එළියකන්ද වධ කඳවුර හා කේපොයින්ට් නවකතාව ගැන

පොත මුද්‍රණය කරලා මුලින් ම අතට දීපු මුද්‍රණකරු ආලෝකට කියලා මං ගත්ත ෆොටෝ එක.
පොත මුද්‍රණය කරලා මුලින් ම අතට දීපු මුද්‍රණකරු ආලෝකට කියලා මං ගත්ත ෆොටෝ එක.

කේපොයින්ට් නවකතාව සම්බන්ධයෙන් මේ වන විටත් මතභේදයක් ඇති වී තිබෙනවා. එය පැනනැගුණේ කිසි සේත් ම බලාපොරොත්තු නොවූ තැනකින්.

මීට කලිනුත් එළියකන්ද වධකාගාරය පිළිබඳ පොතක් ලියැවී තිබේ. එහි නව එළියකන්ද වධ කඳවුරයි. එහි වරහන් ඇතුළේ ඉංග්ලිෂ් අකුරෙන් K-Point යනුවෙන් ද ලියැවී තිබේ.

මගේ නවකතාවේ නම සිංහලෙන් කේපොයින්ට් ය. අවුෂ්විට්ස් වධ කඳවුර ගැන ලියවුණු බොහෝ පොත්වල අවුෂ්විට්ස් යන වදන භාවිතා වී තිබේ. එවැනි වදනක් කිසිවකුගේ බුද්ධිමය දේපලක් නොවේ. ඒවා කිසිවකුට අයිතිවාසිකම් කියන්නට අවශ්‍ය නොවන තරම් අපකීර්තිමත් නම් ය.

තම පොතේ නම මා කොපි කළ බවක් රෝහිත මුණසිංහ සිතන බව මට පෙනේ. අපි මේ කේපොයින්ට් යන නම වෙනුවට ආදර වැනි වචනයක් ආදේශ කර බැලුවොත්, ඒ වචනය විවිධ කලා නිර්මාන කොයි තරම් ප්‍රමාණයක විවිධාකාරයෙන් භාවිතා කර තිබෙනවා ද යන්න තේරුම් ගත හැකි ය. රෝහිත මුණසිංහ ඒ වචනය ඉංග්ලිෂ් බසින් වරහන් ඇතුළේ යොදා තිබෙන පළියට එය වෙනත් කෙනෙකුට යොදාගන්නට බැරි යයි සිතනවා නම් එය බොළඳ අදහසකි. මේ සම්බන්ධ බුද්ධිමය දේපල නඩුවක් පැවරීමෙන් අවශ්‍ය නම් නීතිමය අර්ථනිරූපණයක් ලබා ගත හැකි ය.

රෝහිත මුණසිංහ සඳහන් කරන තවත් කරුණක් වන්නේ මා ඒ හා සම්බන්ධ ආරාධනා පත්‍රයෙහි කතුවරයාගේ නම සඳහන් නොකිරීමෙන් එය ඔහුගේ වැඩක් බව පෙන්නා ඔහුට තිබෙන කීර්තිය සොරකම් කරගැනීමට උත්සාහ කළ බවයි. මෙම පොත මා ලියමින් සිටින බව හා එය පළ කරන බව මා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර දැන් අවුරුද්දකට ආසන්න ය. සමාජ මාධ්‍යවල මගේ මිතුරෝ එය දනිති. එහෙයින් ආරාධනා පත්‍රය මුද්‍රණය කිරීමේදී පොතේ නම පමණක් එහි සඳහන් විය. එය එතරම් සිතාමතා කළ දෙයක් නොවේ. රෝහිත මුණසිංහගේ කීර්තියක් සොරාගැනීමේ චේතනාවක් නම් එහි කොහොමත් නොතිබිණි.

එළියකන්ද වධකාගාරයෙන් නිදහස් වී පැමිණ, එතැන් සිට ද දිගට ම දේශපාලනයේ සක්‍රියව යෙදෙමින්, ඒ හේතුව නිසා ම 2007දී ස්වයංව රටින් පිටුවහල් වන්නට පවා සිදු වූ, තර්ජන මැද පවා දිගට ම ලංකාවේ රැඳී සිටි, නව මාධ්‍ය හා සම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ ද නිරතුරු සංවාදයේ නියැලී සිටින සමාජ ක්‍රියාකාරිකයකු වන මා ගැන දන්නා සුළු පිරිසක් අඩු තරමේ විකල්ප කතිකාව තුළ හෝ මේ රටේ සිටින නිසා මට විදෙස්ගත ලාංකිකයකු වන රෝහිත මුණසිංහගෙන් කීර්තිය සොරකම් කිරීමට අවශ්‍යතාවක් නැත. එය තේරුම්ගැනීමට රෝහිත මුණසිංහට බැරි වීමෙන් පෙනෙන්නේ ඔහු ලංකාවේ විකල්ප දේශපාලන කතිකාවන්ගෙන් ඉතා දුරස්ථ ජීවිතයක් ගතකරන බවයි.

රෝහිත ඊළඟට කියන්නට පටන් ගත් දේ මා සිතන පරිදි නම් අමානුෂික ය. එළියකන්දේදී සාමාන්‍යයෙන් පාවිච්චි නොවුණු වදනක් වූ දළයා යන්න යොදමින් ඔහු මා හමුදාවට ඔත්තු දී දිවි බේරාගත් අයෙකු ලෙස පෙන්වීමට උත්සාහ දරයි. එළියකන්දේ අවුරුද්දකුත් මාසයක් සිටි මා දිවි බේරාගත්තේ කෙසේදැයි ප්‍රශ්න කරමින් ඔහු උත්සාහ කරන්නේ මා දළයකු ලෙස ඔහු හඳුන්වන අයකු නිසා හමුදාව මා බේරූ බව කියන්නට ය. තොරතුරු නැතිකම මත පදනම් වූ මෙම ප්‍රකාශ ඉතා අමානුෂික ය. එළියකන්දෙන් මා දිවි බේරාගත් ආකාරය දන්නා හා ඉන් පසුත් වසර ගණනාවක් මා සමග සිර කඳවුරු දිගේ ගමන් කළ සගයෝ සිය දහස් ගණනක් අදත් ජීවත් වෙති. තමන් හැර එළියකන්දෙන් නිදහස් වූ සියලු දෙනා ද්‍රෝහීන් ලෙස සලකන මානසිකත්වය කොයි තරම් කෘර එකක්දැයි සිතන විට මට ඇති වන්නේ විස්මයකි.

මා එළියකන්ද වධකාගාරයට යොමු කළ දේශපාලනය පසුපස තිබුණු ආගමික ස්වරූපී ඇදහිල්ලෙන් මා මේ වන විට මුළුමනින් ම නිදහස් වී හමාර ය. මා කේපොයින්ට් ලියන්නේ මානසික වධකාගාරවලින් ද නිදහස් වූ නිදහස් මතධාරියකු ලෙසයි.

කේපොයින්ට් යනු නවකතාවකි. එහි රචක යනු චරිතයකි. රචක මා නොවේ. මා නොවන්නේ ද නොවේ. නවකතාව එවැනි දෙයකි. මා මෙම සිදුවීම් දාමය පසුබිම් කරගෙන නවකතාවක් ම ලිව්වේ ඇයි ද යන්න ගැන ද පැහැදිලි කළ යුතු ය.

මා සිතන පරිදි සමාජ යථාර්ථය ගැඹුරින් ම විග්‍රහ කළ හැක්කේ නවකතාවටයි. එය සමාජ විද්‍යාත්මක පර්යේෂණයන්ට ද වඩා ඉදිරියෙන් සිටින්නකි. නවකතා සඳහා අවශ්‍ය ගැඹුරු කියවීම් ය. එහි පර්යේෂණ වාර්තාවක මෙන් සියල්ල වචනගත කර නැත. නවකතාවේ උඩුපෙළටත් වඩා යටිපෙළ අර්ථ බහුල ය.

මෙම නවකතාව එළිදක්වමින් මා ඉල්ලා සිටින්නේ එය පදනම් කරගෙන තරුණ දේශපාලනය හා තරුණ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතිකාවකට මුල පුරන ලෙස ය. මම ඒ කතිකාවට සහභාගි වීමට කැමැත්තෙමි.

එය මගේ දේශපාලනික වගකීමක් ලෙස ද සිතමි. උතුරේත්, දකුණේත් තරුණ පරම්පරා තුනක් ගඟේ යනු මම දැක ඇත්තෙමි. තවත් පරම්පරාවකට එය ම සිදු විය හැකි වටපිටාව තවමත් එහෙම ම ය. විනාශ වූ තාරුණ්‍යයේ හිස්තැන ලංකාවේ සමාජ දේහය තවමත් පෙළයි. අප ගමන් කරමින් සිටින්නේ ළමා තරුණ ජනගහණයේ ප්‍රතිශතය ඉක්මවා වැඩිහිටි ජනගහනය වර්ධනය වන අනාගතයක් වෙතයි. මගේ පරම්පරාවට හැට පිරෙන විට වැඩිහිටියන් මේ රටේ ජනගහනයෙන් හතරෙන් පංගුවක් තරම් වෙති. තරුණයන් කොයි තරම් වටිනා සමාජ තීරයක් ද යන්න තේරුම් ගැනීමට ඒ කරුණ ම වුණත් ප්‍රමාණවත් ය.

තරුණ හැකියාවන් මල්ඵල ගන්වාගත හැකි තරුණ දේශපාලනයක් ගැන කතා කරමු. එන්න අද හවස 3ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට. මාත් එක්ක වික්ටර් අයිවන්, උපුල් කුමාරප්පෙරුම, විදර්ශන කන්නන්ගර හා ගීතිකා ධර්මසිංහත් සාකච්ඡාවට සම්බන්ධ වෙනවා.

කේපොයින්ට් කියවන්න. එය ලබන සතිය වන විට පොත් කඩවලට එනවා. ලංකාව තුළ නම් අමතර තැපැල් ගාස්තුවක් නොගෙවා තැපෑලෙන් ගෙදරට ම ගෙන්වා ගන්නටත් පුළුවන්. විදෙස් රටවලටත් පොත තැපැල් කරනු ලැබේ. ඒ ගැන විස්තර මෙතනින් >>>>

Please follow and like us:

11 thoughts on “එළියකන්ද වධ කඳවුර හා කේපොයින්ට් නවකතාව ගැන

  1. රෝහිත මුණසිංහගේ චෝදනාව දුටු විට මමත් මවිතයට පත් වුනා – මොකද පැරා බාල මාකටින් කාරයෙක් බව මා කිසිවිටක විශ්වාස නොකරන නිසා – කෙසේ වුවත් මම පැරාගේ නවකතාව මිල දී ගැනීමට දැනටමත් තීරණය කොට හමාරයි. ටික දවසකට කලින් විචාරයකයන් පිරිසක් කෆ්කාගේ රිඉන්කානේෂන් එකක් වගේ කියල උඩ දැම්ම නවකතාව මෙන් නොව සාමාන්‍ය පාඨකයාට ගෝචර නවකතාවක් වේයැයි උදක්ම අපේක්ෂා කරමි

  2. සුබ පැතුම් පැරා!

    උනන්දුවක් ඇති, නමුත් අද සහභාගි විය නොහැකි අප වැන්නන්ට සාකච්ඡාව යූ ටියුබ් හෝ ෆේස්බුක් හි පළ කරනු ඇතැයි සිතමි.
    ———————————
    (ඉංග්ලිශ් භාශාව? මොකද්ද පැරා ඒ යෙදුම? මොකක්ද මේකෙ ලොජික් එක? ඔය විදියට ජැපනීස් භාශාව, චයිනීස් භාශාව, ස්පැනිශ් භාශාව, ඩච් භාශාව, පෝචුගීස් භාශාව, රශියන් භාශාව……. වගේ විහිලු වචන කියන්න පුලුවන්.)

    1. විවිධ භාෂා පිළිබඳ අප විසින් සාදාගන්නා ලද වචන තිබෙනවා. ඒ වචන තත්භව විදියටයි. ඒ කියන්නේ වෙනස් කරගෙනයි. ඒ වෙනස් කිරීම සිදු වී තිබෙන්නේ ඒ වකවානුවේ ඒ භාෂාව පිළිබඳ තිබුණ දැනුම මතයි. ඉංග්‍රීසි හැදුණෙ එහෙම. මට හිතෙනවා එහි ඇති ර ශබ්දය ආපු විදිය අවුල්සහගතයි කියලා. බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් භාවිතා කළේ ඉංගිලිසි කියායි. මේ වගේ ගැටලු රැසක් තිබෙනවා. ප්‍රංශ පයන්න. අප්‍රිකා පයන්න එහෙම උදාහරණ. ඒවචන හැදුණ කාලෙ අපට ෆයන්න තිබුණෙ නැහැ. දැන් තියෙනවා. ඒ නිසා මේ වචන ෆ්‍රන්ස, අෆ්‍රිකා වගේ මුල් වචනයට වඩා සමීප ආකාරයෙන් ලියන්නට පුළුවන්.

      1. – පිලිතුර එතරම් ඒත්තුයන සුලු නැහැ..
        – උදාහරන වලින්ම කිව්වොත්, පෘතුගාලය හෝ පෘතුගීසි කියන වචන මුල් වචන (පෝචුගල්, පෝචුගීස් ) වලට සමීප ආකාරයට කියන්න අවශ්‍ය නැහැයි කියලයි මම කියන්නෙ. (1500 ගනන් වෙනකොට ච යන්න තිබුනේ නැද්ද? ) ඒක විහිලුවක් වගේ පෙනේවි. ඒවා ස්වභාවිකවම විකාශනය වුනා වගේම අනාගතයේදීත් වෙයි කියලයි මම හිතන්නේ. (හොලන්ඩ් – ඕලන්ද, ජපෑන් – ජපානය, ජැපනීස් – ජපං (;-)), චයිනීස් – චීන විතරක් නෙවෙයි ටැමිල් – දෙමල (!) … මේවා මුල් වචන වලට සමීපව කියන්න තියෙන අවශ්‍යතාවය මොකක්ද? )
        – ප්‍රන්ස ෆ්‍රන්ස වීම ගැන එකඟයි. ෆ උදාහරනය යුනික් එකක්. ඒ වගේ උදාහරනයක් සියවස් ගානකින් හොයාගන්න නැහැ (මම හිතන්නෙ ).
        – මෙහෙම එකකුත් තියෙනවා. භාශාවේ ඉතා හොඳින් තහවුරු වී ඇති වචන අතාර්කික ව වෙනත් විදියකට ලිවීමෙන් (සමහර විට උච්චාරනය කිරීමෙන් ) ඒ ලියන තැනැත්තා (හෝ කන්ඩායම ) තමන්ගේ සිග්නේචර් එකක් විදියට ඒවා යොදන්න පෙලඹෙනවා ඇති! (උදා: ඉස්සර හෙල ලයින් එකේ වචන ). මම හිතන්නේ පැරාට එහෙම කෘත්‍රිම සිග්නේචර් අවශ්‍ය නැහැ. ඔබේ ලියවිලිවල යොදන සමහර යෙදුම් ඉතාම නිර්මානශීලීයි, රසවත් සහ නැවුම්. ඔබේ අනන්‍යතාවය එයයි.

      1. @Rasikologist,
        – ඔබේ වටිනා එකතුව දුටුවේ මගේ දෙවන කොමෙන්ටුව දැමුවාට පසුවයි.
        – ඉන්ග්ලිශ් – ඉංග්‍රීසි වීම පරිවර්තනයේදී සිදිවූ වරදක් නම්, පෝචුගීස් – පෘතුගීසි වීම පහදන්නේ කොහොමද?
        – බැච් – බැජ් වීම ගැන ඔබ කියන දේ ගැන එකඟයි (මේ එක්ක බලද්දි වසර සිය ගානකට කලි ඉංග්ලිශ් – ඉංග්‍රීසි වීම සමාව දිය හැකි වරදක්!). මේ වගේ වචන තහවුරු වෙනවා නම් එයින් කියවෙන්නේ එම භාශාව භාවිතාකරන්නන් කොපමන නොසැලකිලිමත් ද සහ මුග්ධද යන්නයි. මේ නොසැලකිලිමත්-මුග්ධභාවය එන්නේ අඩු, නොසැලකිලිමත් අධ්‍යාපන තත්වයෙන් ම නෙමෙයි. හොඳම උදාහරනයක් රනිල්. ඔහු මැතිතුමා යන්න කියන්නේ මැයිතුමා ලෙසයි. ඔහු වසර 3ක් තිස්සේ ගෙනෙන්නට තතනන්නේ ව්‍යාපෘති නොවෙයි ව්‍යාකෘති! (ඊලඟ වතාවේ ඔහුගේ කතා අවධානයෙන් අහන්න ).

  3. ඒ ගැන විස්තර මෙතනින් >>>>
    මෙතන
    පොත තැපැලෙන් ගෙන්වා ගැනිමට මුදල් ගෙවිය යුතු ආකාරය හා ගිනුම අංක ඇත්ත් ගෙවිය යුතු මුදල ගැන සටහනක් නොමැත.

  4. සුබ පැතුම්!

    පොත එළිදැක්වීමේ අවස්ථාව ඉතා සාර්ථක බව දැනගන්නට ලැබීම සතුටක්.

    ——
    “ඉන්ග්ලිශ් අකුරු”, “ඉංග්ලිශ් බස”? මොකක්ද පැරා ඒ යෙදුම? “ඉංග්‍රීසි” කියන සාමාන්‍ය යෙදුමේ ඇති ප්‍රශ්නය මොකක්ද? “ඉංග්ලිශ් බස” අනුව යමින්, ජැපනීස් බස, චයිනීස් බස, ස්පැනිශ් බස, ඩච් බස, පෝචුගීස් බස… විහිලුවක් වගේ නේද?

  5. පොත ලැබුනා ස්තුතියි.
    රවීන්ද්‍ර ජයශාන්ත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *