ආඥාදායකත්වය ද? ප්‍රජාතන්ත්‍රවාදය ද? (තීරණය – ITN)

Ajith Perakum Jayasinghe
අජිත් පැරකුම් ජයසිංහ

ආඥාදායකත්වය ද? ප්‍රජාතන්ත්‍රවාදය ද? යන ප්‍රශ්නය ඇහුවා ම මම නම් කොන්දේසි විරහිතව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව අමුතුවෙන් කියන්නට ඕනැ නැහැ.

ලංකාව විශාල ප්‍රජාතාන්ත්‍රික උරුමයක් තිබෙන රටක්. ඉංග්‍රීසි ජාතිකයන් අපට සර්ව ජන ඡන්ද බලය දුන්නෙ තමන්ගෙ රටේ එය ඇති කරන්නත් කලින්. මොන අඩුපාඩු තිබුණත් අපේ රට නිදහසෙන් පසු අවුරුදු 70ක් ම ප්‍රජාතාන්ත්‍රික පදනම ආරක්ෂා කර ගත්තා. ඒකාධිපති උවමනාවන් තිබුණු පාලකයන් බලයට පැමිණියාට ඔවුන්ට තරම් නටන්නට ලැබුණෙ නැහැ.

ජේ.ආර්. ජයවර්ධනට අවශ්‍ය වුණා දැඩි හස්තයකින් රට පාලනය කරන්නට. ඒ වෙනුවෙන් ඔහු නව ව්‍යවස්ථාවකුත් සම්පාදනය කර ගත්තා. ජනවරමක් සහිත විධායක ජනාධිපති ධුරයක් නිර්මානය කර ගත් ඔහු පාර්ලිමේන්තුව යටපත් කරමින් ආඥාදායකත්වයක් ගොඩනගාගන්නට උත්සාහ කළා. එහෙත්, අවසානයේදී සිදු වුණේ ඉතා අවුල් සහගත තත්වයක් තුළ ජනාධිපති පදවිය ආර්. ප්‍රේමදාසට භාර දී ගෙදර යන්නටයි.

යුද්ධයේ අවසන් කාලය තුළ හා යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජේ.ආර්. ජයවර්ධන ද ඉක්මවා යමින් රජෙකු තරම් පූර්ණ ආඥාදායකයකු බවට පත් වන්නට උත්සාහ කළා. ඒත්, අවසානයේදී දුර්වල නායකයකු වූ මෛත්‍රීපාල සිරිසේන විසින් 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී ඔහු පරාජය කළා.

1962දී සහ 1966දී කුඩා කණ්ඩායම් දෙකක් හමුදා කුමන්ත්‍රණ මගින් බලය අල්ලා ගන්නට උත්සාහ කළා. ඔවුන්ගේ අරමුණ කෙළින් ම මිලිටරි ආඥාදායකත්වයක් පිහිටුවීම යි. එහෙත්, අසාර්ථක වුණා.

1971, 1987-89 වකවානුවල සිංහල තරුණ කැරැලි ඇති වුණා. දෙමළ කැරැල්ල 1970 දශකයේ අග සිට තිස් අවුරුද්දක් දිග්ගැහුණා. ඒත් ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික පදනම බිඳවැටුණෙ නැහැ.

2015 ජනවාරි 8ට පසුව මේ ප්‍රජාතාන්ත්‍රික පදනම එක පැත්තකින් ශක්තිමත් වුණා. ඒ අතරවාරෙ  දිගු කලකින් රටේ උදා වුණ ප්‍රජාතාන්ත්‍රික වටපිටාව ඇතුළෙ යම් අරාජිකත්වයකුත් නිර්මානය වුණා.

ඒ අරාජිකත්වයට හේතු පාලකයන්ගේ අලසකම, දුබලකම, කෙළින් තීරණ නොගැනීම වැනි කාරණා ය කියා බොහෝ අය කියනවා. මහාචාර්ය ජයදේව උයන්ගොඩත් පසුගිය සතියේ රාවය පුවත්පතට ලියූ ලිපියේ එජාපයේ නායකත්ව අර්බුදය ගැන කතා කරමින් රනිල් වික්‍රමසිංහ අලස නායකයකු ලෙස හැඳින්වූවා.

එහෙම බැලුවොත් ලංකාවේ කඩිසර ම රාජ්‍ය නායකයා වෙන්නට ඇත්තෙ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා යි. ඔහු පාන්දර හතරේ සිට වැඩ ආරම්භ කළ පහළ මට්ටම දක්වා ම හැම දෙයක් ම සොයා බැලූ කෙනෙක්. එහෙත්, නායකයකු වුණා ම එහෙම පියන් දක්වා ම වැඩ සොයා බැලිය යුතු ද?

නායකයකු විසින් කළ යුතුව තිබෙන්නේ තමන්ගේ කණිෂ්ඨයන් කළමනාකරණය කර ගනිමින් අවශ්‍ය කටයුතු කිරීමයි. රනිල් වික්‍රමසිංහගේ තිබෙන ගැටලුව ඔහු සිය කණිෂ්ඨයන් කළමනාකරණය කර නොගැනීම ය කියා කියන එකත් වැරදියි. වගකීම් පැවරුවාට පසු කණිෂ්ඨයන්ට වගකීමක් නැද්ද තමන්ගේ කාර්යය හරියට ඉටු කරන්නට. ඒකට නායකයා පසුපසින් සිට තල්ලු කරන්නට ම ඕනැ ද? දොස්තර සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, රැකියා විරහිත උපාධිධාරීන් ආදී සංගම් ලැබූ නිදහස වල් බූරු නිදහසක් බවට පත් කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය ප්‍රතිඵලයක් ද? නැත.

මේ ආඥාදායකත්ව කතාවත් ඒ වගේ ම දෙයක්. මේ රටේ දේශපාලකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට, රජයේ සේවකයන්ට හරියට වැඩ කරන්නට හා මිනිසුන්ට, ගැහැණුන්ට වගකිවයුතු පුරවැසියන් ලෙස හැසිරෙන්නට පසුපසින් සිට ඔවුන් තල්ලු කරන, බියපත් කරන කෙනෙකු ම අවශ්‍ය ද? මේ රටේ ජීවත් වන ගැහැණුන්ට හා මිනිසුන්ට පුරවැසියන් සේ හැසිරෙන්නට තමන් බියපත් කරන යකෙකු වගේ පාලකයකු සිටිය යුතු ම ද?

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා දියත් වන ව්‍යාපෘතිය පසුපස ඇත්තේ ‘මේ රට හදන්නට නම් ඒකාධිපතියකු අවශ්‍ය ය’ යන මුග්ධ, ජනප්‍රිය, යල්පැනගිය අදහස යි. එය කිසිවකු විසින් ප්‍රකාශයට පත් කර නැතිමුත්, ගෝඨාභය රාජපක්ෂ අතිවඩන්නට පටන් ගන්නේ ඒ පදනමේ සිට ය.

හැමදාමත් විවිධ සමාජ කණ්ඩායම් අතර මේ මතයට ඉඩක් තිබුණා. මෙවර වියත් මග සමග එක් වී සිටිනපිරිස ඒ යල්පැන ගිය අදහස පොෂ් විදියට ඉදිරිපත් කරන පිරිසක්. ඔවුන් හඳුන්වන්නට මා පාවිච්චි කළේ ‘බාගෙට උම්මත්තක, තමන් දේශපාලන වශයෙන් ආධුනික බව නොදත්, ඉච්ඡා භංගත්වයෙන් පෙළෙන, අතේ සල්ලි ටිකක් තියෙන නිසා තමන් මාර පොරවල් යයි සිතා සිටින, ඉහළ මධ්‍යම පන්තික ව්‍යාපාරික හා වෘත්තික පැළැන්තියක් මේ වියත් දෙකේ දේශපාලනයට කර ගසා තිබේ,’ ය කියා ය.

ඇත්තම කියනවා නම්, ගෝඨාභය රාජපක්ෂ ද තමන් එවැනි ආඥාදායකත්වයක් ඇති කරන බව කියා නැත.

මේ ආඥාදායක කතන්දරය ඇත්තට ම සමාජ සාමූහික මනසේ ෆැන්ටසියකි. ගෝඨා 2020 ව්‍යාපෘතිය ආදේශ කර තිබෙන්නේ මෙම ෆැන්ටසියට ය.

ඒකාධිපති පාලනයක් ඇති කර ගැනීමට සහයෝගය දීමෙන් ජාතීන්ට සිදු වූ විනාශයන් පිළිබඳ හිට්ලර්ගේ සිට ඕනෑ තරම් උදාහරණ ඇත. ඒ උදාහරණ සොයා ලොව වටා සැරිසරන්නට ද උවමනාවක් නැත. මීට අවුරුදු 10කට පමණ පෙර ඕමන්තෙයි සිට උතුරට හා පලෙයි සිට දකුණට සුවිසල් භූමිභාගයක කොටි සංවිධානය විසින් මිලිටරි ආඥාදායකත්වයක් පවත්වාගෙන ගියේ ය. දහස් ගණනින් දෙමළ ජනයා කොටි සංවිධානය විසින් ම මරා දමන ලදී. ඒ බලහත්කාර විනයගත කිරීම තුළ දෙමළ ජාතියට සෙතක් වී ද නැද්ද යන්න විමසා බලන්න.

ඒකාධිපතිවාදයන් ගැන සිහින දකින එක නවත්වන්න. සමාජ විනය අපෙන් අරඹමු. ඒකට අප පොළඹවන්නට අප පසුපස යකෙකු සිට ගත යුතු නැත.

අජිත් පැරකුම් ජයසිංහ, උපුල් කුමාරප්පෙරුම හා චමීර පෙරේරා සහභාගි වූ ‘ප්‍රජාතන්ත්‍රවාදය ද? මිලිටරි පාලනයක් ද?’ තේමාවෙන් පැවැත්වුණු ස්වාධීන රූපවාහිනියේ තීරණය වැඩසටහන පහත දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *