අම්පාරේ ජාතිවාදී කෝලාහල සහ පොහොට්ටු රැල්ල

කෑමවලට වඳ බෙහෙත් දැමුවා ය කියා චෝදනා කරමින් අවුළුවන ලද මුස්ලිම් විරෝධී වාර්ගික ගැටුමක් දුරදිග යාමෙන් කඩ හතරක්, ආගමික ස්ථානයක් හා වාහන ආදී දේපල ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් අම්පාරෙන් වාර්තා විය.

මෙම සිද්ධිය සමග සමාජ මාධ්‍යවල සංවාදය ඇති වී තිබෙන්නේ මූලික වශයෙන් ම වඳ බෙහෙත් ගැන ය. එසේ පෙත්තක් දෙකක් ආහාරවලට මිශ්‍ර කිරීමෙන් වඳභාවය පමණක් ඇති කළ නො හැකි බව විද්‍යාත්මක සත්‍යයකි. වඳභාවය ඇති කළ හැකි අධි මාත්‍රාවක් සහිත බෙහෙතකින් ඊට පෙර ජීවිත හානි සිදු විය හැකි ය.

අනෙක් පැත්තෙන් සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් භේදයකින් තොරව බිස්නස් කරන කොයි එකාත් අධික ලාභ ලැබීම සඳහා ආහාර ද්‍රව්‍යවලට වස විස එකතු කරති. මහජන මුදලින් යැපෙන වී ගොවියා පවා තමන්ට පොහොර සහනාධාර, වතුර ආදිය සපයා, අස්වැන්නත් මිළ දී ගන්නා බදු ගෙවන ජනතාවට කිසිදු අනුකම්පාවකින් තොරව වස විස කවති.

අම්පාරේ සිද්ධිය පසුපස මේ වඳ පෙති කතාවට එහා ගිය දේශපාලනයක් තිබේ. මේ වනාහි නැගී එන මුස්ලිම් විරෝධී ජාතිවාදයේ තීරණාත්මක අදියරකි. එය මතු වන්නේ පොහොට්ටු රැල්ලත් සමග බව අප අමතක නො කළ යුතු ය. පොහොට්ටු රැල්ලේ තිබුණේ ආණ්ඩුව කෙරෙහි කලකිරීම පමණක් නො වේ. එය පසුපස දැඩි සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයක් මෙන් ම අධික මුස්ලිම් හා දෙමළ විරෝධයක් ද තිබිණි.

අම්පාරේ සිද්ධිය පොහොට්ටු පක්ෂය විසින් මෙහෙයවූ බවක් හෝ එයට රාජපක්ෂලා කෙළින් ම වගකිව යුතු බවක් මෙයින් කියවෙන්නේ නැත. පොහොට්ටු රැල්ල මේ තිබෙන තත්වයෙන් රැක ගත්තත් රාජපක්ෂලාට සිංහල සමාජයේ බලය ලබා ගත හැකි ය. එහෙත්, දෙමළ, මුස්ලිම් ඡන්ද නොමැතිව ජනාධිපතිවරණයක් දිනා ගත හැකි ද යන්න ඔවුන් සැලකිල්ලට ගත යුතු ය. ඔවුන් දැන් කළ යුතුව තිබෙන්නේ දෙමළ, මුස්ලිම් සමාජයන් දිනා ගැනීමට උත්සාහ කිරීම විනා භේද භින්න කර ගැනීම නොවේ. එහෙත්, අවාසනාව වන්නේ අවිචාරය මත පදනම් වූ රැලි මත නැගුණු කල තමන්ට ඒ රැලි පාලනය කර ගන්නට බැරි වේ.

අවිචාරය මත ආයෝජනය කරන්නෝ අවිචාරය නිසා ම විනාශ වෙති. මේ කතාව මේ මොහොතේ අවිචාරය මත ආයෝජනය කරමින් සිටින රාජපක්ෂලාගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා කාට කාටත් අදාළ ය.

මුස්ලිම් විරෝධය මෙම වකවානුවේ සිංහල බෞද්ධ ජාති ආගම් ස්වෝත්තමවාදයේ පමණක් නොව ලොව පුරා ම පවතින රැල්ලකි. එයට මුස්ලිම් ජාතිකයන්ගේ උන්නතිකාමී අන්තවාදී පසුගාමී අරමුණු සහිත දේශපාලනය ද හේතු වී තිබේ.

පසුගාමිත්වයට පිළිතුර පසුගාමිත්වය ම යයි සිතීම ජාතිවාදීන්ගේ සාමාන්‍ය ලක්ෂණයකි. මුස්ලිම් ජාතිය ද එය ම කරනු ඇත. සිංහලයන් අතින් ප්‍රහාර එල්ල වන තරමට මුස්ලිම් අන්තවාදීන්ට ද සිය ප්‍රජාව අතර පිළිගැනීම වැඩි වේ. සිංහල ජාතිවාදය විකුණාගෙන කෑ ඩෑන් ප්‍රියසාද් වැනි අය සිංහල සමාජයෙන් මතු වන ආකාරයට ම මුස්ලිම් සමාජයෙන් ද අන්තාවාදීහු මතු වෙති. අන්තවාදය පහසු ය. එසේ ම ජනප්‍රියත්වයට, ධනයට හා බලයට ඉතා ළඟ ය.

පොහොට්ටු රැල්ල මේ යන විදියට නම් යොමු වී තිබෙන්නේ සමාජය නැවත වතාවක් ඉතා ගැඹුරින් ම බෙදා වෙන් කිරීමක් දක්වා ය. එයින් අරක ඇති වේ, මේක ඇති වේ යයි පුරෝකථනය කරන්නට අප දන්නේ නැත. එකක් නම් පැහැදිලිව ම දනිමු. එයින් සිදු වන්නේ සියලු ජාතීන් පරිහාණියට පත් වීමයි.

Please follow and like us:

7 thoughts on “අම්පාරේ ජාතිවාදී කෝලාහල සහ පොහොට්ටු රැල්ල

  1. මේ පහත videoවේ පවසන කාරණය මුස්ලිම් කෙනෙකු කිව්වත් කාරණය ඇත්ත …..

    ලංකාවේ භාවිතා වන උපත් පාලන ක්‍රමවේද සහ අම්පාරේ සිදුවීම….
    https://www.youtube.com/watch?v=3ha0Xczezok

    1. පරණ එක දැන් අප්ඩේට් කරන්නෙ නැහැ. ඒක තිබුණෙ බ්ලොගර්වල. මේක තියෙන්නෙ ප්‍ර‍යිවෙට් හොස්ටිං එකක. මේක බ්ලොගර්ට වඩා කස්ටමයිස් කරන්නට පුළුවන්. වඩා ප්‍රොෆෙෂනල්. ඉදිරියෙදි තව පුළුල් කරන්නට සැලසුමක් ඇතුවයි මෙහෙම පටන් ගත්තෙ.

  2. අප්‍රේල් අවරුදු උත්සව සමයේ මෙය (වඳ බෙහෙත්) මතුවීම සාමාන්‍ය සිදුවීමකි,
    අහෝ මා ප්‍රියදර ජය භුමි.
    මේවගේ සිද්ධීන් වලින්
    “මගේ බුකියේ Block ලිස්ට් එක තමා අප්පා දිගු වනවා”

  3. අම්මට සිරි ලංකාවේ ඡන්දයක් ලංවෙනකොට තාජුදීන් සහ ලසන්ත වික්‍රමතුංග තමුන්ගේ වලෙන් නැගිටිනවා වගේම තමයි.
    අප්‍රේල් / දෙසැම්බර් අවරුදු උත්සව සාමය වනවිට මෙය (වඳ බෙහෙත්) මතුවීමද සාමාන්‍ය සිදුවීමකි,
    කාටද මේ ඥානකතා
    අද අපිනම් මෙන්න මේ ගැන උනන්දුයි
    http://www.defence.lk/new.asp?fname=Modi_flags_off_Talaimannar_train_service_20150315_01

  4. ඔහොම පෙත්තකින් කෙනෙක්ව සදාකාලිකවම වඳ කරන්න පුළුවන් නම් ඇයි බං ලෝකේ හැම රටකම මිනිස්සු ඔවට ඔපරේෂන් කරගෙන දුක් විදින්නේ? මේ වගේ ගොන් හරක් ඉන්න රටක් දියුණු කරන්න බෑ බං..

  5. මිට අමතරව මෙය ආණ්ඩුවේම කොන්ට්‍රත්තුවක් වෙන්න පුළුවන් මුස්ලිම් විරෝදය පොහොට්ටුවට යොමු කිරීමට

    මොකද බේරුවලත් පොහොට්ටුවට ගියානේද ? මේකෙන් පෙන්නේ මුස්ලිම් විරෝදය දැන් පොහොට්ටු පක්ෂයට නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *