ඌබර්, පික් මී ප්‍රශ්නයේ දේශපාලනය

2011 ෆොටෝ එකක්

ඌබර්, පික් මී හා ඇප් මගින් ධාවනය වන ටැක්සි සේවාවන්ට විරුද්ධව, එම සේවාවන් සමග ධාවනයේ යෙදෙන හා නොයෙදෙන ටැක්සිකරුවන් පිරිසක් කොළඹදී උද්ඝෝෂණයක් කළ හ. එම සේවා නතර නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය ද කළ හ.

පාරට බැස උද්ඝෝෂණ කරන ඕනෑම බලවේගයක් සමග කොන්දේසි විරහිතව එකතු වන ආණ්ඩු විරෝධී හා වාමාංශික බලවේග මෙතනදී ද ඔවුන්ට පක්ෂපාතීව කටයුතු කරනු පෙනුණු බැවින් මෙහි දේශපාලනය පිළිබඳ සටහන් කළ යුතු යයි සිතුවෙමි.

පික් මී යනු දේශීය ව්‍යවසායකි. මීට කලින් එයට එරෙහිව ජාතිවාදී පදනමින් විරෝධයක් තිබිණි. ඌබර් ජාත්‍යන්තර ටැක්සි ඇප් එකකි. එමගින් යම් මුදලක් පිටරටට ඇදී යන බව ඇත්ත ය. ඌබර්ට වැඩි විරෝධයක් එල්ල කරනු ලැබුවේ සැඟවුණු ජාතිකවාදී අරමුණකින් බව පෙනෙන්නට තිබිණි.

ඌබර් සම්බන්ධයෙන් ලොව පුරා ම යම් යම් විරෝධයන් එල්ල වී තිබේ. එහෙත්, මෙහිදී අමතක කරන කාරණය වන්නේ ඌබර් යනු ටැක්සි නැති ටැක්සි කොම්පැනියක් බවයි. ඌබර් ඇප් එකක් පමණි. ටැක්සි අති බහුතරය සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ ය. ව්‍යාපාර ලෝකයේ මෙම නව ප්‍රවණතා දෙස පැරණි ධනපති හා අධිරාජ්‍ය විරෝධී ඇසින් බැලීම තේරුමක් නැත.

මෙවැනි ආර්ථික ජාතිකවාදී ප්‍රවණතා ගැන කියන්නට තිබෙන්නේ එක ම එක දෙයකි. අන්තර්ජාලය යනු ජාතිකවාදයට දැඩි අභියෝගයකි. එය ජාතික දේශසීමාවන් අතික්‍රමණය කරයි. ටැක්සි හා සම්බන්ධ සරල උදාහරණයකින් පෙන්වා දුන්නොත් අද වන විට සියලු ටැක්සි ඇප් පාදක වන්නේ ගූගල් සිතියම මත ය. එය නිර්මාණය කර නඩත්තු කරන්නේ ගූගල් සමාගම විසිනි. එයට අභියෝග කරමින් ජාතිකවාදී පදනමින් අලුත් සිතියම් හදන්නට මහන්සි වෙනවාට වඩා එය භාවිතය පහසු ය. ලංකාව වැනි සීමිත සම්පත් ඇති රටකට ලෝක ආර්ථිකය තුළ සිය පැවැත්ම තහවුරු කර ගත හැකි වන්නේ සුබවාදී දැක්මකින් යුතුව තිබෙන අවස්ථා හඳුනාගත්තොත් පමණි.

ඌබර්, පික් මී උද්ඝෝෂණයට පසුදා මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනය කරනු ලැබූ වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට විදේශ පාරිභෝගිකයන් සමග ඍජුව විද්‍යුත් වෙළඳ ගනුදෙනු කළ හැකි නියාමන ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවයි. ඒ අනුව රේගුවට CUSDEC අයදුම්පතක් මගින් ප්‍රකාශ කිරීමකින් තොරව ඩොලර් 3000ක උපරිම වටිනාකමක් ඇති භාණ්ඩ ඕනෑම සංඛ්‍යාවක් විදේශ පාරිභෝගිකයන්ට යැවිය හැකි ය. මහා පරිමාණ අපනයනකරුවන්ට ලංකාවේ ලොකු ගැටලුවක් නැත. ඔවුන්ට මුදල් ගෙන්වා ගැනීමේ ගැටලුවක් නැත.

එහෙත්, අන්තර්ජාලය පදනම් කරගෙන ව්‍යාපාර කරන ලාංකික කුඩා ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ගෙවීම් ලබාගැනීමයි. එ් සඳහා ලොව පුරා පිළිගත් ගෙවුම් ද්වාරය වන පේපැල් මගින් ලංකාවට මුදල් යැවිය නොහැකිය. අන්තර්ජාලය පාදක කරගෙන ව්‍යාපාර කරන පිරිස් මුහුණ දෙන මෙම මූලික ගැටලුවට මෙහි විසඳුම් නැත. මෙම තත්වය වෙනස් කර දෙන්නැයි කුඩා ව්‍යවසායකයන්ගෙන් දිගු කලක සිට ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ. එහෙත් කිසිදු සාධාරණ හේතුවකින් තොරව එය ඉටු වන්නේ නැත.

ගතානුගතික ධනේශ්වර හා අධිරාජ්‍ය විරෝධය සමග බැඳුණු වාමාංශික වෙළඳපොළ විරෝධය ද මෙවැනි අවස්ථාවලදී මතු වේ. මෙහි තිබෙන ගැටලුව නිදහස් වෙළඳාමේ ගැටලුවක් ලෙස හුවා දක්වන්නට වාමාංශිකයෝ උත්සාහ කරති. එහෙත්, රජය මගින් ටැක්සි දුවන සමාජයක් යනු සිහිනයක් පමණි. ටැක්සි නොව, ජාතික ගුවන් සේවය නිසා මේ රටේ කවදාවත් ගුවනින් නොගිය බහුතර ජනයාට ගෙවන්නට සිදු වී තිබෙන බදු බර ගැන සිතාගත් විට රාජ්‍ය ව්‍යවසායවල අනාගතය දැකිය හැකි ය. නිදහස් වෙළඳපොළ සමාජවාදයට එරෙහි සංකල්පයක් නොවේ. එසේම, වෙළඳපොළ යනු සමාජ පරිණාමයේ විශිෂ්ට නිර්මානයක් වන අතර නිදහස එහි මූලික ලක්ෂණයකි. එයට එරෙහිව නිර්මාණය කරන ලද රාජ්‍ය ධනවාදී ඊනියා සමාජවාදය වැනි ප්‍රයත්නයන්ට තිබුණේ කෙටි ආයු කාලයකි.

ටැක්සි වෙළඳපොළේ ගැටලුව තේරුම් ගැනීම මෙහිදී වැදගත් ය. 1980 දශකයට පෙර අපේ රටේ තිබුණේ ටැක්සි කාර් පමණි. සමාගම් කීපයක් හා ප්‍රධාන වශයෙන් එක්තරා නාගරික සමාජ තීරයක පිරිස් විසින් හසුරුවනු ලැබූ මෙම ව්‍යාපාරය දැවැන්ත විපර්යාසයකට ලක් වුණේ ත්‍රිරෝද රථය වෙළඳපොළට පැමිණීමත් සමග ය. ත්‍රිරෝද රිය විසින් ලංකාවේ සිදු කරන ලද විපර්යාසය ප්‍රවාහනයට පමණක් සීමා වන්නේ නැත. එය විසින් දැවැන්ත සංස්කෘතික විපර්යාසයක් සිදු කරන ලදී. එමගින් සිදු වූ ඇතැම් සාධනීය වෙනස්කම් සර්ප දෂ්ඨනය නිසා මිය යන මිනිසුන් සංඛ්‍යාව අඩු වීම දක්වා විහිදේ. එසේ වුණේ සර්ප දෂ්ඨනයට ලක් වූවන් රෝහල්ගත කිරීම වේගවත් කිරීමට ත්‍රිරෝද රිය හේතු වූ බැවිනි. එහෙත්, ටැක්සි කර්මාන්තයේ ගැටලු රැසක් තිබේ. එහි පාරිභෝගික සේවා පාර්ශ්වය දැවැන්ත පිරිහීමකට ලක් වී තිබිණි.

ටැක්සි සේවාවන්ගේ මීළඟ දැවැන්ත විපර්යාසය සිදු වුණේ ඇප් මගින් මෙහෙයවනු ලබන ටැක්සි සේවාවන් හඳුන්වා දීමත් සමග ය. ඊට කලින් ද දුරකථන මගින් මෙහෙයවනු ලබන ටැක්සි සේවා තිබුණි. එහෙත් ඇප් මගින් මෙහෙයවනු ලබන ටැක්සි සේවා වඩා විධිමත් හා කාර්යක්ෂම විය. එමගින් සේවා සපයන්නන්ට මෙන් ම පාරිභෝගිකයන්ට ද වැඩි පහසුවක් ලැබිණි. ඒ හා සමග ම වැඩි වැඩියෙන් පිරිස් මෙම කර්මාන්තයට ඇදී ආ හ. පහසුවෙන් මුදල් සෙවීමේ අරමුණින් යුතුව වාහන ලීස් කරගෙන පාරට දැමිණි. ඒ හා සමග ම කුඩා කාර් විශාල වශයෙන් ලංකාවට ආනයනය කරන ලදී. ලංකාවේ අපනයනවලට වඩා ආනයන ඉහළ ගොස් ගෙවුම් ශේෂය පළල් වී රුපියලේ වටිනාකම අඩු වන්නට ද, තෙල් මිළ ඉහළ යන්නට ද මෙම තත්වය ද හේතු විය. හයර් ගාස්තු ඉහළ යාමත් සමග පාරිභෝගික සංඛ්‍යාව අඩු විය. ඒ සමග ම ටැක්සිකරුවන්ගේ ලාභ රේට්ටු අඩු විය. තමන්ගේ ලාභ අඩු වන්නේ ටැක්සි ඇප් සමාගම් විසින් ලබාගන්නා කොමිස් නිසා ය යන්න සම්පූර්ණ ඇත්ත නොවේ. ටැක්සි ඇප් සමාගම් නොවේ නම් මේ වැඩිහරියක් ටැක්සිකරුවන්ට පාක් එකක ඉඩක් ලබාගන්නට පවා ප්‍රාදේශීය දේශපාලකයන් පසුපස යන්නට සිදු වන්නට ඉඩ තිබිණි. වත්මන් අර්බුදය මේ කර්මාන්තය තුලනය වීම සඳහා අත්‍යවශ්‍ය ය. සරලව කිව්වොත්, සැලකිය යුතු පිරිසක් මේ කර්මාන්තයෙන් ඉවත්ව යාම අවශ්‍ය ය. ශ්‍රමය හිඟ වෙනත් රැකියා ක්ෂේත්‍ර ලංකාවේ ඕනෑ තරම් තිබේ. එහෙත් ඒවා ටැක්සි දුවන තරම් ලේසි නැත.

මෙහි තවත් පැතිකඩක් වන්නේ මේ වන විට ඉදිරි අවුරුදු පහකට පමණ ප්‍රමාණවත් තරම් කුඩා කාර් හා ත්‍රිරෝද රථ ලංකාවට ආනයනය කර අංගනවල ගොඩගසා තිබීමයි. ඩොලරය ඉහළ යාම, බදු වැඩි කිරීම, ඉන්ධන මිළ ඉහළ යාම, ටැක්සි කර්මාන්තයේ අර්බුදය වැනි හේතු නිසා මේ වාහන අලෙවිය අඩු වී තිබේ. වාහන ආනයන ව්‍යාපාරය ද කඩාවැටෙන්නට නියමිත ය. ඒ සමග ම වාහන ආනයන සමාගම් දැන් ඉල්ලා සිටින්නේ වාහන ආනයනකරුවන් ලියාපදිංචි කිරීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි.

මේ සියලු කාරණාවලින් පෙන්නුම් කරන්නේ අනෙකක් නොවේ. වෙළඳපොළෙහි මනා නියාමනයක් අවශ්‍ය බවයි. නිදහස් වෙළඳපොළ වල්බූරු නිදහසක් ඇති තැනක් වූ විට අර්බුද පැනනගින අතර සමාජයට විශාල වශයෙන් වන්දි ගෙවන්නට සිදු වේ. අපට රජයක් අවශ්‍ය වන්නේ ටැක්සි දිවීම වැනි සිල්ලර වැඩ කරන්නට නොවේ. එහෙත්, ටැක්සි ධාවනය දක්වා ම වෙළඳපොළ නියාමනය කිරීම රජයේ වගකීමකි.

Please follow and like us:

One thought on “ඌබර්, පික් මී ප්‍රශ්නයේ දේශපාලනය

  1. //”ශ්‍රමය හිඟ වෙනත් රැකියා ක්ෂේත්‍ර ලංකාවේ ඕනෑ තරම් තිබේ. එහෙත් ඒවා ටැක්සි දුවන තරම් ලේසි නැත.”//
    කතාව ඇත්තය , මේ ත්‍රී රෝද රථය නිසා ,ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට උග්‍ර ශ්‍රම හිඟයකට මුහුණ දෙන්නට සිදුවිය . අත්දැකීමෙන් දන්නා කරුණ වන්නේ බොහෝ ශ්‍රමිකයන් ත්‍රීරෝද රථයකට අවශ්‍ය මූලික මුදල උපයාගත් පසු ලීසිං පහසුකම හරහා ලබා ගන්න ත්‍රී රෝද රිය තුලට වී හන්දි ගානේ කාලය කා දැමීමයි .
    ඉදිකිරීම් ක්ෂේත්‍රය තුලට අලුතෙන් පිවිසෙන ශ්‍රමිකයන්ගේ මුලික අරමුණ ඔවුන් හඟවන්නේ “මාස හය හතක වැඩකරලා ලක්ෂයක් ඉතුරු කරගත්ත නම් මෙහෙම චාටර් නොවී වීල්ලෙකක් අරගෙන ආතල් එකේ ඉන්න පුළුවන්” ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *