අභාවප්‍රාප්ත එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා, ඌනා මැකෝලි

ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා හෙවත් නේවාසික සම්බන්ධිකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිතවරිය වූ ඌනා මැකෝලි මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත වූ බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය දැනුම් දුන්නා.

මිය යන විට 54වන වියෙහි පසුවූ මැකෝලි මහත්මිය වෛද්‍ය ප‍්‍රතිකාර ලබමින් පසු වූවා ය. ඇය මිය ගොස් ඇත්තේ රෝහලක් වෙත රැගෙන යමින් සිටියදීයි.

අයර්ලන්ත හා බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ මැකෝලි මහත්මිය දෙදරු මවක්. ළමයින් සම්බන්ධ සංවර්ධන ක්ෂේත්‍රයෙහි වසර හතක ක්‍රියාකාරිත්වයකින් පසු එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් UNICEF සංවිධානයට එක් වූ ඇය වසර 17ක කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සේවය කළා. ඉන් අවසන් වසර දෙක ඇය ශ‍්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධිකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිතවරිය ලෙස කටයුතු කළා. ඊට පෙර වසර හතරක් පමණ ඇය ශ‍්‍රී ලංකාවේ UNICEF ආයතනයේ නියෝජිතවරිය ලෙස කටයුතු කළා. ඇය පැනමා සහ ටෝගෝ රාජ්‍යයන්හි යුනිසෙෆ් නියෝජිතවරිය ලෙසත්, සුඩානයේ, කෙන්යාවේ සහ ඇන්ගෝලා රාජ්‍යයේ යුනිසෙෆ් කාර්ය මණ්ඩලවලත් සේවය කළා.

වසර 1964දී උපන් උෟනා මැකෝලි සැහැල්ලු, නිහතමානී, ජව සම්පන්න කාන්තාවක්. ඇගේ අන්තිම කැමැත්ත පරිදි ඇගේ අවසන් කටයුතු ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බව නිල නො වන ආරංචි මාර්ග පවසනවා.

Una Macaulay and Ashley Judd
ඌනා මැකෝලි පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි හොලිවුඩ් නිළි ඈෂ්ලි ජඩ් සමග එක්සත් ජාතීන්ගේ පරිශ්‍රයේදී.
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *