ඝරසරප; කළු කුමාරයා වැහෙන්නේ කුමන සමාජයකට ද?

ඝරසරප
ඝරසරප

ජයන්ත චන්ද්‍රසිරි සිය සිනමා සැරියේ තවත් අපූරු නිර්මාණයක් රැගෙන පැමිණ තිබේ. ඝරසරප අනගි සිනමා නිර්මාණයකි. රසවත් කතා පුවතකි.

මා කලින් ද කියා ඇති පරිදි ලංකාවට කතාකරුවන්ගේ හිඟයක් ඇත. කතා ගෙතීමේදී ඇතැම් කතාකරුවන් අතිශය බොළඳ පෙළගැසීම් කරති. ජයන්ත චන්ද්‍රසිරි සිනමාවෙන් රස කතා ගොතන්නෙකි.

කළු කුමාරයා යනු ප්‍රාදේශීයව විවිධාකාර වූ ලක්ෂණ සහිත සංකල්පයකි. කළු කුමාරයා හා සම්බන්ධ විවිධ වූ ජනප්‍රවාදයන් ක්‍රිස්තියානි ආගමික භාවිතාවන් ද සමග මුසු කර අලුත් පරිකල්පනයක් ඔස්සේ ජයන්ත චන්ද්‍රසිරි සිය කතාව නිර්මාණය කර ගනියි. එහි කළු කුමාරයා ඔහුගේ ම පරිකල්පනයකැයි මම සිතමි.

ඝරසරප සිනමා පටයේ ගොඩනගනු ලබන නාට්‍යමය සිදුවීම් දාමය තුළින් රසිකයා ඇද බැඳ තබා ගන්නා රසයක් නිර්මානය වේ. එහි කළු කුමාරයා නව යොවුන් වියෙන් ඔබ්බට ගොස්, මැදි වියේ චිත්‍ර ශිල්පිනියකට ද ආවේශ වේ. ඇගේ ආවේශය නිසා කළු කුමාරයා සිත්තම් ද වේ. සඳරැස්ට සිය පැරණි පෙම්වතිය නැවත මුණගැසෙන්නට මග සැලසෙන්නේ ඒ ආවේශය නිසා ය. එය කළු කුමාරයා අතීතයේදී තමන් පරාජය කළ ගල් මූසලයාට දුන් පොරොන්දුව ඉටු කරන ආකාරයකි. චිත්‍රපටයේ ආරම්භයේදී කරනම් ගසාගෙන ගැහැණු ළමයකු හරහා නාට්‍යයට පිවිසෙන කළු කුමාරයා චිත්‍රපටය අවසානයේදී කරණම් ගසන හෙදියක හරහා නාට්‍යයෙන් පිට වී යන ආකාරය සුන්දර ඉදිරිපත් කිරීමකි.

කළු කුමාරයා ආදරය, රාගය සමග සම්බන්ධ සංකල්පයකි. එහි නවයොවුන් විය හා සම්බන්ධ මනෝවිද්‍යාත්මක පැතිකඩක් ද තිබේ. එහෙත්, මගේ අවධානය යොමු වන්නේ මේ සිනමා සෞන්දර්යය පතිත වන පොළව වෙත ය. ඝරසරප වැළඳ ගන්නට තිබෙන සමාජ යථාර්ථය හඳුනාගැනීම වැදගත් ය.

බටහිර විද්‍යාව, මනෝ විද්‍යාව, මනෝ චිකිත්සාව ආදිය වෙනුවට වෙනත් දැනුම් පද්ධති පිළිබඳ කතිකාවක් ඝරසරප විසින් විවර කර තිබේ. ඒ අනුව, කළු කුමාර වැනි ජනප්‍රවාද, තොවිල් පවිල්, ක්‍රිස්තියානි යාතු කර්ම හා ඒවාට පසුබිම් වන සංකල්ප විසින් මේ වෙනත් දැනුම් පද්ධති නියෝජනය වේ.

මේ දැනුම් පද්ධති අයත් වූ අතීතය කුමක් වුවත්, ඒවා අයත් වන වර්තමානය එතරම් සොඳුරු එකක් නොවේ. ඒවා තව දුරටත්, ගැමි, සරල ජීවිතය සමග සම්බන්ධ සංකල්ප නොවේ. එහෙම සරල ගැමි ජීවිතයක් දැන් ගමේ නැත. ඒ වෙනුවට ඇත්තේ ධනේශ්වර පාරිභෝජනවාදී වානිජ ලෝකයක අතරමං වූ ග්‍රාමීය දිළිඳුකම විසින් නිර්මාණය කරන ලද කර්කශ, අමිහිරි, ගැමි කුහකත්වයකි.

අවසන් නොවන ඉදිකිරීම් වැඩබිම් බවට පත් වී තිබෙන පන්සල්, ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩි, දේවාල හා කපුවන්, සාත්තර කියන්නන්, හොර වෙදුන්, ගිනි පොළීකාරයන්, ක්ෂුද්‍ර මුල්‍ය ණය සමාගම්, කෘෂි රසායනික, කොටස් වශයෙන් පසුව ගෙවීමේ ක්‍රමයට මිළ දී ගත හැකි භාණ්ඩ, ජංගම දුරකථන භාවිතා, විරැකියාව, ශ්‍රම හිඟය ආදී ප්‍රශ්නවලින් පැහෙන කාඩි හැලියක් වන් ගමක් මිස කළු කුමාරයන් සිටි ඒ අව්‍යාජ ගම දැන් නැත.

අගනාගරික කොළඹ ද මේ ගම්වලින් පාත් වූ යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩාදීන්ගේ කොන්ඩොමිනියම් එපාට්මන්ට්වලින් පිරුණ, ප්‍රමාණයෙන් පමණක් ලොකු සංකර ගම්මානයකි.

අධිපති වෙනත් දැනුම් පද්ධති යනු වර්තමාන ලංකාවේ ජාතිවාදය, ආගම්වාදය, දෘෂ්ටිවාදීමය අන්තවාදයන් හා අත්වැල් බැඳගත් ජාවාරම් විශේෂයකි. ඒවා විකල්ප දැනුම් පද්ධති ද නොවේ. අධිපති වෙනත් දැනුම් පද්ධති ලෙස නාමකරණය කිරීම වඩා යෝග්‍ය ය. උදාහරණයක් ලෙස මහාචාර්ය නලින් ද සිල්වාගේ ජාතික චින්තන ධාරාව පෙන්වා දිය හැකි ය. එය ලංකාවේ විකල්ප දැනුම් පද්ධතියක් නොව, අධිපති වෙනත් දැනුම් පද්ධති සාධාරණීකරණයට ඉවහල් කර ගන්නා දෘෂ්ටිවාදීමය රාමුවකි.

ජයන්ත චන්ද්‍රසිරි ඝරසරප බස්සන්නේ මේ අධිපති වෙනත් දැනුම් පද්ධතිය අස්සට ය. එහි ඇත්තේ ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් හා විවිධ ගර්හිත විද්‍යාවන්ගෙන් තෙම්පරාදු කරන ලද බාල, ජඩ, මජර වෙළඳපොළකි. එහි කළු කුමාරයන්, ගොපලු අවතාර බිහි කළ අව්‍යාජ ගැමි සුන්දරත්වය නැත. එහි ඇත්තේ විවිධ වේෂයන්ගෙන් ජනයා රවටමින් නිර්දය ලෙස ඔවුන් සූරාකන කම්මැලි, මජර වෙළඳ කුලයකි. එහි ආශිර්වාදයෙන් බලයට පත් වන චෞර දේශපාලනයකි.

ඝරසරප සිනමා සුන්දරත්වය කැත දේශපාලන, සමාජ, සංස්කෘතික ව්‍යාපෘතියක ගිලී යන්නේ එසේ ය.

2004 වසරේ ප්‍රදර්ශනය කරන ලද, මයික් ලෙයි විසින් අධ්‍යක්ෂණය කරන ලද වේරා ඩ්‍රේක් චිත්‍රපටය අධිපති හා විකල්ප දැනුම් පද්ධති පිළිබඳ නීතිය ඉදිරියේ සාකච්ඡා වූ සත්‍ය සිදුවීමක් පිළිබඳ චිත්‍රපටයකි. අධිපති දැනුම විසින් සම්ප්‍රදායික දැනුම හෙළා දකිනු ලැබීම එහි තේමාවයි. වේරා ඩ්‍රේක් සම්ප්‍රදායික දැනුමක් භාවිතා කරමින් ගබ්සා සිදු කරන්නේ සමාජ සේවාවක් ලෙස සලකා ය. එහෙත්, එය නීති විරෝධී ය. චිත්‍රපටය පිළිබඳ මෙතැනින් කියවිය හැකි ය.

වේරා ඩ්‍රේක් චිත්‍රපටය ස්ථානගත වන තැන හා ඝරසරප ස්ථානගත වන තැන පැහැදිලිව ම දෙකක් වන්නේ ඒ නිසා ය.

පහත දැක්වෙන්නේ ඝරසරප හා වේරා ඩ්‍රේක් චිත්‍රපටවල ට්‍රේලර් ය.

– අජිත් පැරකුම් ජයසිංහ

Please follow and like us:

2 thoughts on “ඝරසරප; කළු කුමාරයා වැහෙන්නේ කුමන සමාජයකට ද?

    1. ගමේ ගොඩේ මේක නිශේධාත්මක අරුතකින් යෙදෙන නිසා මාත් පාවිච්චි කළා. හැබැයි හොයා බලනකොට ඒක එහෙම නරක දෙයක් නෙමෙයි. කාඩි හොද්දට ම තමයි කායම් හොද්ද කියන්නෙත්. කායම් හොද්ද ගැන විස්තර මෙතන තියෙනවා.
      http://archives.dinamina.lk/arogya/art.asp?id=2013/12/04/apg18_1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *