ඔබ ලක්ෂ හතරකට වඩා ණයගැතියකු බවට පත් කළේ කවුරු ද?

විගණකාධිපතිගේ මහජන ණය කළමනාකරණ වාර්තාවේ සඳහන් වන ආකාරයට 2016 වසර අවසන් වන විට සෑම ශ්‍රී ලාංකිකයකු ම වෙනුවෙන් රජය රු. 417,913ක් ණය වී තිබෙනවා. මෙම ඒක පුද්ගල ණය බර 2016 වසර ඇතුළතදී 12%කින් වැඩි වී තිබීමත් සුවිශේෂ ලක්ෂණයක්.

සාමාන්‍යයෙන් රජය විශාල වශයෙන් ණය ලබා ගත් යුගයක් ලෙස සැලකෙන රාජපක්ෂ පාලනය තුළ 2005දී රු. 108,908ක් වූ ඒක පුද්ගල ණය බර 2014 අවසන් වන විට රු.357,233 දක්වා ඉහළ ගොස් තිබිණි.

වත්මන් පාලනය තුළදී ද රජයේ ණය ගැනීම් නිසා එ්ක පුද්ගල ණය බර රු. 60,680කින් වැඩි වී තිබේ.

2015 වසරේ ඒක පුද්ගල ණය බර රු. 373,462ක් විය. එය 2014ට සාපේක්ෂව රු. 16,229ක වැඩි වීමකි.

එහෙත්, 2016 වසරේදී ඒක පුද්ගල ණය බර වැඩි වීම රු. 44,451කි. එයින් පෙනෙන්නේ 2016 වසරේදී රජය අති විශාල වශයෙන් ණය ගැනීමට පෙළඹී ඇති බවයි.

2017 වසරේදී මෙය තවත් වැඩි වූ අතර 2018, 2019 මැතිවරණ වර්ෂ වන හෙයින් මේ ණය ගැනීම තවත් වැඩි වනු ඇත.

වත්මන් රජය පසුගිය රජය තරම් කැපී පෙනෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළේ ද නැත. එහෙයින් ඉතා පැහැදිලිව ම මේ ණයට ගත් මුදල්වලින් වැඩි හරියක් වැය වී තිබෙන්නේ රජය නඩත්තු කිරීම වෙනුවෙනි.

ඒ බව විගණකාධිපතිවරයා මෙසේ දක්වයි. ‘‘රට මත පැටවී තිබෙන ණය බර ඉතාම සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇතත්, එම ණය යොදාගෙන උපයාගත් වත්කම් නිවැරදිව හඳුනාගැනීමක් හෝ ඒවායේ වටිනාකම් හඳුනාගැනීමක් හෝ සිදුව නොමැත.”

ණයට ගත් මුදල් වැය වී තිබෙන්නේ වෙන මොකකටවත් නොවේ. දේශපාලකයන්, රජයේ නිලධාරීන් හා රජයේ සේවකයන්ගෙන් සමන්විත රජයෙන් යැපෙන මධ්‍යම පන්තිය නඩත්තු කරන්නටයි. මූලිකව ම ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද වෙනුවෙන් ගෙවන්නට ය. රාජ්‍ය නාස්තිය හා දූෂණයට ද වගකිව යුත්තේ මෙම පිරිස ම ය.

ඔබ මෙතරම් ණයගැතියකු බවට පත් කරමින් ලබා ගත් ණයවලින් නඩත්තු වූ අය ඔබට සපයා ඇති සේවය කුමක් ද? සිතන්න.

Please follow and like us:

2 thoughts on “ඔබ ලක්ෂ හතරකට වඩා ණයගැතියකු බවට පත් කළේ කවුරු ද?

  1. මට හිතෙන හැටියට මේක මීට වඩා සංකීර්ණයි. වාර්ෂික ණය වාරිකය යි වාර්ෂික පොලිය යි ගෙවුව ම වාර්ෂික රාජ්‍ය ආදායම ඉවරයි. රුපියල පිරිහීමත් එක්ක. ඉතින් සමුර්දි, පෝර, සෞඛ්‍ය, අධ්‍යාපනය වාගෙ දුප්පතාගෙ සහනාධාර දෙන්නත් වැය කරන්න, තව තව ණය ගන්නෙ නැතිව, වියදම් කපන, බදු වැඩි කරන ජනප්‍රිය නොවන තීරණ අරගෙන ආන්ඩු කාලය කෙටි කර ගන්න කොයි දෙශපාලකයා ද කැමති? මම හිතන්නෙ යුද්ද කරන්න ගත්තු ණය ත් අපි තාම ගෙවනවා ඇති. පරන ණය ගෙවන්න තව තව ණය ගන්න වෙනවා කොයි ආන්ඩුව ආවත්. ණය උගුල.

  2. ඕක බොහොම සරලයි. ගත්ත නයට පොලිය සහ වාරිකය ගෙවන්න ආදායම මදි. එතකොට නය ගෙවන්නත් තව නය ගන්න ඕන. ඊට අමතරව රට දුවන්න සුබසාධන සෙෘඛ්‍ය, අධ්‍යාපනය, පොහොර,සමෘධි වගේ ඒව දුවන්න තව නය ඕන. එතකොට හැම දව්රුද්දකම නය බර වැඩිවෙනවා. කරන්න තියෙන්නේ සුබසාධන අවශ්‍යම අතලොස්සකට පමනක් දීල අනෙක් අයගෙන් මුදල් අයකරන එක. අධ්‍යාපනය පුද්ගලික අංශයට විවෘත කරල විදේශ සිසුන් ගෙන්නගන්න එක. නමුත් බලයට කෑදර දේශපාලුවොයි මෝඩ සමාජවාදියොයි(මොවුන් ජ්‍යාත්තර කුමන්ත්‍රන කරුවන්ද කියල මටනම් සැකයි) ඉන්නකම් කවදාවත් මේ රට ගොඩගන්න බෑ. ඕක මහින්දගෙවත් , රනිල්ගෙවත් පිට විතරක් පටවන්න බෑ. අපි හැමෝම මේවාට වග කියන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *