ශ්‍රී ලාංකිකයකු ම වෙනුවෙන් රජය රු. 417,913ක් ණය වී තිබෙනවා. මෙම ඒක පුද්ගල ණය බර 2016 වසර ඇතුළතදී 12%කින් වැඩි වී තිබීමත් සුවිශේෂ ලක්ෂණයක්.

සාමාන්‍යයෙන් රජය විශාල වශයෙන් ණය ලබා ගත් යුගයක් ලෙස සැලකෙන රාජපක්ෂ පාලනය තුළ 2005දී රු. 108,908ක් වූ ඒක පුද්ගල ණය බර 2014 අවසන් වන විට රු.357,233 දක්වා ඉහළ ගොස් තිබිණි.

වත්මන් පාලනය තුළදී ද රජයේ ණය ගැනීම් නිසා එ්ක පුද්ගල ණය බර රු. 60,680කින් වැඩි වී තිබේ.

රජය මේ තරම් ණය වුණේ අපට මොනවා කරලා ද? අද වන විට අප මුහුණ දී තිබෙන ලොකුම ප්‍රශ්නය මේ ණය බරයි. මේ ණය බර නිසා මහජනතාව වන අපට අධික ලෙස බදු ගෙවන්නට සිදු වී තිබෙනවා. ණය ගෙවන්නට රජය තව තවත් ණය ගන්නවා. මේ ඔක්කොම මැද අපට රජයෙන් හරි හමන් සේවාවක් ලැබෙන්නේත් නැහැ. අප මේ ණය බරින් ගැලවෙන්නේ කොහොමද?

ලංකාවේ රජයෙන් යැපෙන මධ්‍යම පංතිය අති විශාලයි. සංඛ්‍යාත්මකව ගත්තොත් ඔවුන් ලක්ෂ 20කට වැඩියි (විශ්‍රාමිකයන් ද සමග). ඒ කියන්නේ ජනගහනයෙන් 10%ක් විතර. දේශපාලකයන්ගේ සිට රජයේ සේවකයන් දක්වා විශාල පරාසයක් තුළ මෙම මධ්‍යම පංතික ස්ථරය විහිදෙනවා. ලංකාවේ රජය ඇත්තට ම පවතින්නේ ඔවුන්ට වැටුප් හා වෙනත් වරප්‍රසාද ලබා දෙන්නටයි. රජය කරන ප්‍රධාන සේවය වන්නේ මේ 10% නඩත්තු කරන එකයි. එය සාධාරණීකරණය කිරීමට පමණක් ප්‍රමාණවත් මට්ටමින් රජය මහජනතාවට සේවා සපයනවා.

ලංකාවේ ජනතාව සූරාකන ප්‍රධාන ධනපති සමාගම් මොනවා ද කියා ඇහුවොත් ඔබට දෙන්නට තිබෙන පිළිතුර මොකක් ද? ඔබ නම් කරන ඕනෑ ම සමාගමක් ලබන ලාභයට වඩා රජය ඒ සමාගමෙන් බදු ගන්නවා. සිගරැට්, අරක්කු, වාහන වගේ දේවලින් ඒ භාණ්ඩවල වටිනාකම වගේ කීපගුණයක් බදු ගන්නවා. දුරකථන ඇමතුමකින් වුණත් රජය ලබා ගන්නා බද්ද සමාගමේ ලාභයට වඩා වැඩියි.

රජය තමයි අපට තිබෙන ලොකුම පීඩාව. අපි ක්‍රමය වෙනස් කරන්නට කතා කරනවා නම් වෙනස් කරන්නට ඕනැ මෙන්න මේ රාජ්‍යය.

– අජිත් පැරකුම් ජයසිංහ (2018 මාර්තු 11 මතුගමදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ඉදිරිපත් කළ කතාව වෙනුවෙන් කළ සිතුවිලි ගොනු කර ගැනීම)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *