කළුතර මහ රෝහලේ දොස්තරලා සඳුදා රෝගීන්ගෙන් පළි ගත්තේ ඇයි?

Doctor Cartoonපසුගිය සඳුදා දවසේ කළුතර නාගොඩ මහ රෝහලේ වෛද්‍යවරුන් බාහිර රෝගී අංශයේ හා සායනවල ලෙඩුන්ට ප්‍රතිකාර කිරීම වර්ජනය කළා. මේ හේතුවෙන් දහස් ගණනක් රෝගීන් අසරණ වුණා. විශේෂයෙන් ම ඈත දුෂ්කර ගම්වල සිට පාන්දරින් ම පැමිණි දුප්පත් ලෙඩුන්ට එයින් සිදු වුණේ බරපතල අවැඩක්.

නාගොඩ රෝහලේ දොස්තරලා මේ අන්දමින් රෝගීන්ගෙන්, මහජනතාවගෙන් පළි ගත්තේ කුමකට ද?

මේ සිද්ධිය පිළිබඳ සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ සුළු හදිසි අනතුරකින් පසු පස්වන වාට්ටුවට ඇතුළු කරන ලද පුද්ගලයකු පිළිබඳ නිසි සැලකිල්ලක් නො දැක්වූවා ය කියා ඔහුගේ සත්කාර පිණිස සිටි පුද්ගලයකු පැමිණිලි කිරීම නිසා ඇති වූ බහින්බස් වීමක්.

මෙම බහින්බස් වීමෙන් අනතුරුව මෙම රෝගියා බලෙන් ම රෝහලෙන් පිට වී ගොස් තිබෙනවා. රෝහල් පරිශ්‍රයේදී ම ඔවුන් හා දොස්තරලා අතර නැවත බහින්බස් වීම සමග ම රෝහලේ ආරක්ෂක නිලධාරියකු මෙම රෝගියාට පවා බඳ පටියකින් පහර දී ඇති බව ද දැනගන්නට ලැබුණා.

මෙම සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන නීති ප්‍රකාරව කටයුතු කර තිබියදී පවා පසුගිය සඳුදා නාගොඩ මහ රෝහලේ වෛද්‍යවරු බාහිර රෝග අංශයේ හා සායනවල වැඩ වර්ජනය කරමින් අසරණ රෝගීන්ගෙන් හා මහජනතාවගෙන් පළි ගත්තා. ඒ තමන්ගේ පවර් එක පෙන්නන්නටයි.

ලංකාවේ ජනතාවගේ කාලකණ්ණිකමට ප්‍රධාන හේතුව රජය බව අප නිතර කියනවා. එහෙත් බොහෝ දෙනෙකු එය තේරුම් ගන්නේ නැහැ. රජය පවතින්නේ කුමකට ද යන්න ද අප ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. නීතිය, සාමය, පරිපාලනය, නීති සම්පාදනය, දිළිඳුකම දුරලීම, සමාජාරක්ෂාව වැනි අත්‍යවශ්‍ය කාරණා වෙනුවෙන් රජය පැවතීම පිළිගත හැකියි. එසේම, සැමට අධ්‍යාපනය, සෞඛ්‍යය වෙනුවෙන් ද රජය පැවතිය යුතුයි. එහෙත්, ලංකාවේ මෙතරම් විශාල රජයක් පවතින්නේ කුමට ද?

රජය පවතින්නේ ජනතාවට සුබසාධනය සැලැස්වීමට ය කියා කියන අයට එය එසේ නො වන බව තේරුම් ගන්නට ඉහත සිද්ධිය උපයෝගී කර ගත හැකියි.

රජය පවතින්නේ වෙන කුමකටවත් නෙමෙයි. රජයේ දේශපාලකයන්ට, නිලධාරීන්ට හා සේවකයන්ට වැටුප්, වරප්‍රසාද ආදිය ලබා දීමටයි. එය සාධාරණීකරණයට ප්‍රමාණවත් තරමට තමයි ඔවුන් සුබසාධනය කරන්නේ.

ඒ වුණත්, සුබසාධනයේ නමින් මේ දැවැන්ත රජය පවත්වා ගැනීම නිසා මේ රටේ සෑම ලොකු, කුඩා පුරවැසියකු ම රු. ලක්ෂ පහකට වඩා ණයබරකට උර දී තිබෙනවා. දැන් මෙය තව දුරටත් පවත්වාගෙන යන්නට බැරි නිසා රජය නව බදු පනතක් ගෙනැවිත් හැම පුරවැසියකුට ම බදු ලිපි ගොනුවක් විවෘත කිරීමට සැලසුම් කරමින් තිබෙනවා.

මේ දැවැන්ත රජය අවශ්‍ය නම්, මේ රටේ ජනතාවට රජය වෙනුවෙන් බදු ගෙවන්නට සිදු වෙනවා. හැබැයි, තමන්ගේ බදු සල්ලි සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම බදු ගෙවන ජනතාව දැඩිව සිදු කළ යුතුයි. හැබැයි, එය කළ යුත්තේ විධිමත් අන්දමිනුයි. කුපිත වෙමින් නෙමෙයි. හැබැයි, කුපිත වීම අසාධාරණත් නැහැ.

රජයේ සේවයේ තිබෙන්නේ ම ප්‍රශ්න කිරීම හෙළා දකින සංස්කෘතියක්. සේවාලාභියා තමන්ට ලැබෙන සේවයේ ගුණාත්මකභාවය ප්‍රශ්න කිරීම රජයේ සේවකයන්, නිලධාරීන් හා දේශපාලකයන් දැඩි ලෙස හෙළා දකිනවා.

නාගොඩ රෝහලේ නිවට දොස්තරලා ඔබේ ඇහැට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වා දුන්නේ එයයි. තේරුම් ගන්න. රජය යනු ඔබේ මුදල්. එයට ඔවුන් වග වෙනවා ද යන්න විධිමත් අන්දමින් ප්‍රශ්න කරන්න.

මෙම නීති විරෝධී වර්ජන ක්‍රියාමාර්ගය නිසා සිදු වූ ආර්ථික හානිය අති විශාල ය. රෝගීන් දහස් ගණනක් රස්තියාදු කරන ලදී. ආණ්ඩු පෙරළීම තම කාර්යය යයි සිතා සිටින මේ රටේ මාධ්‍ය මේ අසාධාරණය ගැන කතා කළේ ද නැත. සෞඛ්‍ය ඇමතිවරයා හෝ වෙන බලධාරියකු හෝ දැන්වත් මහජනයාට එරෙහිව කරන මෙවැනි අපරාධ වැළැක්වීමට ක්‍රියාත්මක විය යුතු ය.

මේ ලිපිත් කියවන්න:

මාක්ස්වාදීන්ගේ අප්සෙට් පන්ති විග්‍රහය තුළින් ම සිස්ටම් එක තේරුම් ගැනීම

අපට තිබෙන ආර්ථික ප්‍රශ්නය මොකක් ද?

ඔබ ලක්ෂ හතරකට වඩා ණයගැතියකු බවට පත් කළේ කවුරු ද?

Please follow and like us:

4 thoughts on “කළුතර මහ රෝහලේ දොස්තරලා සඳුදා රෝගීන්ගෙන් පළි ගත්තේ ඇයි?

  1. වෛද්‍යවරියකට ඇසිඩ් ගහනවා යයි තර්ජනය සුලුද? පොල්ලෙන් දොස්තරල ගැහීම සුලුද?

    1. මහජනතාවගෙන් හා රෝගීන්ගෙන් පළි ගත්තාම ඒ තර්ජනය නැති වෙනවා ද? අනෙක නීතිය ක්‍රියාත්මක වෙන සාමාන්‍ය විදියට ක්‍රියාත්මක කිරීම හැර එක එකා වාචාලකමට කියන හැම කතාවක් සම්බන්ධයෙන් ම ආරක්ෂාව දෙන්නට ක්‍රමයක් මේ රටේ හරි ලෝකෙ කොහේවත් හරි තියෙනවා ද? රෝහලට එන රෝගියා හැන්දෑවට පීපී එකට එන ක්ලයන්ට්ස්ලා වගේ ම තමයි කියලා හිතලා හරියට රස්සාව කරන එක තමයි ආරක්ෂාව.

  2. පැරා, හැකිනම් අම්පාර මහා රෝහල ගැන සොයා බල ආර්ටිකල් එකක් ලියන්න, එහි ලංකාවේ වෙනත් රජයේ රෝහල්වලට සාපේක්ෂව ඉතාම යහපත් මහජන සේවාවක් පවතිනවා, ලංකාවේ රජයේ ආයතනයකට එවැනි සේවාවක් ලබාදීමට ඔවුන්ට හැකිවී ඇත්තේ කෙසේද යන්න විමසුමට ලක්විය යුතු කරුණක්.

    1. මාත් ඒ් ගැන අසා තිබෙනවා. කවුරුන් හෝ පහසුකම් සපයනවා නම් ඒ ගැන වාර්තා කරන්නට පුළුවන්. දැනට අපට එහෙම හැකියාවක් නැති වීම ගැන කණගාටුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *