ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සම්පූර්ණ කාන්තා කාර්ය මණ්ඩල ගුවන් යානයක් ඉන්දියාවේ සිට ලංකාවට

ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන එයා(ර්) ඉන්දියා අද දින ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේ නියමු, සහායක නියමු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය ම කාන්තාවන්ගෙන් සමන්විත ගුවන් ගමනක් ශ්‍රී ලංකාව වෙත ධාවනය කරමිනි. ඡායාරූපවල සිටින්නේ ඒ කාර්ය මණ්ඩලයයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඒකාකෘතිකරණය (gendre stereotyping) යන සංකල්පයෙන් කියවෙන්නේ යම් ගති ලක්ෂණ, වෙනස්කම් හා පුද්ගල භූමිකාවන් ස්ත්‍රීන්ට හෝ පුරුෂයන්ට හෝ සීමා කිරීමට උත්සාහ කිරීමටයි.

උදාහරණයක් ලෙස දරුවන් බලා ගැනීම, ඉවුම් පිහුම්, රෙදි සේදීම වැනි දේ ස්ත්‍රීන්ගේ කාර්යයන් ය යන ආකල්පය ශ්‍රී ලාංකික සමාජයේ සුලබයි. ඇතැම් කාර්යයන් පිරිමින්ට පමණක් සුදුසු ය කියා පිළිගැනීමක් ද සමාජයේ තිබෙනවා.

ඒ වගේ ම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සම්බන්ධ ඒකාකෘතික ආකල්ප රැසක් ද සමාජයේ තිබෙනවා. උදාහරණයක් ලෙස කාන්තාව ශාරීරික ශක්තියෙන් දුර්වලයකු ලෙස හා පිරිමියා ශාරීරිකව ශක්තිමත් අයෙකු ලෙස සැලකීමක් තිබෙනවා. මෙය නිවැරදි අදහසක් නොවෙයි. එයින් කාන්තාවන් මෙන් ම යම් ශාරීරික සාධක අතින් වෙනස්කම් ඇති පිරිමින් ද අවමානයට ලක් වෙනවා.

පිරිමින් බුද්ධිමය කාර්යයන්හිදී කාන්තාවන්ට වඩා දක්ෂ ය යන අදහසත් මෙවැනි ආකෘතිකරණයක්. මේ මතය සමාජයේ කෙතරම් මුල් බැසගෙන තිබේ ද යත්, පාසල්වලදී තාක්ෂණික විෂයන් හා උසස් පෙළ ගණිත විෂය ධාරාව හැදෑරීමට ගැහැනු දරුවන් යොමු වීම අඩු වී තිබෙන ආකාරයක් දැකිය හැකියි.

කාන්තාවන්ට සුදුසු වන්නේ ගුරු වෘත්තිය, හෙද සේවය, ලිපිකාර සේවය, සාමාන්‍ය වෛද්‍ය වෘත්තීන් ආදිය ය යන අදහස සමාජයේ පැතිරෙමින් තිබෙනවා.

විශේෂයෙන් ම කාර්මික අංශයේ කටයුතු පිරිමින්ට වඩා යෝග්‍ය යයි ඒකාකෘතික අදහසක් පැතිරීමත් සමග ම එම අංශයට කාන්තාවන් යොමු වීම අධෛර්ය කිරීමේ ප්‍ර‍වණතාවක් පවතිනවා.

මේ අදහස් පසුබස්වා කාන්තාවන්ට සම තැන තහවුරු කළ හැකිව තිබෙන්නේ එවැනි අභියෝගයන් භාර ගැනීමට කාන්තාවන් ඉදිරිපත් වීමෙන් හා සමස්ත සමාජය ම එය දිරිගැන්වීමෙනුයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *