කොළඹ නගර සභාව⁣ට පත් වුණ කැලණි හිඟන්නන් සහ අපි

Computers and tabs for Colombo Municipal Councilorsදේශපාලනය කළ හැකි ආකාර තුනක් තියෙනවා.
1. මහජන නියෝජනය – පාර්ලිමේන්තු, පළාත්, ප්‍රාදේශීය සභා
2. නිලධාරි දේශපාලනය – දේශපාලකයන්ගේ හෝ රජයේ හෝ කාර්ය මණ්ඩලවල සිටිමින් දේශපාලනය කිරීම
2. විවෘත දේශපාලනය – ඉහත දෙකටම අයත් නොවන දේශපාලනය

මෙතැනදි මා ඇතුළු වැඩි පිරිසක් තෝරාගෙන තිබෙන්නෙ තුන්වන ක්‍රමය. ඒක ඉතා අභියෝගාත්මකයි. අනෙක් දෙවර්ගයේ අයට තියෙන නිල පිළිගැනීම හෝ අපට නැහැ.

තුන්වැන්නේත් අනු කොටස් දෙකක් තිබෙනවා.

1. සංවිධාන – දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන ආදිය
2. පුද්ගල

මෙතනදි මා අයත් වෙන්නෙ ඒකෙත් දෙවෙනි කොටසට. මා දේශපාලනය කරන්නෙ සමාජ ක්‍රියාකාරකම්, දේශපාලන සංවාද, පොත්, පුවත්පත් ලිපි, බ්ලොග් ආදිය හරහායි. සංවිධානවලට වගේ නෙමෙයි තනි පුද්ගලයන්ට ඒ වගේ දේවලට අරමුදල් සපයන්නට කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඇතැම් සංවිධාන නම් අප ගැන සිතලා සේවා ලබා ගැනීම ඔස්සේ ගෙවීම් කරනවා. එහෙත් සේවා සම්පාදනයේ විශේෂඥයිනුත් මේ ක්ෂේත්‍රයේ ඉන්න නිසා අප වැනි අයට අවස්ථා අවමයි.

ජීවත් වෙන, දරු පවුල් නඩත්තු කරන අතරෙ දේශපාලනයත් කරන්නට අවශ්‍ය අරමුදල් සම්පාදනයත් කර ගත යුතු නිසා මගේ ජීවිතේ මම දැන් අවුරුදු 15කට වැඩි කාලයක් දවසකට පැය 16ක් විතර වැඩ කරනවා. දරුවන්, බිරිය එක්කත් කාලය ගත කරනවා. හැබැයි, ඒ වෙනුවෙන් මා කොළඹ කවවල දේශපාලන, කලා ආදී කතිකා කැප කළා. ඒ නිසා කොළඹ පොළවෙදි බොහෝ අයට අප හමු වන්නෙ කලාතුරකින්. ඒ ගැන සියුම් දුකක් තිබුණත් වෙන විකල්පයක් නැහැ. සවස වැඩසටහනකට එන්නට කියන බොහෝ අයට තේරෙන්නෙ නැහැ එය අවසන් වෙලා ට්‍රැෆික් මැද මතුගමට යාමට මට පැය හතරක් විතර ගත වෙන බව සහ පසුදා උදෙන් නැගිට ආපසු රැකියාවට ද පැමිණිය යුතු බව.

මේ වැල්වටාරම් ටික ලිව්වෙ ඉරිදා ලංකාදීප පුවත්පතේ පළ වී තිබෙන මේ පුවත දැකලායි. මීට කලින් මා වාර්තා කළා මතුගම ප්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීලා යෝජනාවක් සම්මත කරගෙන මහජන මුදලින් ජංගම දුරකථන ගත් හැටි. ඒ ලිපියේ මා මෙසේ ද ලිව්වා

පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ කොට්ඨාස ක්‍රමයට නිසා මේ මන්ත්‍රීන් ප්‍රචාරය සඳහා වැය කළේ අවම මුදලක්. එක්සත් ජාතික පක්ෂය නම් අපේක්ෂකයින්ට රු. 50,000 ගානේ බෙදුවා. සමහරු එයිනුත් ගානක් කපාගත්තා.

මහ නගර සභාවක නගරාධිපතිවරයකුට හිමි මාසික වැටුප රුපියල් 30,000 කි. උප නගරාධිපතිවරයාගේ වැටුප රුපියල් 25,000 කි. සෙසු මන්ත්‍රී වැටුප රුපියල් 20,000 කි. නගර සභා සහ ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන්ගේ සහ සභාපතිවරුන්ගේ වැටුප රුපියල් 25,000 කි. උප නගරාධිපති සහ උප සභාපති වැටුප රුපියල් 20,000 කි. සෙසු මන්ත්‍රී වැටුප රුපියල් 15,000 කි.

පළාත් පාලන මන්ත්‍රී වැටුප් වෙනුවෙන් පමණක් වසරකට මහජන මුදල් රු. කෝටි 160ක් පමණ වැය වේ.

පළාත් පාලනය සඳහා මහජනතාව විසින් පත් කර යවා තිබෙන්නේ මොන කැලණි හිඟන්නන් පිරිසක් ද?

අපි දැන් දශක ගණනාවක් තිස්සේ අපේ අතේ මුදලින් පරිගණක, ජංගම දුරකථන, කැමරා, අන්තර්ජාල සම්බන්ධකම්, දත්ත ආදිය පවා වැය කරගෙන දේශපාලනය කරනවා. හැබැයි අපි ඡන්දයක් ඉල්ලුවොත් ඡන්ද 100ක්වත් ෂුවර් නැහැ.

පසුගිය දිනක මගේ රැකියාව වෙනුවෙන් මම තරුණ පළාත් පාලන මන්ත්‍රීන් කීපදෙනෙකුගේ වීඩියෝ පටිගත කිරීම් ටිකක් කළා. එතනදි මම නිකම් වීඩියෝකාරයෙකු විතරයි. කඳුරට එක් පළාත් පාලන ආයතනයක තරුණ මන්ත්‍රීවරියකගෙ විනාඩියක දෙකක වීඩියෝව ගන්න මම හතර පස් වතාවක් උත්සාහ කළා. ඒ ළමයාට වාක්‍ය දෙකක් එක දිගට කතා කරන්නට බැහැ. ප්‍රශ්නය අදහස් නැතිකම. ඒ අපේ මහජන නියෝජිතයෝ. කාන්තා නියෝජනය ගැන අප කොයි තරම් පෙනී සිටියත්, පත් වන්නේ මෙවැනි කාන්තාවන් නම්, ඒ නියෝජනයෙන් තිබෙන ප්‍රයෝජනය කුමක් ද? දැන් කාන්තා නියෝජනයට විරුද්ධ වෙන්න කලබල වෙන්න එපා. පිරිමිත් මෙහෙම ම තමයි.

මෙහෙම සන්තෑසියක් මැද්දෙ අපට ඇයි මහජන නියෝජිතයන් වෙන්නට බැරි? වරද අපේ ද? නැතිනම් සමාජයේ ද?

ඕවට ගියොත් අපත් ඒ හොරුන් හා සමාන ම වන බව කියන්නට කට ඉස්සර කරන්නට කලින් බලන්න 2015 ආණ්ඩු පෙරළිය වෙනුවෙන් වැඩ කරද්දි ඇතැම් අය අපට මෙහෙම වෙයි කියූ කියුම් සැබෑ වෙලා තියෙනව ද කියලා.

මේ සිස්ටම් එකට මිනිසුන් ගිලින්නට පුළුවන්. හැබැයි බේරී යන්නට පුළුවන් පුංචි මාළුවනුත් ඉන්නවා.

මහජන නියෝජිතයන් විදියට පත් කර ගත හැකි මීට වඩා හොඳ නායකයන් ඕනැ තරම් අප අතර ඉන්නවා. ඒත් ඇයි ඔවුන්ට මහජන නියෝජිතයන් වන්නට බැරි? මූලික හේතුව තියෙන්නෙ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තුළයි. ජවිපෙ සිට විවිධ දේශපාලන පක්ෂ සමග වැඩ කර ලැබූ අත්දැකීම් සම්භාරයක් මට තිබෙනවා.

අපේ රටේ දේශපාලන පක්ෂ නහුතයක් තිබුණත් ඒවා අයත් වන්නෙ වර්ග දෙකකටයි. එක වර්ගයක් නායකයා පස්සෙන් යන වහලුන්ගෙ පක්ෂ. එජාප, ශ්‍රීලනිප, පොදුජන පෙරමුණ වගේ ඒවා අයත් වන්නෙ ඒ වර්ගයට. අනෙක් වර්ගය පක්ෂ සන්නාමය පසුපස යන වහලුන්ගෙ පක්ෂ. ජවිපෙ, පෙසප වගේ පක්ෂ අයත් ඒ වර්ගයට. මේ දෙක ම එක කාරණයකදි එක සමානයි. ඒ තමයි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය. ඒවා ඇතුළෙ ඒක නැහැ.

තුන්වන වර්ගයක දේශපාලන පක්ෂයක්, ව්‍යාපාරයක් රටට අවශ්‍යව තිබෙනවා. ඒ සැබෑ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන පක්ෂයක්. රටට සැබෑ දේශපාලන නායකයන් නිර්මාණය කරගන්නට පුළුවන් එවැනි ව්‍යාපාරයකින් විතරයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය හදන්නට වැඩ කළාට අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති පක්ෂ නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයේ ඵල නෙළාගන්නට බැරි වෙනවා.

Please follow and like us:

One thought on “කොළඹ නගර සභාව⁣ට පත් වුණ කැලණි හිඟන්නන් සහ අපි

  1. පැරා,
    අර අවසාන ඡේදයේ එන ලෙසට තුන්වැනි වර්ගයේ දේශපාලන පක්ෂයක් හදනවා නම් හැදිය හැකියි. තවමත් විශාල හිස් බිමක් තියෙනවා අපේ රටේ දේශපාලන භූමියේ.

    SLSSP සිට පෙරට්ටෝ දක්වා මේ කරමින් ඉන්නේ ඒ බිමේ අටවපු කඩ කෑල්ල මාරුවෙන් මාරුවට බද්දට ගන්න එක විතරයි. ඒ කඩේ විශාල ව්‍යාපාරයක් දක්වා පුලුල් කරන්න එකෙකුටවත් දැනුමක් ⁣, ශක්‍යතාවක් හෝ විභවයක් නැහැ.
    ඒක පටන් ගන්න පුලුවන් බහුතරය ඉන්නේ 1965-1975 ඉපදුන කාල වකවානුවේ කියන එක අනිවාර්යයක්.
    අහම්බයක් නොවේ.
    CLEMENT PERIS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *