ඇත්ත කතාවලින් ප්‍රබන්ධ ලිවීම

ඉක්බිතිව ඔහු මරාපීහ
ඉක්බිතිව ඔහු මරාපීහ

මෑත කාලයේ කියවන්නට ලැබුණු පොත් අතරින් අලුත් අත්දැකීමක් ලබාදුන් පොතක් තමයි පී.බී. ජයසේකරගේ ‘ඉක්බිතිව ඔහු මරාපීහ.’

ලංකාවේ ගතානුගතික සාහිත්‍ය විනිශ්චයකාරවරුන්ට හා ඊනියා විචාරකයන්ට සාහිත්‍යයේ නව ප්‍රවණතා ග්‍රහණය කරගන්නට තරම් පුළුල් දැක්මක් නැති බව අමුතුවෙන් කියන්නට ඕනැ නැහැ. ඒ නිසා මේ නවකතාව ඔවුන් නොතකා හැර තිබෙනවා. සම්මාන බෙදාගැනීමේ කෑදර පොරය තුළ එසේ නොතකා හැරීමෙන් ඔවුන්ට විනිශ්චය පහසු වෙනවා. හැබැයි, සාහිත්‍යයට ඉන් සිදු වන අවැඩ සුළුපටු නැහැ.

නවකතාව කියන්නෙමත් එක් ෂානරයක් නෙමෙයි. එය විවිධ ෂානර රැසක එකතුවක්. අලුත් ෂානර නිර්මාණය කිරීමේ හැකියාවත් තිබෙනවා. ‘ඉක්බිතිව ඔහු මරාපීහ’ අලුත් ෂානරයක් නෙමෙයි. එය ලංකාවට අලුත් වෙන්න ඇති.

පී.බී. ජයසේකර මේ නවකතාව වියන්නේ බණ්ඩාරනායක ඝාතනය පසුබිම් කරගෙනයි. ඒ වෙනුවෙන් ඔහු බණ්ඩාරනායක ඝාතන නඩු වාර්තා වගේ ම ඒ වකවානුවේ පුවත්පත් වාර්තා, ඉතිහාස තොරතුරු, චරිතාපදාන ආදී මූලාශ්‍ර රැසක් ගැඹුරින් හදාරා තිබෙන බව පෙනෙනවා. නවකතාවක් වෙනුවෙන් එසේ ගැඹුරු හැදෑරීමක් කිරීම ලංකාවට අලුත් දෙයක්. එසේ ගැඹුරු හැදෑරීම් මත පදනම්ව ලියූ නවකතා ලංකාවේ නැතුව නෙමෙයි. සුමුදු නිරාගී සෙනෙවිරත්න ලියූ දූල්වල අලංකාරේ එවැනි කෘතියක්. ඒ ගැන අප ලියූ සටහනක් මෙතැනින් කියැවිය හැකියි.

අධ්‍යයනයක් පසුබිම් කරගෙන කතාවක් ලියන එක ලේසි නැහැ. අමාරුම වැඩේ කතා රසය රැකගන්න එක. දූල්වල අලංකාරේ වුණත් ඒ ගැටලුව තිබෙනවා.

‘ඉක්බිතිව ඔහු මරාපීහ’ කෘතියත් මේ අභියෝගයට මුහුණ දෙනවා. එය සුළුපටු අභියෝගයක් නෙමෙයි. එහි සියලු චරිත සැබෑ චරිත. මේ චරිත ගැන ඉතිහාසයේ ලියවෙලා තිබෙනවා. ඔවුන්ගේ හැම ඉරියව්වක් ම, චර්යාවක් ම සැබෑවට අභියෝගයක් නොවන පරිදි නිර්මාණය කරන්නට පී.බී. ජයසේකර උත්සාහ කරනවා. උදාහරණයක් විදියට බණ්ඩාරනායක අගමැතිවරයාගේ චර්යා නවකතා තුළ නිරූපණය කරන්නට ජයසේකර දරන උත්සාහය ප්‍රශස්ථයි.

මේ නවකතාව 2016 වසර වෙනුවෙන් ගොඩගේ සාහිත්‍ය සම්මානයට ලක් වුණා. ඒත් අපේ රටේ සාමාන්‍ය සම්ප්‍රදාය වන්නෙ එතනින් සියල්ල අවසන් කිරීම. පිටකසාගැනීමේ ඊනියා විචාර කලාව ඉක්මවා යන විචාරයක් ලියවෙන්නෙ කලාතුරකින්. ඒ වගේ ම තමයි මේ ඊනියා විචාරකයන්ගේ භාෂා හරඹ හා විචාරක ලයිසන් පෙන්නා කරන තර්ජන නිසා සාමාන්‍ය රසිකයන් පවා තමන් විඳි රසය බෙදාගන්නට බිය වෙනවා.

විචාරය කියා අමුතු දෙයක් නැති බව අප නම් නොබියව කියනවා. විචාරය කියන්නේ රසවින්දනය විද්‍යානුකූල ලෙස ඉදිරිපත් කිරීමක්. එහෙම නැතුව, තමන් දන්නා තියරි හෝ කියවූ පොත්වල නම් හෝ ඒවා ලියූ ලේඛකයන්ගේ නම් හෝ ඔවුන්ගේ කියමන් හෝ පුරවා කාටවත් නොතේරෙන, බිය උපදවන වැල්වටාරමක් ලිවීම නෙමෙයි. ඕනෑම හොඳ රසිකයෙකුට විචාරකයකු වෙන්නට පුළුවන්. මොන මට්ටමෙන් කළත් විචාරය යනු විචාරයයි. විදග්ධ විචාරය ඒ මට්ටමේදී අවශ්‍ය වගේ ම සාමාන්‍ය රසිකත්වය මත පදනම් වූ විචාරය ඒ මට්ටමේදී අවශ්‍යයි.

‘ඉක්බිතිව ඔහු මරාපීහ’ නවකතාව වෙත ආපසු හැරෙමු. බණ්ඩාරනායක ඝාතනය ඇත්තට ම කළේ සෝමාරාම ද කියන එක සැකයකින් තොරව ඔප්පු වී නැති බවට කතා ගොඩක් තිබෙනවා. සෝමාරාම බණ්ඩාරනායකට පිස්තෝලෙන් වෙඩිතැබීම දක්වා සියල්ල ම ඔප්පු වී තිබුණත් බණ්ඩාරනායක මැරුණේ ඒ වෙඩි උණ්ඩෙන් ද නැතිනම් වෙනත් අයකු තැබූ වෙඩිල්ලකින් ද යන්න හැමදාමත් ඉතුරු වී තිබෙන සැකයක්. මේ හිස්තැන හරි අපූරු දෙයක්. සමහරවිට එහෙම දෙයක් ඇත්තට ම නොතිබුණා වෙන්නත් පුළුවන්. හැබැයි, අපි ඒකට හරි කැමතියි. ඒක නඩත්තු කරන්නට අපි විවිධ කටකතා, අනුමාන, විග්‍රහ ආදිය පාවිච්චි කරනවා. සදා නොනැසෙන කතා රසයක් එතනින් මතු වෙනවා. ඊනියා පත්තරකාර සමීක්ෂක ඕපාදූපකාරයන්ටත් මේක හැමදාම ඉහගෙන කන්නට පුළුවන් පල්වලක්.

පී.බී. ජයසේකරත් කළඹන්නේ ඒ රස සාගරය ම තමයි. එහෙත්, ඔහුත් නිගමනයක් නොදී ඒ කතා රස සාගරයේ පිහිනා නා ගෙදර යනවා. එහි වරදකුත් නැහැ. එය ඔහුගේ ආඛ්‍යානය. එහෙත්, ඔහු ඝාතනය හා සෝමාරාම එල්ලා මැරීම දක්වා සියලු සිදුවීම් සාහිත්‍යමය ලෙස චිත්‍රණය කරන ආකාරය ඉතා සියුම්.

මේ පොත මා කියෙව්වෙ කේපොයින්ට් නවකතාව ලිවීමෙන් අනතුරුවයි. ඒ නිසා මට එය ගොඩක් දැනුණා. එයට හේතුව තමයි සත්‍ය කතාවක් ඇසුරෙන්, විශේෂයෙන් මගේ ම පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් නවකතාවක් ලියනවිට මුහුණ දෙන්නට සිදු වූ අභියෝග.

නවකතාව පෝෂණය වෙන්නෙ අලුත් දේ අත්හදාබැලීමෙන්. හැබැයි, ඒ ගැන රසික සංවාදයකුත් නිර්මාණය වෙන්නට ඕනැ. සියුම් කියවීමක් මතුවන්නෙ එවිටයි. එහෙම කියවීමක් නැතිනම් අවසානයේදී වෙන්නේ ලේඛකයා දුර්මුඛ වෙන එක වෙන්නට පුළුවන්. පී.බී.ජයසේකර සමග දුරකථනයෙන් කතා කරද්දි මට ඒ බව දැනුණා. රැකියාවෙන් විශ්‍රාම ලබා දුරබැහැර ප්‍රදේශයක ජීවත් වන ඔහුට දැන් කොළඹ සාහිත්‍ය මාෆියාවත් සමග සටන් වදින්නට ලොකු ශක්තියක් නැහැ. ඒත් අප මෙවැනි ලේඛකයන් රැකගත යුතුයි නේ ද?

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *