අප රනිල් රකිනවා ද?

රනිල් මෛත්‍රී
කලියුග කාලෙට උපන්න
නුවණක්කාරයො දෙන්නෙක්

අප රනිල් ආරක්ෂා කරන බව කියන අයගේ දැනගැනීම සඳහා ලියමි. කොච්චර ලිව්වත් හෙටත් එය ම කියන නිසා මීට කලිනුත් මෙය ලිව්වා සේ ම නැවතත් ලියන්නට සිදු වන බව ද දනිමි.

අපට රනිල් සමග කිසිදු පයුරුපාසානයක් නැත. අප රනිල් පසුපස තබා කිසිදු දේශපාලකයකු, නිලධාරියකු පසුපස ප්‍රතිපත්තියක් ලෙස ම යන්නේ නැත. එසේ නො ගිය බවට ඔබට ඔප්පු කරන්නට ඇති සාක්කිය නම් අප තවමත් මේ ආණ්ඩුව සමග කිසිදු නිල සම්බන්ධයක් නැති වීමයි. එහෙයින් අපට මෙය තිබුණත් එක ය. නැතත් එක ය.

අප වැඩ කරන්නේ යම් දේශපාලන අරමුණක් වෙනුවෙන් මිස කිසිදු පුද්ගලයකු වෙනුවෙන් නොවේ. රනිල් යනු පුද්ගලයකු ලෙස ගරු කරන්නට තරම් වටිනාකම් ඇති අයෙකු ලෙස අප නම් සලකන්නේ නැත.

අප සහාය දෙන සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවාදැයි සරලව කියන්නේ නම් ඒ මෙසේ ය:

  • පෞද්ගලික ව්‍යවසායකත්වයට මුල් තැන දීම
  • රජය ව්‍යවසායන්ගෙන් ඈත් වී බදු, පරිපාලනය, ආරක්ෂාව, ව්‍යාපාර නියාමනය, නීතියේ ආධිපත්‍යය, මහජන සුබසාධනය, සමාජාරක්ෂාව දිළිඳුකම දුරලීම වැනි කාරණාවලට මූලික අවධානය යොමු කිරීම
  • රාජ්‍යය ප්‍රමාණාත්මකව කුඩා හා වඩා කාර්යක්ෂම එකක් බවට පත් කිරීම
  • රජයේ මධ්‍යම පංතික ආධිපත්‍යය තුලනය කිරීම හා වැඩකරන ජනතාවට හා ව්‍යවසායකයන්ට රාජ්‍යය තුළ වැඩි බලයක් ලබා දීම.
    ගෝලීය ආර්ථිකය හා දේශපාලනය සමග සුබවාදීව කටයුතු කිරීම
  • රාජ්‍යය තුළ ස්ත්‍රී-පුරුෂ, ජාතික ආදී සමානාත්මතාවන් තහවුරු කිරීම.

රනිල් අපට වැදගත් සාධකයක් වන්නේ මෙම දේශපාලන අරමුණෙහිදී පමණි. එහිදී එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස වැදගත් වන අතර, මේ මොහොතේ එහි නායකයා රනිල් ය. රනිල් නායකත්වයෙන් එළවිය යුතු බව අප ද පිළිගන්නා මුත්, එජාපට තිබෙන ගැටලුව වන්නේ රනිල් ආදේශ කළ හැකි නායකයකු නැතිකමයි. නායකයකු ලෙස සිටින දෙවැන්නා සජිත් ප්‍රේමදාස වන අතර ඔහු ශක්තිමත් දේශපාලන පෞරුෂයක් නොවේ. රනිල් තවමත් නායකත්වයේ සිටින්නට එය ම ප්‍රධාන හේතුවකි. වෙනත් සුදුස්සකුට ඉදිරියට ඒමට ද සජිත් බාධාවකි. රනිල් මෙම තත්වය සිය වාසිය උදෙසා පාවිච්චි කරයි. කෙසේ වෙතත්, රනිල් වෙනුවට වෙනත් නායකයකු ගොඩනගා ගැනීම එජාපයේ අභ්‍යන්තර වැඩක් මිස, පිටින් සිටින අපට කළ හැකි දෙයක් නොවේ.

දැන් ගෝඨාභය රාජපක්ෂ ද ඉදිරියට ගනිමින් සිටින්නේ මෙම වැඩසටහන ම ය. ඒ හැර වෙනත් පාරක් නැතිකම එයට හේතුව යි. අප ගෝඨාභයට විරුද්ධ ඔහුගේ කුරිරු අතීතය හා ජාතිවාදී ප්‍රතිගාමිත්වය නිසා ය.

මහින්ද රාජපක්ෂ විසින් පිරිමි, සිංහල, බෞද්ධ, ගොවිගම, මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුත් ජාතික රාජ්‍ය ධනවාදී සමාජ ක්‍රමය උපරිමයට ගෙන ආවේ ය. වාමාංශිකයන්ට ඊට වඩා යමක් කළ හැකි නම්, ඒ මේ රාජපක්ෂ ක්‍රමය රතු පැහැ ගැන්වීම පමණි. අප වම ගැන කිසිදු බලාපොරොත්තුවක්, විශ්වාසයක් නො තබන්නේ එම නිසා ය.

ලංකාවේ සමාජ ක්‍රමයට යම් සුසමාදර්ශීය වෙනසක් අවශ්‍ය ය. එය ධනේශ්වර ප්‍රහාරයක ස්වරූපයෙන් සිදු වීමට ඉඩ ඇති අතර, කොයි තරම් හානිකර දෑ සිදු විය හැකි මුත් එයට ඉඩ දීම හැර ලංකාවට ඉදිරියට යාමට වෙනත් මාවතක් නැත.

අප මේ මොහොතේ දේශපාලනය තෝරන්නේ එතැන සිට ය. එකතැන පල් වෙන්නට කැමති අය අප සමග අමනාප වුණාට කමක් නැත.

අපට රනිල් හිටියත් එක ය. මකබෑවුණත් එක ය.

Please follow and like us:

6 thoughts on “අප රනිල් රකිනවා ද?

  1. පැරා, ලංකාවේ දේශපාලන පක්ෂවලට ප්‍රතිපත්ති නැහැ! අඩුම තරමින් 77 න් පස්සේ නැහැ… ඒ නිසා ක්‍රියාත්මක වෙන්නේ බලයේ ඇති ආණ්ඩුවේ නායකයාගේ ප්‍රතිපත්තියයි. ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා පාලන කාලයන් දිහා බැලුවොත් මේක පැහැදිලියි. මේ ප්‍රතිපත්ති වලට ශක්තිමත් බුද්ධිමය දායකත්වයක් දෙන්න හෝ විරුද්ධත්වයක් දක්වන්න පුලුවන් නියෝජිතයොත් නැහැ, වැඩිමනත් ජනතාව අතින් තේරීපත්වෙන්නේ බුද්ධිහීනයො නිසා. මහින්ද විශේෂ වෙන්නේ මේ ක්‍රමය ඇතුලේ තමාගේම ප්‍රතිපත්තියක් හෝ දර්ශනයක් නැතිව බලයට පත්වෙච්ච නිසා. එයාගේ කාලේ ප්‍රතිපත්ති හැදුවේ පක්ෂයේ නොවන නමුත් වටේ හිටපු පී.බී., බැසිල්, ගෝඨා, විමල් වගේ අයට ඕනෑ විදියට. මේ ක්‍රමය ඇතුලේ දැනට තමාගේම ප්‍රතිපත්තියක්, දර්ශනයක් තියෙන සහ පක්ෂයක් හසුරුවන පුද්ගලයෙකුට ඉන්නේ රනිල්… ඕක තමයි අර්බුදය! යූ.එන්.පී.යට ඇති ප්‍රතිපත්තියක් නැහැ! දැන් ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්තිය රනිල්ගේ. ඉතින් ඒ ප්‍රතිපත්ති වලට එකඟ වෙන්න පුලුවන් තාක් කල් මොන අඩුපාඩු මැද්දේ වුනත් ඉතිං සහයෝගය දෙන්න තියෙන්නේ රනිල්ට තමයි. යූ.එන්.පී.ය ඇතුලේ රනිල්ගේ දර්ශනයට බුද්ධිමය දායකත්වයක් දෙන්න පුලුවන් නියෝජිතයො අතලොස්සකුත් නැතුව නෙවෙයි, හර්ෂ, ඉරාන් වගේ. ඒත් රනිල්ගේ වැඩ කලාව නිසා එයාලට අවස්ථාවක් නැති එක අපරාදයක්… සිරිසේන ගැන නම් කතා නොකර ඉමු. එයාගේ ප්‍රතිපත්තිය තමයි ප්‍රතිපත්තියක් නැති එක. එයාගෙන් බලාපොරොත්තු වෙච්ච නිර්පාක්ෂිකව ඇණයක් නොවී ඉන්න එක පැත්තක තියලා, නොදන්න රෙද්දවල් කරන්න ගිහින් එයා හැමදේම විනාස කරලයි තියෙන්නේ. කොහොමත් මැතිණිටත්, චන්ද්‍රිකාටත් ඇරෙන්න නිදහස් පක්ෂේ ප්‍රතිපත්ති තිබුනු නායකයෝ හිටියේ නැහැ. බණ්ඩාරනායකගේ ඉඳන් කලේ බලයට එන්න අන්තවාදියොත් එක්ක දීග ගිය එක… කොහොමත් රනිල් යන්න හදන පාරට වඩා විකල්පයක් නැති බව ගෝඨගේ ප්‍රතිපත්ති දිහා බැලුවම පේනවා. ඒකත් එක්ක එන ඒකාධිපති වියරුව වැලඳගන්න තරම් මෝඩ ජනතාවක් ඉන්න එක තමයි අද රටේ අර්බුදය! අද ඔය වර්ජන තර්ජන කර කර ආන්ඩුවේ වැඩපිළිවෙලට බාධා කරන අතරේ, රටේ මුකුත් වෙන්නෑ කිය කිය අඬන වෘත්තීය සංගම් වලට උත්තර ගෝඨගෙන් හම්බෙන දවස අපිට බලාගන්න පුලුවන් වෙයි…

  2. /* අපට රනිල් හිටියත් එක ය. මකබෑවුණත් එක ය. */

    මට නම්:
    රනිල් ඉන්නවාට වඩා මකබෑවුණොත් හොඳය.
    මෛත්‍රී ඉන්නවාට වඩා මකබෑවුණොත් හොඳය.
    මහින්ද නඩය නම් මකබෑවුණොත් පමණක් හොඳය.

    1. ඔයා උම්බෑ ගෑවත් එකය. නැතත් එකය. ඔයා මොකාද කියා සැමොම දනී

      1. සැවොම දන්නවා නම් එයත් මට නම් ලොකු දෙයකි.
        උම්බෑ ගෑම හා සම්බන්ධ කතාව මට නොව ඔබටත්, අන් සියලු දෙනාටත් අදාළ ය.

  3. මට නම් එසේනැත. බොරු රැඩිකල් වචන යනු පොර ටෝක් පමනකි. ඇත්ත කතාව මේ නිශ්චිත මොහොතේ රනිල් යනු වැදගත් සාධකයක් බවත් , අතීතයේ බහුතරය ඔහු පිළිබදව කියැවූයේ වැරදියට බවත් ඒ නිසාම අද රට තීරණාත්මක අගාධයකට පත්ව ඇති බවත්ය. අපේ රටේ බුද්ධිමත් යැයි කියා ගන්නා සිවිල් බලයක් සහිත ජන මනස වෙනස් කිරීමේ හැකියාව ඇත්තන් විසින් අපේ රටේ අවිචාරවත් ජනතාව වෙත කරන ලද බලපෑම නිසා රනිල්ට රටේ පාලන බලය මෙහෙයවීමේ ප්‍රධානියා වීමට නොහැකි විය.
    එය ඔහුගේ පරාජයක් ලෙස පොදුවේ සියලු ජනතාව කල්පනා කලද සැබවින්ම පරාජයට පත්වූයේ සමස්ත රට බව මගේ විශ්වාසයයි.
    ඔහුට මේ මොහොතේත් නැගෙන බරපතල චෝදනාවක් වන සෘජු තීරණ ගැනීමට නොහැකිවීමේ බරපතල බාධාව ඔහුට ඉහලින්ව විධායක බලය පැවතීමයි. බලය ලැබු සියලු අවස්ථාවල ඔහුට සිදුවූයේ දැලි පිහියෙන් කිරි කෑමටයි. මතුපිටින් තත්ත්වය විග්‍රහ කරන්නවුන් කරන්නේත් අවිචාර විචාරය පමනක්මය.

  4. > පෞද්ගලික ව්‍යවසායකත්වයට මුල් තැන දීම
    ආව ගමන්ම හැම ව්‍යාපාරයකටම වාර්ෂික රු. 60,000/= බද්දක් නිමය කලා.

    -> විදුලිය නිතරම ඇනහිටින නිසා විදුලි ජනක යන්ත්‍ර නැතුව වැඩක් කරන්න බැහැ.
    සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් නැවැත්තුව නිසා, සංචාරක ව්‍යාපාරය හාන්සියි.

    > රජය ව්‍යවසායන්ගෙන් ඈත් වී බදු, පරිපාලනය, ආරක්ෂාව, ව්‍යාපාර නියාමනය, නීතියේ ආධිපත්‍යය, මහජන සුබසාධනය, සමාජාරක්ෂාව දිළිඳුකම දුරලීම වැනි කාරණාවලට මූලික අවධානය යොමු කිරීම

    -> නීතියේ ආධිපත්‍ය ඇත්තෙම නැහැ. ආණ්ඩුවම මහ බැංකුව හොරා කෑව.
    පාරක යන්න බැහැ කැඩිල, යටිතල පහසුකම් බල්ලට දාල.

    > රාජ්‍යය ප්‍රමාණාත්මකව කුඩා හා වඩා කාර්යක්ෂම එකක් බවට පත් කිරීම
    -> වරාය චීනෙට කුණු කොල්ලෙට විකුණුව (නිෂ්පාදන වියදමට බඩුවක් විකුණන ගොනෙක් ඉන්නවද?)
    මැතිවරණ ක්‍රමය කාල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙගුණ කලා
    අගමැති කෝටි 60 වාහන ගත්ත

    > රජයේ මධ්‍යම පංතික ආධිපත්‍යය තුලනය කිරීම හා වැඩකරන ජනතාවට හා ව්‍යවසායකයන්ට රාජ්‍යය තුළ වැඩි බලයක් ලබා දීම.
    -> නිර්ධන පාන්තික මහේන්ද්‍රන් මහා බැංකු අධිපති කලා
    දුප්පතුන්ගේ දුක දන්න මලික් සමර වික්‍රමට ආර්ථික කළමනාකරණය දුන්න.

    > ගෝලීය ආර්ථිකය හා දේශපාලනය සමග සුබවාදීව කටයුතු කිරීම
    -> වොක්ස්වැගන් කර්මාන්තශාලාව පිහිටෙව්ව.
    පාසල්වලට ටැබ් දුන්න.
    සිංගපුරුව එක්ක රහසිගත වෙළඳ ගිවිසුමකට ගියා (රහසිගත වුනහම කොහොමද හරකෝ ව්‍යවාසකයෝ මේවගේ වාසිය ගන්නෙ)

    > රාජ්‍යය තුළ ස්ත්‍රී-පුරුෂ, ජාතික ආදී සමානාත්මතාවන් තහවුරු කිරීම.
    -> අනේ මන්ද චාමර… මට ගහපන් පොල්ලකින්…..

    කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා වෙන එකේ…
    කඩේ යන්න ඕන වුනහම රනිල් වුනත් නව ලිබරල් මොලයක් වෙන එක අහන්න දෙයක්ද…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *