ජනාධිපතිතුමනි, වැඩ බැරි නම් නාඬා ඉල්ලා අස් වන්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පස් අවුරුදු ධුර කාලයෙන් අවුරුදු 3 1/2ක් පමණ කාලයක් දැන් ගෙවී හමාර ය. රට පාලනය කරනවා වෙනුවට තමන් දමා ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තමන් අතට ගැනීමට රාජපක්ෂලා සමග පොර බැදූ ඔහු දැන් සටනින් පැරදී අඬන බබෙකුගේ තත්වයට පත් වී තිබේ.

විධායක ජනාධිපති ධුරයටත් පත් කිරීමෙන් පසුව, අරූ මට වැඩ කරන්න දුන්නෙ නැහැ, මට නොකියා අරෙහෙම කළා, මෙහෙම කළා යි කීම අතිශය බොළඳ වැඩකි. එය ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණි පසු මට සිගරැට් බොන එක නවත්තන්න මහින්ද රාජපක්ෂ ඉඩ දුන්නෙ නැහැ ආදී වශයෙන් කියමින් ඇඬූ ඇඬිල්ලේ ම වඩා විහිළු සහගත ස්වරූපයකි.

ජනාධිපති වූ පසුව හෝ ඔහුට ඒ සිගරැට් මෙව්ව එක කර ගන්නට බැරි වී තිබේ.

තමන් ශ්‍රීලනිපයෙන් වෙන් වී එන විට අවදානම රැගෙන තමන් සමග ආ රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක වැනි අය පවා අතහැර දමමින් එදා ඔහුට බැන බැන ගිය ඩිලාන් පෙරේරලා, සුසිල් ප්‍රේමජයන්තලා, එස්.බී. දිසානායකලා, ජෝන් සෙනෙවිරත්නලා වැනි අය නළවමින් කළ කාලය කා දැමීම හැර ඔහු පසුගිය කාලයේ කළ වැඩක් නැත.

මහ බැංකු මගඩිය නැවැත්වීමට බැරි වූ ඔහුට ඔහුගේ ඇම්බැට්ටයන් වන දයාසිරි ජයසේකර වැනි අය අර්ජුන් ඇලෝසියස්ගෙන් පගා ගැනීම නවත්වන්නට ද බැරි විය. එසේම, රාජපක්ෂ පවුලේ සොරකම් සම්බන්ධයෙන් තීරණාත්මක කිසිවක් කරන්නට අසමත් වූ ඔහු දැන් ඒකට ද බනින්නේ එජාපට ය.

මොහු පසුගිය වසර 3 1/2ක් තිස්සේ කළ තහනම් කිරීම් ගොඩ හෝ දැන් ක්‍රියාත්මක නැත.

ලංකාවේ පවත්නා නායකත්ව අර්බුදය ප්‍රකාශ කරන සංකේතයකි, මෛත්‍රීපාල සිරිසේන. විධායක ජනාධිපතිකම භාර දුන්නාට පසුව පවා මේ අන්දමින් නාහෙන් අඬන දුබලයකු ලංකා ඉතිහාසයේ කිසිදු කලක රාජ්‍ය නායකත්වයේ සිට නැත.

දුබල දේශපාලන පෞරුෂයක් සහිතව ජනාධිපති ප්‍රේමදාස යටතේ අගමැති ධුරය හෙබවූ වයස්ගත පුද්ගලයකු වූ ඩී.බී. විජේතුංග පවා ප්‍රේමදාස ඝාතනයෙන් පසු ජනාධිපති පදවියට පත් වී එම බලතලවලින් ඔපවත් වී රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස කටයුතු කළේ ය.

කොපමණ අභියෝග තිබුණත්, මේ රටේ සිටි කිසිදු රාජ්‍ය නායකයකු මේ අන්දමින් තමන්ට කොන්දක් නැති බව ප්‍රදර්ශනය කර නැත. මහ ලොකු පිරිමි චන්ඩි අභියෝග මොනවාදැයි දැන ගැනීමට සිරිමාවෝ බණ්ඩාරනායකගේ පාලන කාලය අධ්‍යයනය කළ යුතු ය.

ජනාධිපතිතුමනි, ඔබට ඔබගේ පාලනය ගැන විග්‍රහ කර ගැනීමට නම් ඔබ විසින් පසුගිය සමයේ කරන ලද තහනම් කිරීම් ලැයිස්තුව අධ්‍යයනය කර බැලීම වටී. එයින් කීයක් ඇත්තට ම තහනම් වී තිබේදැයි සොයා බලන්න.

රනිල් වික්‍රමසිංහට බැන බැන සිටීමෙන් පළක් නැත. රනිල් අඩු තරමේ අඬන්නෙකු නොවේ. කුමන අඩුපාඩු තිබුණත්, ඔහුගේ දේශපාලන පෞරුෂය ශක්තිමත් එකකි.

ඒ නිසා ජනාධිපතිතුමනි, දැන්වත් ඔය අපට දුක කියා කනිපින්දම් ගැහිල්ල නවත්වා ඉතිරි අවුරුදු එකහමාරේ තමන් ගන්නා වැටුපට හා භුක්ති විඳින වරප්‍රසාදවලට සරිලන මොකක් හෝ දෙයක් හරි කරන්න.

කරුණාකර අපට කනිපින්දම් කීමෙන් වළකින්න. අපට ඩියුටි ෆ්‍රී කාර් නැත. අතට පයට දැසි දස්සන් සහිත මහජන මුදලින් නඩත්තු වන කාර්ය මණ්ඩල නැත. උපදේශක කේවට්ට පුරෝහිතයන් නැත. සිකියුරිටි ඩීටේල් නැත. එස්කොට් එක පස්සෙන් යන්න ඇම්බියුලන්ස් නැත. අපේ දරුවන්ට දෙන්නට ඉවන්ට් මැනේජ්මන්ට් කොන්ත්‍රාත් හෝ බාර් ලයිසන් නැත. මහජන මුදලින් රට චාරිකා නැත. එපමණක් නොව, ඔබතුමාට ලැබෙන ඔය සියල්ල ම වෙනුවෙන් බදු ගෙවන්නේ ද අප ය. ඒ නිසා ඔබේ අවනඩු කරුණාකර අපට නොකියන්න.

වැඩ බැරි නම් පිං සිදු වෙයි ඉල්ලා අස් වන්න. ඉන්නවා නම් රටට පව් නොදී වැඩ කරන්න. විෂ යූ ඕල් ද බෙස්ට්!

Please follow and like us:

3 thoughts on “ජනාධිපතිතුමනි, වැඩ බැරි නම් නාඬා ඉල්ලා අස් වන්න

  1. පැරා විහිලු කරනවා වගේ. මේක මම පැරාගෙන් දැක්ක විහිලු සහගතම ලිපිය.

    //විධායක ජනාධිපතිකම භාර දුන්නාට පසුව පවා මේ අන්දමින් නාහෙන් අඬන දුබලයකු ලංකා ඉතිහාසයේ කිසිදු කලක රාජ්‍ය නායකත්වයේ සිට නැත.//
    මේ කියන්නේ “උඹත් වෙයන් ඒකාධිපතියෙක්” කියලනේද? (ඔබ මම ඇතුලු ) ලාංකිකයාගේ අවිඥානය ඉල්ලන ඒකාධිපතියා. එහෙනම් ඉතින් අර නිර්මාල් කියනවා වගේ “xxx ඉල්ලා සිටින්නේ ද ගෝඨාභය කෙනෙකි. කළ යුත්තේ ගෝඨා සමඟ එක් වීමයි.”
    යූඇන්පිය සහ මෛත්‍රි අතර මුලදිම ඇතිවෙන්නට ඇති එකඟතාවය ගැන ඔබට හිතාගන්නට බැරිද? ඔවුන් එකිනෙකාගේ වැඩපිලිවෙලවල් වලට ඇඟිලි ගසන්නේ නැති බවට නොනිල එකඟතාවයක් තිබුනා යැයි සිතිය හැකියි. පැහැදිලිවම රනිල් විජේදාස, මාරපන, සාගල, රවි හරහා යහපාලනයට කල ඩැමේජ් එක මෛත්‍රිපාලගේ 16 කල්ලිය කල ඩැමේජ් එකට වඩා අතිවිශාලයි. මෛත්‍රිපාලගේ 16 කල්ලිය කල දේවල් යහපාලනය වෙනුවෙන් නහය වහගෙන ඉවසිය හැකි (සරත් විජේසූරිය/වියන්ගොඩ ගේ යෙදුමක්) දේවල්නම් රනිල් කලේ යහපාලනය අනිත් අයවත් ඇදගෙන තමනුත් කෙලින්ම වැසිකිලි වලට වැටෙන විදියෙ දේවල්..

    //මහ බැංකු මගඩිය නැවැත්වීමට බැරි වූ ඔහුට ඔහුගේ ඇම්බැට්ටයන් වන දයාසිරි ජයසේකර වැනි අය අර්ජුන් ඇලෝසියස්ගෙන් පගා ගැනීම නවත්වන්නට ද බැරි විය. //
    විලිලැජ්ජ නැති සංසන්දනයක්. දයාසිරි ගත්ත පගාවයි (ඔබ නිතරම කියන කතාවක් තමයි ලංකාවේ දේශපාලකයෝ අඩුවැඩි වශයෙන් හොරු කියන එක ) මහ බැංකුවේ මගඩියයි සංසන්දනය කරන්න පුලුවන්ද?

    //කුමන අඩුපාඩු තිබුණත්, ඔහුගේ දේශපාලන පෞරුෂය ශක්තිමත් එකකි.//
    වසරේ විහිලුව! පැරා, මේ 2018. 2004 ත් පහුවෙලා ගොඩාක් කල්!
    ගාමිනි වියන්ගොඩ කියලා තිබුනා පහුගිය සතියක.. කතාව පෙනුම හෙන බටහිර-නූතන-ලිබරල් ඒ වුනාට මනසින් කල්ලිවාදී, ලාමක පාසල්වාදී, මනසිනුයි ගතිනුයි දෙකෙන්ම තිරුපතියේ එහෙම නැත්නම් කැබලිත්තේ. මෙයාටද මේ ශක්තිමත් පෞරුශයක් තියනවයි කියන්නේ?
    අනිත් එක රනිල් කියන්නේ තව දුරටත් කිසිම දේකට විශ්වාසය තැබිය හැක්කෙක් නොවෙයි. ඔබ කියන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ගැන වුනත් එච්චරයි. යූඑන්පී එකේ සංස්කෘතිය වගේ එකෙන් එන හයිය තියෙන නිසා යනවා මිසක් මෙයා ගෙන් ලැබෙන විශේශ මෙව්වා එකක් නැහැ. ඔබ වැනි කෙනෙක් රනිල් ව උඩ දාන එක වැරැද්දක්.

    පැරා කියන ආර්ථික ප්‍රතිපත්ති කොහොමත් කවුරු ආවත් කෙරෙයි පේන්න තියෙන විදියට (ඔබත් ඒක නිතරම අවධාරනය කරනවා). ඒවා සංවරන සහ තුලන ඇතුව යන විදියක් තමයි බලන්න ඕනෑ. ඒක රනිල්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. කොහොමත් රාජපක්ශලාට අවස්ථාවක් දෙන්න බැහැ. ඕනේ අලුත් නායකත්වයක්. ඒ මෛත්‍රිපාල නෙමෙයි තමයි ඒ ගැන සැකයක් නැහැ. එයා පරිවාස නායකයෙක් විතරයි. ඒක ජන 8 වෙද්දිම අපි දන්නවා (අපි කොච්චර ආශ්වාදයකින් බලාපොරොත්තුවකින් හිටියද කියනවනම් ඒක දන්නේ නෑ වගේ හිටියා, මගහැරුනා.). බලාගෙන යද්දි ඒ දුර්වල නායකයගේ පොරොන්දුවලින් 71% ඉටුකරලා මේ වෙනකොට (මෛත්‍රි මීටරය – දින 100
    සමස්ත ප්‍රගතිය 71.0 % – http://www.manthri.lk/si/maithrimeter)

    අද උදේ ඉඳල සංසරණය වුනා දින සීය ලිව්වෙ කව්ද කියල මම දන්නේ නැහැ වගේ ඒවා. ඒත් මුලු කතාවම දැන් ටිකකට කලින් රූපවාහිනියෙන් බැලුවා. මුලු කතාවම ගත්තොත් ඊට වඩා ලොකු දෙයක් ඒකෙ තියෙන බව පැහැදිලිවම පෙනෙනවා. මට යහපාලනය පිලිබඳ තියෙන අවනඩුව ම තමයි බලාගෙන යනකොට මෛත්‍රිපාලටත් තියෙන්නේ. පැරාත් ඒක ආපහු මැදහත් සිතින් බලන්නකෝ. ඔබ හැම තිස්සෙම කියන “මේ ඉන්න දේශපාලන කට්ටියගෙන්ම තමයි මේක කරගන්න ඕනේ” කියලා හිතුවොත්, දැනට ඉතිරිවෙලා ඉන්නේ මෛත්‍රිපාල තමයි (දැවැන්ත දුර්වලතා සහිතව වුනත් ) . ඉතින් එයාව පාවිච්චි කරන විදියක් බලමු. මංගල-මෛත්‍රි වගේ කොම්බිනේශන් එකක් කොහොමද? සිහිනයක් තමයි. ඒත් කොහෙන්හරි පටන් ගන්න වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *