අප සිංහල බෞද්ධකමට විරුද්ධ විය යුතු ද?

 

ඡායාරූපය උපුටා ගත්තේ sinhalabuddhist.blogspot.com වෙතිනි

ලෝකයේ කිසිදු සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා හොඳ යයි කිව නො හැකි ය. සෑම සංස්කෘතියක් ම පසුබිම් වන්නේ කිසියම් ඉතිහාසයක්, උරුමයක්, භූගෝලීය පසුබිමක්, භාෂාවක් වැනි දේ මත ය. එසේ ම සංස්කෘතිය නිරන්තරයෙන් වෙනස් වන දෙයකි. අනෙක් පැත්තෙන් සංස්කෘතිය යනු යම් සමාජයක සාමාන්‍ය තත්වයක් මිස සමාජයේ සියලු දෙනාට අනිවාර්ය වූ තත්වයක් ද විය යුතු නැත. නිදසුනක් ලෙස, සිංහලයන් හැම කෙනෙකු ම බෞද්ධයන් වන්නේ නැත.

සිංහලයන් අතරින් කොටසක් ජාතිවාදී, ආගම්වාදී, ගෝත්‍රවාදීන් වූ පළියට මම නම් මගේ ජාතිය හෙළා නො දකිමි. සිංහලයන් ලෙස විශේෂයෙන් ආඩම්බර වන්නට හෝ කණගාටු වන්නට හෝ දෙයක් නැත. සිංහලකම අප ලද උරුමයකි. අප හැදුනේ ම සිංහල භාෂාවේ හා සංස්කෘතියේ බලපෑම සහිත ලෝකයකයි. සිංහල ජාතිය ගැන ආඩම්බර වන්නට ඕනෑ නම් ඒ සඳහා ද ඕනෑ තරම් දේ තිබේ. සුළුතර ජාතීන් පෑගීම නම් කණගාටු වන්නට ‍කාරණයකි. එහෙත්, එසේ ය කියා අප සිංහල ජාතිය පිටු දැකිය යුතු නැත. තමන්ගේ ජාතිය ගැන ඇගයීමක් නැති කෙනෙකුට වෙනත් ජාතියක් ගැන ඇගයීමක් තිබේ යයි සිතිය නො හැකි ය.

වාමාංශික, ලිබරල්වාදී බොහෝ දෙනෙක් දෙමළාගේ හෝ මුසල්මානයාගේ ප්‍රශ්නය ගැන බෙහෙවින් සංවේදී වෙති. එහෙත්, සිංහලයාගේ ප්‍රශ්නය ගැන ඔවුන් එපමණ ම සංවේදී ද?

සිංහලයාගේ ප්‍රශ්නය? සිංහලයාට මොන ප්‍රශ්නයක්දැයි අසන අයත් සිටිති.

ලංකාව සිංහල ආධිපත්‍යයෙන් යුත් රාජ්‍යයකි. එහි විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ, හමුදා, පොලිස්, රාජ්‍ය, පළාත් පාලන පමණක් නොව භාෂා, සංස්කෘතික ආදී සෑම සියලු ක්ෂේත්‍රයක ම ආධිපත්‍යය ඇත්තේ සිංහලයන්ට ය. වෙනෙකක් තබා සිංහල කම්කරුවන්ට ගෙවන වැටුප දෙමළ කම්කරුවන්ට වඩා වැඩි වන අවස්ථා පවා තිබේ. එහෙව් රටක සිංහලයන්ට මොන ප්‍රශ්නයක් ද?

සිංහලයන්ට තිබෙන ප්‍රශ්නය වන්නේ මේ ආධිපත්‍යය ගිලිහී යාම පිළිබඳ ඇති බියයි.

ආධිපත්‍යවාදය ප්‍රජාතන්ත්‍රවාදී නැත. එහෙත්, වත්මන් ලෝකය ආධිපත්‍යවාදයන් ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාතන්ත්‍රවාදය අගයයි. එවැනි සංදර්භයක් තුළ සිංහලයාට ද ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරමින් ලෝකය සමග පැවතිය නො හැකි ය. සිංහලයාට ප්‍රජාතන්ත්‍රවාදය ගැටලුවක් වන්නේ සුළු ජාතීන්ට ද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට සිදු වූ විට ය.

සුළුතර පාතීහු ජාතික හිමිකම ඉල්ලා සිටිති. දේශපාලන බලය වෙනුවෙන් සටන් කරති. තමන් බහුතරය ලෙස ජීවත් වන ප්‍රදේශවල තමන්ගේ ම පාලනයක් පිහිටුවා ගැනීමට උත්සාහ කරති. තම ජනතාව පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඉල්ලා සිටිති.

සුළු ජාතීන්ගේ මේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ලබා දීමට සිංහලයා බය ය. එ් ඇයි?

සිංහලයා මේ රටේ බහුතර ජාතිය වුව ද, ඔහු ජීවත් වන්නේ සුළුතර මානසිකත්වයකිනි. මන්ද, හුදකලා ජාතියක් වන තමන් කලාපීය සංදර්භයකදී සුළුතර ජාතියක් වන බව ඔහු දන්නා හෙයිනි. මෙම සංකාව සිංහල ජාතිකවාදියකු විසින් ප්‍රකාශ කරන ආකාරය බලන්න.

“ශ්‍රී ලංකාවේ වර්ග කිලෝ මීටර් හැටපන් දහස්‌ හයසිය තිස්‌ දෙක වටා කවයක්‌ ඇඳි විට බහුතරය වන්නේ සිංහලයන්ය. ඒ කවය ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ තමිල්නාඩුවත් හසුවන සේ ඇන්දහොත් බහුතරය දෙමළ වනු ඇත. එම කවයම ශ්‍රී ලංකාවත් මැදපෙරදිගත් තමිල්නාඩුවත් හසුවන සේ ඇන්දහොත් අති බහුතරය මුස්‌ලිම් වනු ඇත. බහුතරය දෙමළ වනු ඇත. අති සුළුතරය සිංහල වනු ඇත. මේ තත්ත්වය ජාත්‍යන්තර හබන් කුකුළන් විසින් භාවිතයට ගනු ඇත.” – මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, කැලණිය විශ්වවිද්‍යාලය. (දිවයින 2014 – 06 – 29)

සිංහල ජාතිවාදීන් අවබෝධ කර නො ගන්නා කාරණයක් වන්නේ ලංකාවේ දෙමළ හා මුස්ලිම් ජාතිකයෝ ද මේ ආකාරයෙන් ම සිතන බවයි. විශේෂයෙන් ම ලංකාවේ උතුරේ දෙමළ ජනයා තමන් දකුණු ඉන්දියානුවන්ට වඩා උසස් ජාතියක් ය යන ස්වෝත්තමවාදී මානයෙන් පෙළෙති. ලංකාවේ දෙමළ ජනයා පැත්තෙන් තමිල්නාඩුව සමග එක් වීමේ යෝජනාවක් කිසිදු කලෙක ඉදිරිපත් වී නැත. ලොව පුරා දෙමළ ජනයා එක් වී දෙමළ රාජ්‍යයක් බිහි කර ගනිමු ය යන යෝජනාව ද එවැනිම මිථ්‍යාවකි. ලංකාවේ දෙමළ මිනිසුන්ට අවශ්‍ය තමන්ගේ ඊලමක් මිස වෙනත් දෙමළ රාජ්‍යයක් නො වේ. ඔවුන්ගේ ජාතිවාදී රාජ්‍යයෙන් කඳුරට දෙමළ ජනයා පවා බැහැර කර තිබේ.

මුස්ලිම් ජාතිකයන් අතර ද භේද එමට ය. ඒවා පැත්තකින් තබමු. ලංකාවේ මුස්ලිම් මිනිසුන් තමන්ගේ ජාතියේ අය යයි අරාබිකාරයෝ සලකනවා ද? අඩු තරමේ මාලදිවයින් ජාතිකයෝවත් එසේ නො සලකති.

ඒ නිසා එක පැත්තකින් මේ බිය හුඹස් බියකි. එහෙත්, සිංහලයාගේ හුදකලාභාවය තුළ මෙයට යුක්තියුක්තභාවයක් ද නැත්තේ නැත. ‍දෙමළ මුස්ලිම් ජාතීන්ට කිසියම් මහා සංස්කෘතියක් සමග ඇති බැඳීම සිංහලයාට නැත.

දෙමළ මුස්ලිම් ජාතිකයන්ට එවැනි මහා සංස්කෘතියකින් අත් වූ සෙතක් තිබේ ද යන්න විමසා බැලුවහොත් ඇත්තෙන් ම මෙම බිය ද තුරන් කර ගත හැකි ය. කෝ තමිල්නාඩුවේ මහා දෙමළ සංස්කෘතිය විසින් යාප‍නයේ දෙමළ අරගලය ආරක්ෂා කර තිබේ ද? තමිල්නාඩු දේශපාලකයන් ද ලංකාවේ දෙමළ ජාතිකයන්ට ගැසුවේ ගේම් නො වේ ද?

ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ස්ථාපිත කිරීම යන කාරණයේදී සුළු ජාතීන්ට අති විශාල වගකීමක් තිබේ. එහි මුල්ම පියවර සිංහලයාගේ සුළු ජාතික මානසිකත්වය තේරුම් ගැනීමයි. ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී සුළු ජාතීන් මහත් සේ වගකීම් සහගත වීම අත්‍යවශ්‍ය ය. මන්ද, සිංහලයා බෙදුම්වාදී ප්‍රවණතා ඉවසන්නේ නැත. ඔහු එයට එරෙහිව දිවි හිමියෙන් සටන් වදියි. ලෝකයේ ජාතික ආධිපත්‍යවාදී රාජ්‍ය සංදර්භයක් බවතින තත්වයක් තුළ සිංහලයා තමන්ට තිබෙන රාජ්‍ය හිමිකම දුර්වල කර ගැනීමට කැමැති වන්නේ නැත. සුළු ජාතීන්ගේ වෙන් වීමේ ප්‍රවණතා යනු ලංකාව ලේ විලක් කිරීමේ මාර්ගයක් මිස සාමය සඳහා මගක් වන්නේ නැත. මේ ඇත්තට මුහුණ නො දී ලාංකීය රාජ්‍යය ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ප්‍රතිසංස්කරණය කළ නො හැකි ය.

ලංකාවේ සුළු ජාතීන් යනු තවත් සුළු ජාතියක ආධිපත්‍යයට යටත් වී සිටින පිරිසකි. මෙතැන මහ ජාතිය කියා සැබෑ එකක් නැත. එහෙයින් පීඩක ජාතිවාදයකින් ගැලවීමට සටන් කරන සුළු ජාතික ජාතිවාදය වඩා ප්‍රගතිශීලී ය වැනි සංකල්ප ඒ ආකාරයෙන් ම මෙතැනට අදාළ නැත.

සමස්තයක් ලෙස ජාතිවාදය ඉදිරිගාමී හරයකින් තොර ය. එහෙත්, ජාතිවාදය සමග අප අරගල කළ යුත්තේ පරිස්සමෙනි. හේතුව එය බලලෝබීන් ඉතා පහසුවෙන් තම වාසිය පිණිස නවා ගන්නා දෙයක් වීමයි. දේශපාලන හරයකින් තොර ඊනියා සිංහල බෞද්ධ විරෝධය හා කොන්දේසි විරහිත සුළු ජාතිවාදී ප්‍රේමය යනු එක ම කාසියේ දෙපැත්තයි.

Please follow and like us:

4 thoughts on “අප සිංහල බෞද්ධකමට විරුද්ධ විය යුතු ද?

  1. //ලෝකයේ කිසිදු සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා හොඳ යයි කිව නො හැකි ය….//

    ඕක cultural marxists ලා ගේ බොරු කතාවක්… අනිවාර්‍යෙන්ම සමහර සංස්කෘති අනික්වාට වඩා හොදයි…

    සමලිංගිකත්වය, ආගම අත් හැරීම මරනීය වරදක් විදිහට සලකන වර්තමාන අරාබි-වහබි සංස්කෘතියට වඩා ‘සමකාලීන’ (මේ වචනය වැදගත් ) බටහිර යුදෙව් ක්‍රිස්තියානු, පෙරදිග බෞද්ධ/ හින්දු/ කොන්ෆියුසියස් සංස්කෘති හොදයි…
    බිලිදුන් වංගෙඩියේ කෙටූ 19 සියවසේ සිංහල සංස්කෘතියට වඩා ඒකාලයේ පැවතුනු වික්ටෝරියානු සංස්කෘතිය හොදයි…
    පුද්ගලයා යනු රාජ්‍යේ වහලෙක්ය කියා සැලකෙන චීන මාවෝවාදී හෝ උ.කොරියානු ‘ජුචි’ සංස්කෘතීනට වඩා පරිභෝජනවාදී බටහිර සංස්කෘති හොදයි…
    මේ කිසිදු ස\ස්කෘතියක් perfect නෑ… නමුත් උසස් පහත් බව සැසදීමක් කරන්න පුලුවන්..

    මේ වීඩියෝව බලන්න..

    https://www.youtube.com/watch?v=m9vBJCMD69w

    1. දිනේෂ් ඩි සූසා කියන කතාවෙි ඇත්තක් නැතුවම නෙවෙි.ඒත් ඇමරිකන් සමාජය ඔය කියන තරමට ශ්‍රෙෂ්ඪයිද?60 ගනන් දක්වා කලර් බාර් තිබුණ නේද?

  2. මම නම්, සිංහල බෞද්ධ සංස්කෘතිය ට එරෙහි වන්නේ එය මගේ ජීවනෝපාය වී ඇති හෙයිනි. එයින් මම දැන් සෑහෙන කලෙක සිට හොඳ ආදායමක් උපයමි. බ්ලොග් පඩංගු කිහිපයක් සහ ෆේස්බුක් ප්‍රොෆයිල කිහිපයක් නඩත්තු කරමින් හැකි තරම් සිංහල බෞද්ධ සංස්කෘතිය ගැරහීමට ලක් කරමි. ඉඳ හිට පොත් ලිවීම සහ ආරාධනාවාක් ලැබුනොත් දේශනයක් දෙකක් පැවත්වීම ද කරමි. ඒවායින් ද සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගසා ආදායම් උපයමි. මෑතක සිට ගුවන් විදුලි වැඩසටහන් ද මෙහෙය වමි. ඒවායින් ද සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගසා ආදායම් උපයමි. අස්ථාවක් ලැබුනොත් පත්තර වලට සම්මුඛ සාකච්ඡා ද දෙමි. ඒවායින් ද සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගසා ආදායම් උපයමි. කොටින්ම මගේ පෞද්ගලික ෆේස්බුක් ප්‍රොෆයිලය පවා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැහීමට යොදවා එයින් ද ආදායම් උපයමි. (මට කිරීමට ඇත්තේ සෑම සතියකටම වතාවක් එම සතියේ දී මම සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසූ ආකාරය ගැන වාර්තාවක් මගේ යූ. ඇන්. ඔෆිස් එකේ ස්වාමිවරුන් ට ලබා දීමයි. ඒ අනුව මගේ වැටුප ගණනය වේ.)

    සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමෙන් තොරව ජීවත් වීමේ ක්‍රමයක් මට කියා දීමට ඔබට හැකිනම්, සිංහල බෞඩ්ධ සංස්කෘතියට පහර ගැසීමෙන් මට වැලකිය හැකිය. (මෙය පළ කිරීමට ඔබට හැකියාවක් ඇත්නම්, ඔබ කේ-පොයින්ට් හි දී කිසිවකු පාවා නොදී සියලු වද බන්ධන දරා ගත්තා යැයි නිගමනය කිරීමට අපට හැකි වේ.)

    1. මේ කමෙන්ට් එක පළ කරන්නෙ වෙන මොකක්වත් ඔප්පු කරන්න නෙමෙයි. උඹලා වගේ කෑඳයන්ව මම සත පහකටවත් ගණන් ගන්නෙ නැති බව ඔප්පු කරන්නට විතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *