කම්කරුවා කියන්නෙ ප්‍රබන්ධයක්

අජිත් පැරකුම්
වැඩ කිරීමෙන් සතුටු වන, කම්කරුවකු ලෙස ම විමුක්තිය අපේක්ෂා කරන, නවීන කම්කරුවෙක්.

අද ජාත්‍යන්තර කම්කරු දිනයයි. එහි ඉතිහාසය මා කියන්නට උවමනා නැත. වෙනත් බොහෝ තැන්වල ඇත.

මා කියන්නට යන්නේ කම්කරු දිනයේ වර්තමානයයි. ලංකාවේ ආණ්ඩුව වෙසක් සතිය නිසා කම්කරු දිනය කල් දමා ඇත. මේ අතර රැඩිකල් වාමාංශිකයන් හා වෘත්තීය සමිති කම්කරු දිනය සැමරීමට අද කොළඹ එති. ඔවුන් කියන්නේ ධනපති පන්තිය කම්කරුවන් මර්දනය කරන බවයි.

එහෙත්, කම්කරුවන් යයි තමන් හඳුන්වා ගනිමින් කොළඹ පෙළපාලි යන වැඩි දෙනෙක් රජයේ සේවයේ හා රජයට අයත් ව්‍යවසායවල වෘත්තීය සමිතිවල පූර්ණකාලීනව නිදහස් වී සිටින පිංපඩිකාරයන්, අඩුවෙන් වැඩ කරන ගමන්, වැඩ කරන තරමට වඩා මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයන්, රජයේ රැකියාවලට දත නියවාගෙන සිටින උපාධිධාරී රැකියා විරහිතයන්, මහජන මුදලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ලබා ගන්නට සමත් වූ වරප්‍රසාදිත සිසුන්, මහජන මුදලින් ලැබෙන පොහොර, ජලය ආදිය මත යැපෙන, තමන් ගොවීන් යයි හඳුන්වා ගන්නා ග්‍රාමීය දිළින්දන් හා ඵලදායී වැඩක් නො කර, ගංජා ගහමින්, අරක්කු බොමින්, කොළඹ කවවල දේශනා අසමින් රස්තියාදු වන නිකමුන් ආදීන් ය.

මා දන්නා තරමින් නම් ඇත්තට වැඩ කරන ජනයා වැඩිදෙනෙකු කරන්නේ කලාතුරකින් ලැබෙන මේ දිනයේ විවේක ගැනීමයි. (ජාත්‍යන්තර ආයතනය වැඩ කරන කුලී කම්කරුවකු වන මට අද නිවාඩු බැවින් මම විවේක ගනිමි.) අවිධිමත් අංශවල වැඩ කරන කම්කරුවන් නම් මැයි දිනයටත් වැඩ කරති. පිං අරක්කු වඩියක් වෙනුවෙන් මැයි දින පෙළපාලි, රැළි ආදියට යන වැඩ කරන මිනිසුන් ද නැත්තේ ම නැත.

මේ අතර, ලංකාවේ ජනාධිපති බවට අප විසින් පත් කර ගන්නා ලද මේ සමාජ තීරයෙන් පැමිණි අයෙකු වන මෛත්‍රීපාල සිරිසේන අද ජාත්‍යන්තර කම්කරු දිනය බව නිවේදනය කරමින් එය සැමරීම තහනම් කර ඇත. පහළ මට්ටමෙන් ජෝක් වෙමින් තිබුණ මැයි දිනය ඔහු සිය මහේශාක්‍ය මුග්ධත්වයෙන් උඩින් ද අයිසිං කර ඇත.

ඇත්තට ම මැයි 1දාට කවුරුත් උත්කර්ෂයට නංවන කම්කරුවා යනු කවරෙක් ද?

කම්කරුවා ද ඇත්තට ම ප්‍රබන්ධයකි. සියලු මිනිස්සු විවිධාකාරයෙන් වැඩ කරති. සමහරු කායිකව වැඩ කරති. සමහරු මානසිකව වැඩ කරති. සමහරු වැඩ කළමනාකරණය කරති. සමහරු හිමිකාරිත්වය සම්බන්ධ වැඩ කරති. සමහරු අඩුවෙන් වැඩ කරති. සමහරු වැඩියෙන් වැඩ කරති. සමහරු තමන් කරන වැඩවලින් වින්දනයක් ලබති. සමහරු හෙම්බත් වෙති.

ඇත්ත ම කියනවා නම් කිසිම වැඩක් නො කරන කිසිවෙකු නැත. දේශපාලකයෝ පවා වැඩ කරති. මුළු ලෝකය ම වැඩ ලෝකයකි. මේ අතර, වැඩ අතර යම් වෙනසක් දැකිය හැකි ය. සමහර වැඩ ඵලදායී ය. සමහර වැඩ ඵලදායී නැත. උදාහරණයක් ලෙස, දේශපාලකයන් වැඩි දෙනෙකු කරන වැඩවල කිසිදු ඵලදායිතාවක් නැත. මැද පෙරදිග ගිය ශ්‍රමිකයන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි අය කරන වැඩ නිසා ලංකාවේ වැඩක් නැති වැඩ කරමින් ඉන්න කාලකණ්ණින්ට කාලා ඇඳලා ඉන්නට පුළුවන්.

හැබැයි, ලෝකෙ මිනිසුන් කරන වැඩ අතරින් කොයි එක ඵලදායී ද, කොයි එක නිෂ්ඵල ද කියා හොයන එක හරි අමාරු වැඩක්. වැඩවල ඵලදායීතාව විග්‍රහ කරන්නට සිදු වන්නෙත් කිසියම් කතිකාවක් ඇතුළෙ. දැන් මං බ්ලොගර් කෙනෙකු විදියට කරන මේ වැඩේට අර්ථයක් ඇති වෙන්නෙ ඒ හා සම්බන්ධ කතිකාව ඇතුළෙ.

අපි හිතමු කිසියම් කම්කරුවෙකු උක් වත්තක වැඩ කරනවා ය කියලා. එහෙම වැඩ කරලා ඔහු නිෂ්පාදනය කරන සීනි කියන්නෙ මිනිසාගෙ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. එයින් කෙනෙකුට දියවැඩියාව හැදෙන්නටත් පුළුවන්. හැබැයි, සීනි නැති ලෝකෙ ජීවිතය හරි නීරස වෙන්නටත් පුළුවන්. උක් කම්කරුවාගෙ වැඩ ඵලදායී ද නැද්ද කියලා විනිශ්චය කරන්නට වෙන්නෙ ඒ කතිකාව ඇතුළෙ.

ඉතින් මං කිව්වා වගේ කවුරුත් වැඩ කරනවා. කාගෙ කාගෙත් වැඩ මේ ලෝකෙට විවිධාකාරයෙන් අදාළ වෙනවා. ඒ අතරෙ අපි කම්කරුවන් කියලා වැඩ කරන විශේෂ පිරිසක් වෙන් කර ගන්නවා.

කවුරු ද කම්කරුවා කියන්නේ? මං හිතන්නෙ නැහැ, කම්කරු ඔස්තාද්ලා කිසිවෙකුට පුළුවන් ය කියලා වැඩ කරන මිනිසුන් අතරින් කම්කරුවන් මේ අය ය කියලා පැහැදිලිව වෙන් කරලා දක්වන්නට. ඒ නිසා, අර මං කලින් කිව්ව ලැයිස්තුවේ ඉන්න පිරිස කොළඹ මැයි පෙළපාලි යන එකේ අවුලක් නැහැ. ඒගොල්ලනුත් කම්කරුවන් තමයි. ඒ වගේ ම රනිල් වික්‍රමසිංහලා, මෛත්‍රීපාල සිරිසේනලා, මහින්ද රාජපක්ෂලා මැයි පෙළපාලි ගියත් කමක් නැහැ. ඒගොල්ලනුත් වැඩ කරනවා. කම්කරුවා පැහැදිලිව වෙන් කර දක්වන්නට බැරි සංදර්භයක් ඇතුළෙ ඒගොල්ලන් කම්කරුවන් නෙමෙයි කියන්නට බැහැ නේ.

කම්කරුවා කියන්නෙ ඇත්තට ම ප්‍රබන්ධයක්. මනසේ නිර්මානය කර ගත් සංකල්පයක්. භාෂා හරඹයක්.

ඒ නිසා කම්කරු පංතිය කියන්නෙත් ඒ වගේ ම ප්‍රබන්ධයක්. එතකොට ධනපති පන්තියත් එහෙමයි. අර මං නිතර බනින මධ්‍යම පන්තියත් එහෙමයි.  ඔය ඔක්කොම ප්‍රබන්ධ.

හැබැයි අපි මේ කම්කරුවන්, ධනපතියන්, පන්ති ගැන තියෙන කතිකාව පිළි ගන්නවා නම්, ඒක ඇතුළෙ ඉඳන් පන්ති විග්‍රහ කරන්න, පෙළපාලි යන්න, රතු කමිස අඳින්න ගැටලුවක් නැහැ. ඒ කතිකාව පිළිගන්නවා ය කියන්නෙ තිසරණ සරණ යනවා වගේ ම වැඩක්. ඒක සමාදන් වීමක්. ඇදහීමක්.

අපි මේ දර්ශනයන්, දෘෂ්ටිවාදයන් ගැන කියන්නෙ මෙච්චරයි. යථාර්ථය දිහා බලන්නට එහෙම එක එක විදියෙ කවුළු තියෙන එකේ කිසිම අවුලක් නැහැ. හැබැයි, යථාර්ථය කියන සමස්තයයි, ඒ දිහා බලන පර්යාලෝකයි සමරූපී නැහැ. තමන්ගෙ කවුළුවෙන් පෙනෙන විදිය තමයි එක ම යථාර්ථය ය කියමින් ඒක අපේ කටේ උලන්නට එන එක යි අවුල.

බුද්ධිමත්, අනාගතවාදී, සාමාන්‍ය ජනතාව නිදහස් මතධාරීන් විය යුතුයි. එතකොට දීප්තිගෙ කවුළුවයි, නිර්මාල්ගෙ කවුළුවයි, විදර්ශනගෙ කවුළුවයි, වංගීසගෙ කවුළුවයි, නලින්ගෙ කවුළුවයි, මහින්ද පතිරණගෙ කවුළුවයි, සුමනසිරි ලියනගේගෙ කවුළුවයි, දයාන් ජයතිලකගෙ කවුළුවයි, මිලින්ද මොරගොඩගෙ කවුළුවයි, රොහාන් සමරජීවගෙ කවුළුවයි, චින්තන ධර්මදාසගෙ කවුළුවයි කියන හැම එකෙන් ම බලන්න පුළුවන්. (මේ නම් ලැයිස්තුවට ෆොරින් නම් ලැයිස්තුවකුත් දාගන්නට පුළුවන් ඕනැ නම් තමන් ඒ අයව හොඳින් දන්නවා ය කියලා පෙන්නන්නට.) ඒ කවුළුවෙන් දකින විදිය ගැන හිතන ගමන් දැනගෙන ඉන්නට ඕනැ වෙන කවුළුවලින් බැලුවා ම වෙන විදිවලටත් පෙනෙන්නට පුළුවන් ය කියන එක.

දි අයිඩියොලොජි, ද ෆිලොසොෆි, ද රිලිජන් කියලා එකක් නැහැ. ලෝකෙ දෘෂ්ටිවාදයන්, දර්ශන, ආගම් ආදිය තියෙනවා. ඒ අතරෙ කිසිවකට නො බැඳුණු නිදහස් මනසක් ගොඩනගා ගන්න එක තමයි පළමු විප්ලවය.

Please follow and like us:

4 thoughts on “කම්කරුවා කියන්නෙ ප්‍රබන්ධයක්

  1. කම්කරුවෙක් විදිහටම ඉඳලා මැරිලා යනවට වැඩිය නරකද පොඩි උත්සහයක් දීලා දියුණු වුනොත්, ඔබ අදහන න්‍යාය අනුව?

    1. කම්කරුවා වෘත්තිකයෙකු නම්, වෘත්තික ප්‍රවීණත්වය අත් කර ගැනීම හරහා ව්‍යවසායකයකු වීම තමයි හොඳම මග. මහජන මුදලින් යැපෙනමධ්‍යම පංතිකයකු වීම නෙමෙයි කළ යුත්තේ.

  2. එක් එක් සන්දර්භය අනුව කම්කරුවා වෙනස් විය හැක.

    මාක්ස් වාදය තුල කම්කරුවා යනු තම ජීවන පැවැත්ම සංදහා හා තම ශ්‍රමය විකිනීම හැර වෙනත් ආර්තික හැකියාවක් නැති අයයි

  3. එලෙසම එය තම මූලික ජීවන අවශ්‍යතා පිරි මසා ගැනීමට පවා ප්‍රමානවත් නොවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *