ජයතිලක බණ්ඩාර සහ වැලිඔයට ආ නංගිලා

ජයතිලක බණ්ඩාර මට මුලින් ම හමු වෙන්නෙ 1995දී විතර පදවියේ බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරද්දීයි. ඒ යුද්ධය ඇවිළුණු කාලෙ. පදවියේ මායිම් ගම්මාන, වැලිඔය එහෙම ත්‍රස්තවාදී තර්ජනවලට මුහුණ දීපු කාලෙ. ඒ වගේ ම තමයි, පදවිය පැත්තෙ ඉඳන් අපේ හිසට උඩින් රූං ගාගෙන වන්නි කැලේට, නෙදුන්කර්නි පැත්තට කාල තුවක්කු උණ්ඩ පියාඹපු කාලෙ.

ජයතිලක බණ්ඩාර පහත වීඩියෝවේ කතා කරන කවිය මා අතින් ලියැවුණේ ඒ කාලෙ. මං හිතන්නෙ ජයතිලක මේ කවිය ඔහු සාමය ගැන ගී ගයන්නට ගිය බොහෝ තැන්වලදි කිව්වා. සමාජ මාධ්‍ය එන්නට කලින් මා ගැන සමාජය දැනගන්නට එය බොහෝ සෙයින් උපකාර වුණා. ජයේ මේ කතාව කියන්නෙ ඕස්ට්‍රේලියාවෙදි. එතැන සිටි රසික සූරියආරච්චි එය වීඩියෝ කරනවා.

කවිය ගැන මගේ කතාව වීඩියෝවට පහළින්.

1994 සටන් විරාමයෙන් පසුව 1995දි නැවත යුද්ධය පටන් ගන්නකොට මම පදවියේ ලංකාදීප වාර්තාකරු. යුක්තිය පත්තරේටත් ලිව්වා. 1995 ජුලි මාසයේදී විතර කොටි සංවිධානය විසින් වැලිඔය කඳවුරට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයක් අසාර්ථක වෙලා කොටි සෙබළියෝ තුන්සීයක් විතර මැරුණා. එක් පිරිසක් මළේ වෙලක් මැද කොටු වී සටන් කරලායි. සමහරු මරාගෙන මැරෙන බෝම්බකාරියෝ.

මේ සිදුවීම ගැන වාර්තා කරන්න ගිය වෙලාවේ වැලිඹය සම්බන්ධීකරණ මූලස්ථාන භූමියේ ගොඩ ගසා තිබුණු විසුණු වුණ තරුණ කාන්තා මළ සිරුරු ගොඩ දැකලා මට ඇති වුණේ කම්පනයක්. ඒ හැමෝම කොණ්ඩ කොටට කපපු, ආභරණ නො පැළඳි, නිල ඇඳුම් ඇඳපු ළාබාල තරුණියෝ.

එක් අවස්ථාවකදී සෙබළු වෙඩි වැදී කෑලි කැඩිච්ච මිනියක් උස්සලා ට්‍රැක්ටර් තට්ටුවකට දමද්දී එය බිමට වැ‍ටී පෙරළී ඇඹරුණා. මේ අවස්ථාවෙ එක් සෙබළෙකුට ‘පව් මචං’ කියා කියවුණා.

මේ සිද්ධියේ පුවත්පක් වාර්තාවත් ලියාගෙන එදා රෑ මං පදවියේ සිට අනුරාධපුරයට බසයේ හිටගෙන ඇවිත්, රාත්‍රී තැපැල් දුම්රියේ සීට් නැතුව බිම වාඩි වෙලා කොළඹ එන අතරෙදි ‘වැලිඔයට ආ නංගිලා’ කව්යේ පද හිතෙන් ලිව්වා.

එදා මා එක්ක එකට පදවියේ ඉඳලා ආ ගුරු මිතු⁣රා තමයි මොරටුවේ ඉංග්‍රීසි ගුරුවරයකු වන සරත් ජයවර්ධන.

මේ කවිය මා 1995දී පළ කළ මත’මරණයේ විජිතය’ කවි පොතට ඇතුළත් කළා. ඒ පොත මුද්‍රණය කරන්න ලක්ෂපතියේ පුංචි ලෙටර්ප්‍රෙස් මුද්‍රණාලයක් සොයා දුන්නෙත් සරත් ම තමයි.

පසුව ජ‍යතිලක බංඩාරත්, මහින්ද චන්ද්‍ර‍සේකරත් මේ කවිය සාදු ජනරාව වැඩසටහනේදී ලංකාව පුරා හැම තැන ම කිව්වා. මා ගැනත් කිව්වා. මෙන්න ඒ කවිය:

වැලිඔයට ආ නංගිලා

නංගිලා මේ තරම්
මේ කොහෙන් ආවාද
පහන් සිලකට ඇදෙන
කෘමි සතුන් සේ

තෙන්නමරවාඩියෙන්
පන්නලා දැමු අය ද?
උපන්බිම උරුමකම් දිනන්නට ආවා ද?
පැරණි මිතුරන්
අසල්වැසියන්
බලන්නට ආවා ද?

කෝ තාලි සිලම්බු ද
කණ් නාස් නො විද්දේ
ආභරණ උගසට
සින්න වී ගියාදෝ

අනේ නුඹෙ කෙස් වැටිය
රන් කිරුළු හඹා යන
නයුවන්ට
පාපිස්න කෙරුවා ද?

නුඹේ සියුමැලි අතට
අනේ ගොරහැඩි නැති ද
රයිපලය?

වෙලේ නුඹ කොටු කරන්
නිල් අහස කළු කරන්
වහින විට මුරුගසන්
වෙඩි වැස්ස

හිතේ බිය මතු වී ද
නිල ඇඳුම් පලාගෙන
ගැහැණුකම මතු වී ද?
අනේ නුඹ හැඬුවා ද?

ඒ කඳුළු බී ගන්න
මහා මිහිකතවත්
උරතලය
නොම වී ද?

අජිත් පැරකුම් ජයසිංහ, 1995

(පද බෙදුම සංස්කරණය කර ඇත. අවසන් කවියේ තිබූ ‘අපේ ම්හිකතවත්’ යන යෙදුම ‘මහා ම්හිකතවත්’ යනුවෙන් සංස්කරණය කළෙමි.)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *