ගම් පෙරළි, පෙම් පෙරළි හා ආණ්ඩු පෙරළි

රනිල් මෛත්‍රී

අජිත් පැරකුම් ජයසිංහ (2018 ඔක්තෝබර් 21දා අනිද්දා පුවත්පතේ පළ විය)

රුපියලට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම ඉහළ යාමත් සමග රට කිසියම් ආර්ථික අර්බුදයක පැටලී සිටියි. ඩොලරය, තෙල් මිළ වැනි සාධක සම්පූර්ණයෙන් ම පාලනය කිරීමේ හැකියාව ලංකාවට නැත. එවැනි අර්බුද ඇති වූ විට කළ යුතු වන්නේ ඒවා කළමනාකරණය කරගැනීමයි. එය කළ යුතු වන්නේ එම වකවානුවේ බලයේ සිටින ආණ්ඩුව හා රාජ්‍ය යාන්ත්‍ර‍ණයයි. ඔවුන් මුල් වී ඒ වෙනුවෙන් ප්‍ර‍තිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කළ යුතු ය. පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂ, සෙසු පක්ෂ, සිවිල් සමාජ සංවිධාන ආදිය විසින් කළ යුතුව තිබෙන්නේ පවත්නා තත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් නිසි ක්‍රියාකාරිත්වය සඳහා රජය යොමු කිරීමයි.

ලංකාවේ ආර්ථිකය මත දැඩි පීඩනයක් පටවන්නේ ඩොලරය හෝ තෙල් මිළ නොවේ. ලංකාවේ ජනතාවගේ ජීවන විලාසය හා ආකල්පයි. බලයේ සිටින ආණ්ඩු විසින් ප්‍ර‍කාශමාන කරන්නේ ද එම ආකල්ප ම ය. අඩුවෙන් වැඩ කර, වැඩියෙන් පරිභෝජනය කිරීමේ පරමාදර්ශ වන දේශපාලනය හා රාජ්‍ය සේවය මේ රටේ ජනතාවගේ ආකල්ප මෙහෙයවන ප්‍ර‍ධාන සාධක වේ. ලංකාවේ ආර්ථිකය අර්බුදයට යන්නේ මේ දැවැන්ත, අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍ර‍ණය නඩත්තු කිරීමට සිදු වීම නිසා ය. පෙට්‍ර‍ල් ලීටරයක මිළෙන් අඩක් පමණ බදු බව පසුගියදා හෙළිදරව් විය. බොහෝ දෙනෙකු හිතන්නේ මේ අය කරන බදු තමන්ගෙන් පිට කොහේ හෝ යන බව ය. එහෙත්, මේ බදුවලින් වැඩි ප්‍ර‍මාණයක් රාජ්‍ය සේවය හරහාත්, අකාර්යක්ෂම වුණත්, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය හරහාත් ආපසු ජනතාවට ලැබේ. නිදසුනක් ලෙස පාසල් නිල ඇඳුම් රෙදි පහසුවෙන් ඒවා මිළ දී ගත හැකි ධනවත් පවුල්වල දරුවන්ට ද නොමිළේ ලැබේ. අවහ්‍ය දරුවන්ට ලැබෙන්නේ අඩුවෙනි. ඒවා මිළ දී ගැනීම්, බෙදාහැරීම් ආදිය වෙනුවෙන් දැවැන්ත, දූෂිත යාන්ත්‍ර‍ණයන් නඩත්තු කෙරේ. ඒවා වෙනුවෙන් රාජ්‍ය සේවයක් ද, දේශපාලන ව්‍යූහයක් ද නඩත්තු කළ යුතු ය. ලංකාවේ සියලු දේශපාලන පක්ෂ මේ අතරමැදි පංතිය මත නඩත්තු වන, ඔවුන්ගේ පැවැත්ම නියෝජනය කරන ඒවා නිසා ඔවුන් මේ කිසිවක් රැඩිකල් ලෙස වෙනස් කිරීමට ඉඩ දෙන්නේ නැත.

කිසිවෙකු මේ ඇත්ත කතා කරන්නේ නැත. ඒ වෙනුවට අපේ රටේ සිදු වන්නේ කුමක් ද? හුදු බල ලෝභය මත පදනම්ව කෙසේ හෝ ආණ්ඩුව පෙරළීම සඳහා උද්ඝෝෂණ කිරීමයි. ආණ්ඩු පෙරළීම ගැන අපට කිසිදු ගැටලුවක් නැත. එහෙත් දිනපතා ආණ්ඩු පෙරළන්නට උවමනා නැත. එයින් ජනතාවට අත් වන කිසිදු සෙතක් නැත. දේශපාලනය හැර වෙනත් වැඩක් නැති කාලකණ්ණින්ට කාලය කා දැමීම සඳහා ඒවා හොඳ ය. ආණ්ඩුවක් නියමිත කලට කලින් බලයෙන් පහ කිරීම සඳහා බරපතල හේතු තිබිය යුතු ය. ජනප්‍රිය නොවීම ආණ්ඩුවක් බලයෙන් පහ කිරීමට හේතුවක් නොවේ. බලයේ සිටින පක්ෂයකට හැම විටම ජනප්‍රිය වන්නට අමාරු ය. ජනප්‍රිය වුණත්, නොවුණත්, බලයට පත් කරන ලද කාල පරිච්ඡේදය සඳහා බලයේ සිටීමේ අවස්ථාව ආණ්ඩුවකට හිමි ය. ජනප්‍රියත්වය මනින්නට මැතිවරණ හැර වෙනත් විධිමත් මිනුම් දණ්ඩක් ද නැත. විරුද්ධ පක්ෂ ක්‍රියාමාර්ග හෝ ජනමාධ්‍ය ප්‍ර‍චාර යනු ජනප්‍රියත්වය පිළිබඳ විද්‍යාත්මක නිර්ණායක නොවේ.

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ඡන්දය ප්‍ර‍කාශ කළේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් බව පැහැදිලි ය. ඒ හේතුවෙන් පළාත් සභා මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය තත්වයන් නිර්මාණය කිරීමට ආණ්ඩුව පමා කරමින් සිටින බව ද පැහැදිලි ය. සීමා නිර්ණය කොමිෂමේ වාර්තාව පරාජය කිරීමට එම වාර්තාව සකස් කරවූ ඇමතිවරයා පවා කටයුතු කිරීම ඔස්සේ මෙම තත්වය පැහැදිලි වේ. විපක්ෂය ද පළාත් සභා මැතිවරණ ඉක්මණින් දිනාගැනීම සඳහා ප්‍ර‍බල බලපෑමක් කරන්නේ නැත. ඔවුන් ද පළාත් සභා මැතිවරණවලට බියක් දක්වන බවක් පෙනේ. පළාත් පාලන මැතිවරණයෙන් ලද ජයග්‍ර‍හණයේ ලය හෙවත් ටෙම්පෝ එක පවත්වාගෙන යාමට පළාත් සභා මැතිවරණයෙන් බාධා සිදු විය හැකි බව ඔවුහු ද දනිති. පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵලය පළාත් පාලන මැතිවරණයේ ප්‍ර‍තිඵලයට වඩා දුර්වල එකක් වන්නේ නම් එය ඔවුන්ට ගැටලුවකි. පළාත් පාලන මැතිවරණයේ ප්‍ර‍තිඵලය යම් දුරකට ආන්තික තත්වයක තිබුණු නිසා තවත් මැතිවරණයකදී එය ඉක්මවා යාම පහසු නැත. මැතිවරණ නොපැවැත්වීමේ චෝදනාව ආණ්ඩුවට පටවමින් රාජ්‍ය බලය වෙනස් වන තීරණාත්මක මැතිවරණයක් දක්වා ඉදිරියට යාම ඔවුන් ද ප්‍රිය කරන තත්වයක් විය හැකි ය.

වත්මන් සභාග ආණ්ඩුව දේශපාලන බලය පැත්තෙන් දුර්වල තත්වයක තිබීම ඇතැමෙකු නොරුස්සන මුත්, ජනතාව පැත්තෙන් බැලූ කල එය නරක තත්වයක් නොවේ. දේශපාලන බලය පැත්තෙන් ශක්තිමත් ආණ්ඩු බලයේ සිටි සෑම කලක ම ඒකාධිපතිත්වය, දූෂණය හා මර්දනය ඉහළ ගොස් තිබේ. වර්තමානයේ ඒ සම්බන්ධයෙන් යම් දුරකට හෝ පරීක්ෂාකාරී සමතුලනයක් තිබේ. එයට මූලික හේතුව ආණ්ඩුවේ දුර්වලකම ය. ආණ්ඩුවේ ප්‍ර‍බල පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය මේ වන විට මෙම තත්වය ගැටලුවක් ලෙස තේරුම් ගනිමින් සිටින අතර ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී ප්‍ර‍වණතා එම පැත්තෙන් ද මතු වෙමින් තිබේ.

පවත්නා සමාජ ක්‍ර‍මය ඉදිරියට ගෙන යාමට නම් යම් දුරකට මර්දනකාරී, ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී, මර්දනකාරී, තද පාලනයක් අවශ්‍ය බවට මතයක් සමාජයේ නිර්මාණය වෙමින් තිබේ. එම මතය ප්‍ර‍වර්ධනය කිරීම සඳහා එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ පසුපස සිටින හිටපු මිලිටරි නායකත්වය ද, අනෙක් පැත්තෙන් සාපේක්ෂ ප්‍ර‍ජාතාන්ත්‍රික වටපිටාව අපහරණය කරන වාමාංශික පක්ෂ, ශිෂ්‍ය දේශපාලනය සහ වෘත්තීය සමිති ද කටයුතු කරමින් සිටිති. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි අන්ත වාමාංශික ස්ථාවර සමග පෙළගැසෙන බලවේග මේ වන විට විවෘතව ම එය ප්‍ර‍කාශ කරන තැනට පත් වී සිටියි. ජවිපෙ පවා සිටින්නේ යටත් වීමට සූදානම් මානසිකත්වයක ය.

මෙම අභියෝග හමුවේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් වැඩ කරන සිවිල් සමාජ බලවේග අර්බුදයට යාම ස්වාභාවික ය. එසේම, කුමන අඩුපාඩු මධ්‍යයේ හෝ සාපේක්ෂව ඉදිරිගාමී ලෙස ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ශක්තිමත් කිරීමේ වැඩසටහනට උර දුන් එක්සත් ජාතික පක්ෂය ද අනෙක් අන්තය කරා තල්ලු වී යාමට මෙම තත්වය ඉවහල් විය හැකි ය. එහෙත්, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ශක්තිමත් කිරීම සඳහා අරගල කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නැත.

 

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *