කළු ජුලියයි ඒලියනුයි නිර්මාලුයි

ජුලිය කළු වුණත් අපි හරි සුදු ය රාජිනී
දෙමළ කඩ කඩපු උන් ආවේ පිටසක්වළිනී
ඒ වෙලාවෙ අප කළ දේ දෙයියො දනී
කරුමෙ තමයි උඹ විතරක් එය නොදනී

ඒලියන්වරුන් රට ගිනි තබන විට
නිර්මාලුන් විතරයි එක් වුණෙ උන්ට
සිංහල අපි කළේ මොනවද දැනගන්න
රැකවරණය දුන්නා අපි දෙමළුන්ට

හැම සිංහල ගෙදරක හැම කුස්සියෙම
දෙමළෙකු හංගගෙන හිටියා අපි සැවොම
ඒලියනුයි නිර්මාලුයි විතරක් ම
කඩ කැඩුවා ගිනි තැබුවා ඇත්තෙන් ම

ඇල්⁣ලේ ගුණවංශ වැනි විරු හාමුදුරුවරු
අදත් අප අතර හිඳ මේ ලෙස කියති
රට කන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපේ අද දවසේ ‘මහන’කම!

මිනිස්කම අපේ සිංහල නිමක් නැත
පහත් වුණත් මට නම් එය කමක් නැත
ටිකක් කළු වුණත් ඒකත් කමක් නැත
දෙමළ ලියක් හට හදවත ඉඩක් ඇත

කඩ කැඩුවේ ගිනි තැබුවේ ඒලියන්
සීගිරි ගලේ කවි ලිව්වේ ඒලියන්
සිංහල මිනිස්කම හෙළි වේ ජූලියෙන්
පැදුරේ මෙදා නිදියන්නේ නිර්මලුන්

– අජිත් පැරකුම් ජයසිංහ

පසුගිය දිනෙක අගනාගරික සිංහල ප්‍ර‍ජාවක ඉංගිරිසියෙන් කරන සාකච්ඡාවකට සහභාගි වුණා. ඒ හුඟදෙනෙකු 1983 කළු ජූලිය ගැන දන්නෙ ඒගොල්ලන්ගෙ අප්පච්චිලා ගෙදර කුස්සියෙ දෙමළ මිනිසුන් හංගගෙන හිටපු හැටි සහ කාරෙකේ ඩිකියෙ හංගගෙන එයාපෝට් එකට ගිහින් ඇරලපු වගේ කතා. සාමාන්‍යයෙන් ඉතින් ටෙලි නාට්‍යවල එහෙම තියෙන්නෙත් ඒවනේ. එතකොට කවුරු ද අර පණ පිටින් මිනිසුන් ගිනි තිබ්බෙ. මං හිතන්නෙ පිටසක්වළ ජීවීන්.

මේ දවස්වල කළු ජූලියට අවුරුදු 35ක් පිරෙන නිසා හැම තැන ම සැමරුම් නේ. මං මොකවත් ලිව්වෙ නැතිනම් මං කොන් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔන්න මං ලිව්වා සිංහලයන්ගේ කවිය.

මේකත් කියන්න ඕනැ. මේ මං නිර්මාල් ගැන ලියන දෙවෙනි කවිය. මෙන්න මෙතන තියෙනවා පළමු කවිය. ඒක ලිව්වෙ 2012දී. ඒ අදහස් දැන් එහෙමම ද කියන එක මට ෂුවර් නැහැ.

Please follow and like us:

3 thoughts on “කළු ජුලියයි ඒලියනුයි නිර්මාලුයි

  1. මට මේ කවිය තේරුන විදියට පැරා නිවැරදි නැහැ (අවධාරනය නැවතත්, මට කවිය තේරුන විදියට ) උදා. ගත්තොත්, සංගා ගේ සුප්‍රසිද්ධ ලන්ඩන් දේශනය ගන්න. ඒකෙදි එයා තමන්ගෙ පවුලේ අය 83 දෙමල ජනයා බේරාගත්ත හැටි ගැන කියනවා. එහෙම කල අය සිටි බව ලෝකෙටම ඇහෙන්න කියනවා. එහෙම කරපු අය එහෙම කියන එකේ වැරැද්ද මොකක්ද? “හැම සිංහල ගෙදරක හැම කුස්සියෙම දෙමළෙකු හංගගෙන හිටියා අපි සැවොම” මෙහෙම කතාවක් බහුතරයකට කියන්න නැහැ. එතකොට 7 පන්තියේ හිටිය මට අවංකව ම මේ ගැන ලොකු අදහසක් තිබ්බෙ නැහැ. මම දන්න කවුරුවත් එහෙම කලා (දෙමල ජනයා බේරාගත්තා) කියලා ආරංචියකුත් තිබුනේ නැහැ. ඒ කවුරුවත් දැන් කියන්නෙත් නැහැ එහෙම කලා කියලා. (සංහාරෙට සහභාගි වුනා කියල නම් කවුරුවත් කියන එකක් නැහැනේ. නිර්මාල් : ද ඔන්ලි එක්සෙප්ශන්) ඉතින් ඔබ ඔය කියන “ඉංගිරිසියෙන් සාකච්ඡා කරන අගනාගරික සිංහල ප්‍ර‍ජාව” ඇත්තටම එහෙම කල (දෙමල ජනයා බේරාගත්) අය වෙන්න ඇති. ඔවුන්ගේ අත්දැකීම් ප්‍රසිද්ධියේ කිව්වම මක් වෙනවද? ඒ විතරක් නෙවෙයි ඔවුන් නොමඳ ගෞරවයට ද ලක් විය යුතුයි. එවකට මොරටුවේ (නිර්මාලුන් සිටි ප්‍රදේශයේ!) ජීවත් වුන මට නම් මම දන්න කිසි කෙනෙක් හිටියෙ නැහැ ඒ විදියට දෙමල මිනිස්සු බේරගත්ත.

    ඔබ කියන “ඉංගිරිසියෙන් සාකච්ඡා කරන අගනාගරික සිංහල ප්‍ර‍ජාව” සංඛ්‍යාත්මකව විශාල එකක් නෙමෙයි. ඔවුන් 83 තමන් / තම පවුලේ අය කල දේ ගැන කීම අවඥාවට ලක් කල යුතු දෙයක්ද? මම ආපහු අහන්නේ ඒකේ ඇති වැරැද්ද මොකක්ද? එවක පාසල් අවදියේ සිටි අප වැන්නන් ට පසු කලක ඇසුනු එවන් කතා තමයි ඊටත් පසු කාලෙක 83 (සහ, සම්පූර්න ප්‍රශ්නය) ගැන තේරුම් ගැනීමේ පදනම් හැදුවේ.

    83 සංහාරයට සහභාගී වුනු කෙනෙක් අද හොයාගන්න වත් නෑ කියන එකනම් මේ කියන්නේ, ඒ කවියට ඔය කියන සුලු ප්‍රජාව අල්ලගන්න එකේ තේරුමක් මට පේන්නේ නැහැ. ඒ කවියට ප්‍රස්තුත විය යුත්තේ ජේ ආර්, ගාමිනි දිසානායක, සිරිල් මැතිවු සහ පසුව මහින්ද, ගෝටා, නානසාර, අමිත්.. (නම් වැල දිගයි ) ආදී අයගේ අඩිපාරේ යන අයයි. ඒ මෙන්ටලිටිය එදාත් අදත් නඩත්තු කරන්න දතකන අයයි. ඒ මෙන්ටලිටිය තිබූ සහ අදටත් ඇති අයයි. ඒක පොඩි නම්බර් එකක් නෙමෙයි.

  2. ඇත්ත අන්තිමට දෙමල ජනතාවට එරෙහි භීශනය අරන් ඇවිත් තියෙන්නේ පිටසක්වලින්
    අන්තිමට ඉතුරුවෙලා තියෙන්නේ විනාශයට පත් දෙමල ජාතිය සහ ඔවුන් බේරාගත් සිංහල සුපර්මෑන් ජාතිය
    ගහපු එකෙක් නැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *