කොල්ලුපිටිය දුම්රියපොළේ අපූරු වීදි චිත්‍රය

මගේ සැම්සුන් J5 ජංගම දුරකථනයෙන් ගිය සතියේ දිනෙක හසු කර ගත්ත මේ වීදි චිත්‍රය මා විස්මයට පත් කළා. එය තිබුණේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ දකුණුපසට වන්නට ඇති අතහැර දැමූ ගොඩනැගිල්ලකයි. ඒ ගොඩනැගිලි බිත්තිය ම වුණත් අපූරු චිත්‍රයක් වගේ. (සුපැහැදිලි ඡායාරූපයක් මෙතන තිබෙනවා)

එදා තදබද වූ දුම්රියේ එන ගමන් ම මම උත්සාහ කළා ජංගම දුරකථනයෙන් මගේ හැඟීම් සටහන් කරන්නට. ඒත්, බැරි වුණා. අද මෙම සටහන ලියන්නට කලින් මම කොල්ලුපිටිය දුම්රිය ස්ථානයට කතා කළේ එහි පසුබිම දැනගන්නටයි.

සාමාන්‍යයෙන් සිදු වෙන්නා වගේ ම දුරකථනයට කතා කළ පුද්ගලයා එතරම් සුහද ලෙස කතා කළේ නැහැ. හරියට වරදක් වසා ගන්නට වගේ ඔහු කිව්වේ, දැන් එය මකා දමා ඇති බවයි. එපමණක් නොවෙයි, එය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන කරන ලද වෙළඳ දැන්වීමක් බවත්, ඒ සඳහා ගෙවීම් කළ බවත්, කාලය අවසන් නිසා දැන් එය මකා දමා ඇති බවත් කියමින් තමන් ඒ පිළිබඳ විස්තර නො දන්නා බවත් ඔහු කිව්වා. මට අවශ්‍ය වුණේ ඒ නිර්මානය කළේ කවුරුද යන්න දැන ගන්නටයි. ඒත්, ඔහු කිව්වේ කැම්පස් එකෙන් ද කොහෙද කියා ය.

වීදි චිත්‍ර (Street Graffiti) කියන්නේ පොදු ස්ථානවල නිර්මානය කරනු ලබන, සම්ප්‍රදායික කලාගාරයෙන් පමණක් නොවෙයි කැන්වසයෙනුත් පරිබාහිර වන නිර්මාන විශේෂයකටයි.

එහිදී හිමිකාරිත්වය හෝ නිර්මානකරුවා පවා වැදගත් වන්නේ නැහැ. නිර්මානය කරන ස්ථානය බොහෝ විට පොදු ස්ථානයක් වෙන්නට පුළුවන්. සමහරවිට එය කරන්නේ අනවසරයෙන් වන්නටත් පුළුවන්.

මෙවැනි චිත්‍ර නිර්මානය කරන්නට ස්ටෙන්සිල්, විදින තීන්ත කෑන් හා පරිගණක තාක්ෂණය ආදිය උපයෝගී කර ගන්නවා. ඒ වගේ ම නිශ්චිත කාලයක් තුළ වේගයෙන් නිර්මානය කරන්නටත් නිර්මානකරුවාට සිදු වෙනවා. එය බොහෝ විට කලින් සැලසුම් කර ගත් චිත්‍රයක්.

මේ චිත්‍ර කලාවේ ඉතිහාසය ගැන චිත්‍ර ගුරුවරයකු වන මාලන් වීරසිංහ සිය බ්ලොගයේ මෙසේ සටහන් කර තිබෙනවා.

1970 හා 1980 දශක අශ්‍රිතව, විශේෂයෙන් කාර්මික දියුණුවේ හිනි පෙත්තෙහි සිටි ඇමෙරිකාවේ මහා නගරය වූ නිව්යොක් හී විසූ අවර වරප්‍රසාදිත හෝ සුළු ජාතීක ජනයාගේ අපේක්ෂා භංගත්වයන් පල කිරීමට අවකාශයක් හෝ වේදිකාවක් නිර්මාණය වී තිබුනේ නෑ. ස්වකීය මනෝ භාවයන් රිසිසේ මුදා හැරීමට ඔවුන් විවිධ මාවත් සෙව්වා. 
අවසන ඔවුන් උමං මාර්ග, උමං දුම්රිය, නාගරික ප්‍රදේශවල බිත්ති සහ කාර්මික මුඩුබිම්, වහල සහ කටවුට් ආශ්‍රිත ගල්, ප්ලාස්ටර්, ලෝහ, ලී, ප්ලාස්ටික් තලයන් ඔවුන්ගේ ” කැන්වස් ” බවට පත් කරගත්තා. කාර්මික ඉසින තීන්ත සහ ඇක්රලික් යොදා ගනිමින් සහ ස්ටෙන්සිල්, මාකර් පෑන් සහ දූවිලි ඉසින කෑන් භාවිතයෙන් තම ජවසම්පන්න සිතැගි වේගවත්ව හා ප්‍රාණවත්ව මෙම සුලබ සහ පහසු තලයන් මත තවරන්න නාගරික ජනයා උනන්දු වුනා. මේ ක්‍රියාවලිය අශ්වාදය ගෙනදෙන පීඩනය මුදා හැරෙන භාවිතයක් ලෙස ඇමරිකානු නගරවල වේගයෙන් පළවුනා. ඇත්තටම මෙම නව ක්‍රියාශීලීත්වය කෙටි කලකදී සංස්කෘතික ව්‍යාපාරයක් දක්වා වර්ධනය වුනා. පසුව යුරෝපය හා ජපානයේ වීදි පුරාද පැතිර අවසානයේ වීදියේ සිට පුරා කලාගාර දක්වා ඡේදනය විය. පසුව මෙම තත්වය කලා ඉතිහාසය මත වීදි කලාව (Graffiti Art) ලෙසින් නාමකරණය වී වෙනස්කම් වලට ලක්වෙමින් මේ දක්වා ක්‍රියාත්මක වේ.
ලෝක ප්‍රකට වීදි සිත්තරකු වන C215 යන සන්නාමයෙන් තමන් හඳුන්වා ගන්නා ප්‍රංශ සිත්තරකු වන ක්‍රිස්ටියන් ගූමි ශ්‍රී ලංකාවට පැමිණ කොම්පඤ්ඤවීදියේ වොක්ෂෝල් වීදියේ කරන ලද ස්ට්‍රීට් ග්‍රැෆිටි නිර්මාන සොයා ගිය ගමනක් පිළිබඳ අපූරු ලිපියක් යමු වෙබ් අඩවියේ තිබෙනවා. මෙතනින් ගිහින් කියවන්න.

ගූමිගේ පූසා වීදි චිත්‍රය: කොම්පඤ්ඤවීදියේ නවා සිනමා
ගූමිගේ පූසා වීදි චිත්‍රය: කොම්පඤ්ඤවීදියේ නවා සිනමා

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *