කූඹියෝ කුමන්ත්‍රණයේ ඔබ හිටියේ කොතන ද?

පරාක්‍රම ජයසිංහ
අති විශිෂ්ට රංගන ප්‍රතිභාවක් – පරාක්‍රම ජයසිංහ (ඡායා: සන්ඩේ ඔබ්සර්වර්)

කූඹියෝ ටෙලි නාට්‍යය විකාශය ආරම්භ කළ දිනවල මම එය ගැන ලිපියක් ලිව්වා. එම ලිපියෙහි අවධානය යොමු කළේ කූඹියෝ නිර්මානයට වඩා කූඹි ගුල්වල ලක්ෂණ ගැන ය. කූඹි ගුල් යයි කීවේ කූඹියෝ ෆෑන්ස්ලා ය. මේ කූඹිලෝලීන් වනාහි තමනුත් නො දැන තමන් විකිණුන පිරිසකි. ‘අපිත් නො දැන අපි විකිණෙන පුදුම රටක් මේක’ යි මහින්ද කේ. ප්‍රේමසිරි ලියූ පද මෙහිදී සිහිපත් වේ.

මම එදා කූඹියෝ සම්බන්ධයෙන් මෙසේ ලිව්වෙමි. “කූඹියෝ වැනි ෆැන්ටසි ඉතා මිහිරි ය. ඒවා රස විඳීම ද ඉතා හොඳ ය. එහෙත්, ඒවා මහා දේශපාලනික මෙව්වා ය අරවා මේවා කියන්නට ඕනෑ නැත. කලාවෙන් එහෙම මහ ලොකු සමාජ වෙනස්කම් ඇති කළ හැකි ද යන්න වෙන ම කතා කළ යුතු විෂයකි. හැබැයි, සමාජය වෙනස් කරන්නට අවශ්‍ය කතිකාව පෙරට ගන්නට කලාවට යම් හැකියාවක් ඇති බව මම විශ්වාස කරමි.” (ඒ ලිපිය මෙතැනින් කියවන්නට පුළුවන්)

මා මෙම සටහන ලියන්නේ ද එම පදනමේ ම සිටිමිනි. සමාජ ක්‍රමය වෙනස් කිරීම ද, සමාජ ක්‍රමය තේරුම් ගැනීම ද සමග එකට අත්වැල් බැඳගෙන යන ක්‍රියාවලියකි. දේශපාලනික තේමා සහිත නිර්මාන ගැන කතා කරන විට අපට අනිවාර්යයෙන් ම සමාජය වෙනස් කිරීම ගැන කතා කරන්නට සිදු වේ. හුදෙක් රස වින්දනය පිණිස පමණක් කරන නිර්මාන පවා දේශපාලනික වෙනස්කම්වලට ඉවහල් වන ඒවා ය.

කූඹියෝ අති සාර්ථක මාකටිං වැඩකි. එය විසින් කූඹි ෆෑන්ස්ලාගේ දුර්වල ස්නායු ඉතා සියුම් ලෙස ස්පර්ශ කරන ලදී. තමන් කූඹියෝ ෆෑන්ස්ලා ය, කූඹියෝ ෆෑන්ස්ලා අනෙක් ටෙලිනාට්‍ය ෆෑන්ස්ලා මෙන් නොව ප්‍රබුද්ධ පිරිසකි, ඔවුන් වෙන ටෙලි නාට්‍ය නො බලන මෙයට ආකර්ශනය වූ විශේෂ පිරිසකි ආදී වශයෙන් වූ නාගරික මධ්‍යම පංතිකයන්ගේ අනන්‍යතා අර්බුදවලට කූඹියෝ කදිමට ආමන්ත්‍රණය කළේ ය. ඒ ඔස්සේ එය විසින් දැවැන්ත ෆෙෑන් බේස් එකක් හදා ගන්නා ලදී.

එය දැවැන්ත කුමන්ත්‍රණයක් පිළිබඳ කතාවකි. එහෙත්, එහි අලෙවිකරණයේ කතාව කිසියම් දවසක විස්තර සහිතව හෙළි වේ නම්, නියම කතාව කූඹියෝ ටෙලි නාට්‍යයේ කතාව නොව, ඒ කතාව ය. කූඹියෝ විකාශය වන්නට පෙර සිට ම ඒ ගැන විවිධ පුද්ගලයන් කියූ කතාවල සිට නාට්‍යය අවසානයේ පවත්වන ලද තරමක ගොන් පාට් එකක් යයි හිතෙන සම්මාන ප්‍රදානය දක්වා ම එහි සුවිසල් කතාවක් තිබේ. තමන් එහි කතාව දන්නා බව නිතර කියූ පිරිසක් සිටි බව ද, අවසානයේ පැවති සම්මාන උළෙලේදී තුමිඳු දොඩන්තැන්න ද එය ම කී බව ද මතක ද? මෙවැන්නක් නිතර නිතර කියන්නට හා අවධාරණය කරන්නට දරණ උත්සාහයට හේතුව ඇත්ත එය නො වීම විය හැකි ය. බොරුවක් ඇත්ත බවට පත් කරන්නට එය නැවත, නැවත අවධාරණය කළ යුතු ය. එහෙම අපූරු ජවනිකාවක් ධර්ම යුද්ධය චිත්‍රපටයේ තිබේ. මිනීමැරුම සිදු වූ දිනයේ තමන් භාවනාවකට සහභාගි වෙමින් සිටි බව ඔප්පු කරන්නට තමන් එම නගරයට ගිය දිනය අහවල් දා යයි අවධාරණය කරන්නට ප්‍රධාන චරිතය දරන උත්සාහය සිහිපත් කරන්න.

එහි අලුත් ම ජවනිකාව කූඹියෝ පසුගිය කොටස් අන්තර්ජාලයේ සොයා ගන්නට නැතිකමයි. ඒ ඇයි?

සතියක අන්තරයකින් පසු කොටස් දෙක බැගින් විකාශනය වන ටෙලි නාට්‍යයක ඒකාග්‍රතාව ගැන සාමාන්‍යයෙන් ප්‍රේක්ෂක අවධානය එතරම් යොමු වන්නේ නැත. දැන් මේ ටෙලි නාට්‍යයේ මුල් කොටස් ආපසු බැලුවොත් මේ කතාවේ නො ගැලපීම් ප්‍රශ්න කරන්නට ප්‍රේක්ෂකයාට හැකියාව තිබේ. පරණ කොටස් සැඟවූයේ එය වළක්වා ගන්න ද?

සරල උදාහරණයක් කියනවා නම්, මේ කතාවට ‘පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී’ ළමා ගීය තේමා ගීතය විදියට තෝරා ගත්තේ ඇයි? එයින් කියැවුණේ ජීවිතේ අසීරුවෙන් ගොඩනගා ගන්නට වෙහෙසෙන තරුණයන් ගැන නෙමෙයි ද? ඒ වෙනුවට අවසානයේදී අපට හමු වන්නෙ කවුරු ද? මාස්ටර් ගේම් එකක් ගහන පුරාවෘත්ත වීරයෙක් හා ඔහු විසින් නටවනු ලබන රූකඩ ටිකකි. මෙය තේමා ගීතය සමග කොයි තරම් ගැලපේ ද? ටෙලි නාට්‍යය මුලදී ඉතා විචිත්‍ර චරිතයක් වූ ප්‍රියන්ත මහඋල්පත අවසන් හරියේදී කලන ගුණසේකරට රඟපාන්නට දෙයක් නැති රූකඩ චරිතයක් විය. ප්‍රියන්ත මහඋල්පත චරිතය මරා දමන ලදී.

මේ අවසානය මුල පටන් ම සැලසුම් කළ එකක් ද? නැතිනම්, මේ ටෙලි නාට්‍යයත් වෙනත් ටෙලි නාට්‍ය වගේ ම තත්කාර්යවාදී විදියට, ඒ කියන්නෙ ප්‍රැග්මැටික් විදියට, ඒ ඒ තත්වයන් තුළ, එන එන හැටියට ගහ උළුවස්සා කියන පිරුළේ කියැවෙන විදියට, එදා වේලට ගැලපෙන විදියට හදා ගත්ත එකක් ද? ඒ කියන්නෙ විවෘත අවසානයක් සහිතව මුල් කොටස් ටික හදාගෙන, ඉන් පස්සෙ ඔය කූඹි ගුල්වල ඉන්න ෆෑන්ස්ලා කැමති විදියට කතාව ක්‍රවුඩ්සෝස් කර ගනිමින් අටවා ගත්ත අටමගලයක් ද?

මුල් කාලෙ ලෝ බජට් ටෙලිය අවසානයට එනකොට ටින්ටජෙල් හෝටලේ ය කියා මා සිතන තැනක ෂූට් කරන්නට තරම් ආර්ථික ශක්තියක් ඇති වැඩක් බවට පත් වුණ විදියත් හැදෑරීම වටී.

මේ සියල්ල ඇතුළෙ කූඹි ෆෑන්ස්ලා ඇත්තට ම නැටවුණේ නිකම් ම නිකම් වැඩකාර කූඹි ටිකක් වගේ ය. කූඹියෝ පටන් ගත් කට්ටිය මෙම එපිසෝඩ් 57 තුළ රජුන්, රැජිනියන් වී අවසානයේදී කඩි බවට ද සංක්‍රමණය වූ හ. මේ එකක්වත් වැරදි, නරක දේවල් ය කියා මම නො කියමි. මා කතා කරන්නේ මේ පසුපස ධනවාදය වැඩ කරන අන්දම හා එය තුළ ප්‍රේක්ෂකයාට සිදු වන දෙයයි.

පීටර් අල්මේදා
කූඹියෝහි පීටර් අල්මේදාගේ රංගනය සුවිශේෂ එකක් නො වූ මුත්, ඔහු දුටු හැටියේ කැළඹුණු කූඹි ගුල් ප්‍රේක්ෂක ප්‍රජාවේ ඇතැමුන්ගේ චර්යාව ද අධ්‍යයනය කළ යුතු තත්වයකි. පීටර් බැස්ස හැටියේ කලනලා කැලේ ය.

මෙය මාර වාමාංශික, ප්‍රගතිශීලී වැඩක් ය සිතමින් මුල් කාලේ ජවිපෙ සම්භවයක් සහිත වාමාංශික පිරිස් කූඹියෝ ටෙලි නාට්‍යයට ආකර්ශනය වූ හ. එහෙත්, අන්තිම කාලය වෙනකොට මේ පිරිස් හැසිරුණේ “කූඹියෝ කියල ටෙලි නාට්‍යයක් තියෙනවා ද? අපි දන්නෙත් නැහැ නේ,” විදියට ය. ඒකට හේතුව වුණේ කමිං කලර්ස් නොට් ගුඩ් වීම ය.

දේශපාලනිකව ගත් විට, කූඹියෝ විසින් ප්‍රවර්ධනය කරනු ලැබුවේ ප්‍රගතිශීලී අදහසක් නො වේ. එය විසින් කරනු ලැබුවේ ධනවාදයේ දැවැන්තභාවය පිළිබඳ තිබෙන ප්‍රබන්ධාත්මක කුමන්ත්‍රණකාරී මාස්ටර් ප්ලෑන් එකේ ලෝක ප්‍රකට කතාව අලුත් විදියකට පුනරුච්චාරණය කිරීමයි. අවසානයේදී ධනවාදය අභියෝග නො කළ හැකි දෙයක් ය, බාහිරින් පිහිටි මහා බලවේග විසින් එය මෙහෙයවනු ලැබේ, ධනවාදයට එරෙහි අරගල ද ධනවාදයේ ම මාස්ටර් ප්ලෑන් එක තුළ රඟ දැක්වෙන ජවනිකා ය යන මතය ප්‍රවර්ධනය කරමින් විශේෂයෙන් ම වාමාංශික දේශපාලනයත්, වෙනත් ක්ෂුද්‍ර මැදිහත්වීමුත් අවතක්සේරුවට හා විහිළුවට ලක් කෙරේ. එසේ ම, මේ සියල්ල පවත්නා අයුරින් සුරක්ෂා කරන මහා බලවේගයක් පිළිබඳ මිථ්‍යා අදහසකුත් අනියමින් ප්‍රවර්ධනය කෙරේ.

ධනවාදය ඇත්තෙන් ම එවැනි දැවැන්ත සැලැස්මක් නො වේ. එසේ ම, වාමාංශික දේශපාලනය පිළිබඳ කූඹියෝහි තිබෙන කියවීම ද යථාර්ථය පිළිබඳ හැදෑරීමක් නැති, පිටින් සිට වමට ආවඩන බොහිමියානුවන්ගේ ෆැන්ටසියකි. ලංකාවේ වාමාංශික දේශපාලනය තුළ තිබෙන මානව අන්තර් සම්බන්ධතා ගැඹුරින් හැදෑරීම සහ ඒවා කලාත්මක ලෙස ප්‍රතිනිර්මානය කිරීම අත්‍යවශ්‍ය ය. එහෙත්, ඒවා මෙසේ ෆැන්ටසිගත කිරීමෙන් සිදු වන්නේ එය යථාර්ථය ලෙස භාර ගන්නා රසික ප්‍රජාවක් බිහි වීමයි. ච්ත්‍රපටවලින් යථාර්ථය විග්‍රහ කරන දාර්ශනිකයන් සිටින රටක මෙවැනි නිර්මාන විසින් ස්ථාපිත කරනු ලබන මිථ්‍යාව බිඳ දැමීම පහසු නැත.

මෙය අවසානයේදී සේවය කරන්නේ ඔක්කොම ගේම් ය කියා සමාජය වෙනස් කිරීමේ දේශපාලනය මුළුමනින් ම බැහැර කරන දේශපාලනික ප්‍රවණතාවට ය.එසේ බැහැර කරන පිරිස් සියල්ල ම බැහැර කරන්නේ නැත. ඔවුහු වඩා සරල, ජනප්‍රිය වෙනත් මතවාද භාර ගනිති. ජාතිවාදය ඒ අතර ඉදිරියෙන් ම තිබේ.

කූඹියෝ දේශපාලන කුමන්ත්‍රණයට ජාතිවාදය කිසිදු ආකාරයකට සම්බන්ධ නො වන්නේ ඇයි ද යන්න ද විමසා බැලිය යුතු ය. මක් නිසා ද යත්, ජාතිවාදය සමග ස්පර්ශ නො වූ දේශපාලන පෙරළි ලංකාවේ කවදාවත් තිබුණේ නැත. කූඹියෝ ෆැන්ටසිය නිර්මානය වන්නේ ඉතා පැහැදිලි තෝරා ගැනීම් තුළ ය.

කූඹියෝ පිළිබඳ මේ අදහස සංවාදයට ගන්න. ඔබේ අදහස පහත ඇති Leave a Reply කොටුවෙහි සටහන් කළ හැකි ය.

ආපු එකේ ඔන්න ඔහේ මේකත් කියවගෙන ම යන්න.

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී ගීයේ නිර්මාතෘ කවුරුද?

කූඹියෝ ටෙලිනාට්‍යය නිසා ‘පායනා කාලෙදී – රෑ දවල් මහන්සි වී’ ගීතය ජනප්‍රිය වුණා. මේ ගීතය 1960, 70 වගේ දශකයේදී පමණ ප්‍ර‍සිද්ධ වුණ ළමා ගීයක්. අපි පොඩි කාලෙ මෙය පාසල්වල ජනප්‍රිය ගීතයක් වුණා. ඒ නිසා මේ ගීය කවුරු, කවදා, කෙසේ නිර්මානය කළ එකක් ද යන්න සොයා බලන්නට උත්සාහ කළා. ඒත්, බොහෝ… Read More

Please follow and like us:

11 thoughts on “කූඹියෝ කුමන්ත්‍රණයේ ඔබ හිටියේ කොතන ද?

  1. මගේ අදහස ඉතා කෙටියෙන් මෙලෙසයි.

    අපේ සමාජයේ මා ද ඇතුළු අති බහුතරයක් පිරිස පිරිසගේ සිත තුල හොරෙක් වංචාකාරයෙක් සහ game කරුවෙක් ජීවත් වෙති. එසේ වුවද ඒ පිරිසෙන් වැඩිදෙනා ොරකම් නොකරන්නේ වංචා නොකරන්නේ ගේම් නොගහන්නෙ ඒ සඳහා අවශ්‍ය නිවරදි තත්වයන් නැති නිසාය.

    කූඹියෝ මාලා නාටකය තුළ අපට ඒ අවශ්‍යතාවය අතත්‍යව සාදාගත හැකි විය. කූඹියෝ ජනප්රියත්වයේ රහස එයයි.

    එසේ වුවද මා සිතන පරිදි මෙය ලංකාවේ ,
    ජනප්රියම මාලා නාටකය නම්නොවේ.

  2. // මේ අවසානය මුල පටන් ම සැලසුම් කළ එකක් ද? නැතිනම්, මේ ටෙලි නාට්‍යයත් වෙනත් ටෙලි නාට්‍ය වගේ ම තත්කාර්යවාදී විදියට, ඒ කියන්නෙ ප්‍රැග්මැටික් විදියට, ඒ ඒ තත්වයන් තුළ, එන එන හැටියට ගහ උළුවස්සා කියන පිරුළේ කියැවෙන විදියට, එදා වේලට ගැලපෙන විදියට හදා ගත්ත එකක් ද? //

    එහෙම වෙන්න හුඟක් ඉඩ තියෙන බවයි මගේ අදහස. ප්‍රේක්ෂක ප්‍රතිචාර, අදහස් සමූහයත් එක්ක තිර පිටපතේ යම් කිසි වෙනස් කම් කරන එක ටෙලි නාට්‍ය ලෝකයේ අලුත් දෙයක් නෙමෙයි.

    ධනවාදය ඔය කියන ආකාරයේ මාස්ටර් ප්ලෑන් එකක් කියන මතය ඒත්තු ගන්වන්න කූඹියො ටෙලිනාට්‍යයේ කතාවෙ රචකයන් උත්සාහ කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි තිර රචකයන්ගෙ ප්‍රධාන අරමුණ ඒකයි කියලා අනුමාන කරන්න බැහැ කියන එකයි මගෙ මතය.

    ධනවාදයේ මාස්ටර් ප්ලෑන් එක ගැන ඒත්තු ගන්වනවාට වඩා ලංකාවෙ දේශපාලනයෙ තිරය පිටුපස වෙන දේවල් පිළිබඳව වඩා ත්‍රාසජනකව ඉදිරිපත් කිරීම වගේ දෙයක් “කූඹියො” කතාවෙ ප්‍රධාන අරමුණ වෙන්න පුළුවන්. ඒ අරමුණ ඉටු කරගන්න ධනවාදයේ දැවැන්ත බලවේගය වගේම වාමාංශික ව්‍යාපාර පවා කොහොමින් කොහොම හරි ඒකට ගොදුරු වෙන එක කතාව තුළින් ඉස්මතු කරලා පෙන්නන්න පුළුවන්.

    // කූඹියෝ දේශපාලන කුමන්ත්‍රණයට ජාතිවාදය කිසිදු ආකාරයකට සම්බන්ධ නො වන්නේ ඇයි ද යන්න ද විමසා බැලිය යුතු ය. මක් නිසා ද යත්, ජාතිවාදය සමග ස්පර්ශ නො වූ දේශපාලන පෙරළි ලංකාවේ කවදාවත් තිබුණේ නැත. කූඹියෝ ෆැන්ටසිය නිර්මානය වන්නේ ඉතා පැහැදිලි තෝරා ගැනීම් තුළ ය.//

    මගේ තියරි එක:

    ජාතිවාදය, ආගම්වාදය වගේ මාතෘකා ලංකාවෙ තවමත් මතභේදාත්මක යි. මේ කාරණා විවිධ විදිහට ලංකාවෙ අර්ථකතනය වෙනවා. ඕනම රටක ජාතිවාදය, ආගම්වාදය සම්බන්ධ සිදුවීම්, කටයුතු සාමන්‍යයෙන් සංකීර්ණයි. ලංකාවෙත් එච්චරයි. ජාතිවාදී හෝ ආගම්වාදී දේශපාලනය කතාවෙ නිරූපණය කරොත් ප්‍රේක්ෂක ප්‍රජාව අතර මතභේද ඇති වෙන්න පුළුවන් ඉඩ කඩ වැඩියි. ධනවාදයේ දැවැන්ත කුමන්ත්‍රණකාරී ස්වභාවය, දේශපාලනයෙ ගේම් ලෝකය වගේ කරුණු ගන්නකොට ඒ පිළිබඳව ලංකාවෙ, විශේෂයෙන්ම තරුණ ප්‍රජාවෙ, මතභේද අඩුයි. සරලව කිව්වොත් ජාතිවාදය, ආගම්වාදය වගේ කාරණා වලට වඩ ධනවාදය වගේ මාතෘකා ගැන ලංකාවෙ තරුණ ප්‍රජාව අතර වැඩි මතභේදයක් නැහැ. ඒ වගේ මතභේදයක් නැති මාතෘකා කතාවෙ ත්‍රාසජනක විදිහට නිරූපණය කිරීමෙන් ප්‍රේක්ෂකයන් ගණන වඩා වැඩි කරගන්න පුළුවන්.

  3. කූඹියෝ යතාර්ථවාදී නෙවෙයි කියලා අවසාන ජවනිකාවෙන් ලස්සන උදාහරණයක් දෙන්න පුලුවන් එතනදි ජෙහාන්ව මරන්න යන සීන් එකේදි නව අගමැති තුමා කියන්නේ අතුල දවස් දෙකක් ජෙහාන්ව ෆලෝ කරා කියලා ජෙහාන්ව මරන්න ඕන උනා නම් ෆලෝ කර කර ඉන්නේ නැතුව ඒ දවස් දෙක ඇතුලෙදි මරන්න තිබුනා නේ. මට පේන්නේ ජෙහාන්ගේ පොරත්වය පෙන්නන්න තමයි ඔය දෙබස දැමේමේ. “සර් ඔය කෝල් එක ගන්නම ඕන”

    1. Ehema nikan maranna baane.jehan gawa thiyena details monada kiyala danne nathuwa.kathawe vidihata jehan master mind ekak thiyena kenek.jehan gana danna nisai follow karee.mokada echvhara deyak karapu kenek anthimata thmatath me de wena bawa nodana sitiya neme neda?jehan ekatath ready una wenna puluwan neda

  4. Aththata me Kiyapu kathawata man ekagai.eth me kathawa ena ena widihata gahapu uluwassak newei.meke bayanaka kama realty eka mekai kiyala samaharu wishwasa karana ekai.anthimata jehange wachana tika(oka gannama oni call ekak) kathawa wihiluwak kala …

  5. මේක ෆැන්ටසියක් ම කියමුකෝ. එත් මේ කතාවේ සිදු වූ සිදුවීම් එක පෙලට නොවුනත් කොපමණ වෙලා තියෙනවද. උදාහරණ ලෙස, කර්මාන්ත ශාලා වැසිම්, පාතාල කල්ලි අතර මරා ගැනීම් හා පාවාදීම්, දේශපාලන පිල්මාරු හා පක්ෂ ලෙස සහය දීම, blackmail කිරීම්. එහෙම කියලා මේක යථාර්තය කියල කියන්න බැහැ. එහෙත් මුලාවක් හෝ බොරුවක් ලෙස අහක දමන්නත් බැහැ. සමස්තයක් ලෙස ලාංකීය ටෙලෙවිෂන් කතා වලට අලුත් තේමාවක්. එසේම කුම්බියෝ අධ්‍යක්ෂක නියම marketing පොරක්. මෙහි සමහර චරිත සඳහා නළු නිලියන් සොයා ගන්නේ ඒ සඳහාමයි. පීටර් සහ යුරේනි හොඳම උදාහරණ. සමහර ගොන් පාර්ට් තිබුනා. අර මුලදී ජෙහන්ට කෙල්ලෙක් සෙට් කරන්න යන එක, ප්‍රියන්තව ගොලුවෙක් විදිහට අන්දන එක. හැබැයි නියම ගොන් පාර්ට් එක අවසන් කොටස. ජෙහාන් පුස් පැටියෙක් කියලා හිතුවද දන්නේ නැහැ අගමැති තුමා සල්ලි දෙන වෙලාවේම මරන්න හදන්නේ…

  6. අැත්තටම ක්ලයිමැක්ස් එකක් වෙන්න ඕනේ අන්තිම කොටස ඇන්ටි ක්ලයිමැක්ස් වුනා.

    ඔච්චර ගේම් එකක් හරියට ප්ලෑන් කරපු ජෙහාන්ව තනියම ගෙන්නලා මරන්න හදන අච්චර දැවැන්ත චරිතයක් වුන මල්දෙණිය නිකං මොන්ටිසෝරි ළමයෙක් වගේ වුනා. ජෙහාන් වගේ කෙනෙක් ඒ වගේ තැනකට කිසිම ආරක්ෂාවක් සලසගන්නේ නැතුව එයි කියලා හිතපු එකෙන් මල්දෙණියගේ චරි‍තේ තිබුණ වේට් එක තනිකරම නැති කරලා දැම්මා. ජෙහාන්ට කරන්න තිබුණේ ඔක්කොම සාක්ෂි සීඩී එකකට දාලා කාගේ හරි ළඟ තියන එක සහ ජෙහාන්ට අනතුරක් වුනොත් ඒ ඔක්කොම එලියට දාන්න කියලා දැනුවත් කරන එක වගේ සිම්පල් දෙයක් කියලා තේරුම් ගන්න අච්චර ගේම් කාර මල්දෙනියට බැරිවුනා

    මටත් හිතෙනවා විවෘත අවසානයක් තියලා කතාව වෙනස් කළා කියලා..

  7. පායනා කාලේදී ගීතය ලීවේ කවුදැයි අසන්නට ප්‍රථම මෙම උපුටනයට ගත්
    දීපාල්ද සිල්වා ගායනා කළ මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසි දාක…..ගීතයේ
    සටහන් වන පද ගැන සඳහන් කිරරීම ගැන මට ඇත්තේ අවංක සතුටකි. නමුත්
    මෙම ගීතය ලීවේ කේඩී නිකුලස් නොව, මහින්ද කේ පේමසිරි වන මම විසිනි.
    නිකුලස් හා දීපාල් මියගොස් ඇතත් මෙහි පද රචකයා හෝ සංගීතඥයා මිය ගොස්
    නැති බව සඳහන් කරමි.-මහින්ද කේ ප්‍රේමසිරි
    මේ කූඹිලෝලීන් වනාහි තමනුත් නො දැන තමන් විකිණුන පිරිසකි. ‘අපිත් නො දැන අපි විකිණෙන පුදුම රටක් මේක’ යි කේ.ඩී. නිකුලස් ලියූ පද මෙහිදී සිහිපත් වේ.

  8. කූඹියෝ අවසානය නම් දුර්වලයි
    එම් නයිට් ෂ්‍යාමලාන් වගේ පටන් අරන් හින්දි චිත්‍රපටයකින් වගේ අවසන් වුනා

Leave a Reply to Dilanka Cancel reply

Your email address will not be published. Required fields are marked *