ඥානසාර හිමි හා ජනාධිපති අතර පයුරුපාසානය මොකක් ද?

ඥානසාර භික්ෂුව ජනාධිපති සහභාගි වන රැස්වීමක ඉදිරි පේළියේ
ඥානසාර භික්ෂුව ජනාධිපති සහභාගි වන රැස්වීමක ඉදිරි පේළියේ

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජපානයේ කළ සංචාරයක් අතරතුරදී රැස්වීමකට සහභාගි වෙමින් සිටින ආකාරය සහිත ඡායාරූපයක් ප්‍රසිද්ධ විය. එම ඡායාරූපය සම්බන්ධයෙන් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය විසින් කරන ලද විමසීමකදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ දූත පිරිසට අයත් වූයේ උලපනේ සුමංගල හිමි පමණක් බවයි.

උලපනේ සුමංගල හිමි ඥානසාර හිමිගේ සමීපතමයෙකු යයි අනුමාන කෙරේ.

ඥානසාර හිමිට ජපානයට යාමට වීසා ලබා ගැනීම සඳහා රජයේ උපකාර ලැබුණි ද?

මෙම රැස්වීමට සහභාගි වීමට ඔහුට අවස්ථාව ලැබුණේ කෙසේ ද?

දිගන වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වූ දවසේ මෙම භික්ෂුව එම නගරයේ සිටි බවට වාර්තා විය. ඔහු පවසන්නේ තමන් එහි ගියේ මුස්ලිම් පිරිසක් විසින් පහර දීම හේතුවෙන් මිය ගිය කුමාරසිංහගේ අවමංගල්‍යයට සහභාගි වීමට හා උණුසුම සමනය කරන්නට බවයි. එහෙත්, මින් පෙර අලුත්ගම හා ධර්ගා නගරයේ පැවති වාර්ගික ගැටුම් ආසන්න වකවානුවේදී ඔහු ජනතාව කුපිත කරවනසුළු ප්‍රකාශ එහිදී සිදු කළේ ය. දිගනදී සිදු වූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට හා රඳවා තැබීමට හදිසි නීතිය යටතේ මෙන් ම සාමාන්‍ය නීතිය යටතේ ද බලතල තිබේ. එහෙත්, ඔහු එදින දිගන කළේ කුමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් හෝ කෙරෙන බවක් නො පෙනේ.

ඥානසාර භික්ෂුව යනු වාර්ගික ගැටුම් ඇති කිරීම හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනාවලට ඇප මත නිදහස්ව සිටින්නෙකි. ඔහු අධිකරණය මගහැර සිටීම නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු ද නිකුත් කළේය.

ජාතීන් අතර අසමගිය සහ වෛරය ජනිත වන ප්‍රකාශ සිදුකළේ යැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් ඉදිරිපත් කර තිබූ සිද්ධියකට අදාළ ව අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළ බව වාර්තා විය.

අපරාධ චෝදනා සහිත, ඉතා ප්‍රචණ්ඩ හා වාර්ගික ගැටුම් ඇති කරන පුද්ගලයකු වන, රජයේ කිසිම තනතුරක් හෝ මහජන නියෝජිතකමක් හෝ නැති මෙම පුද්ගලයා සමග ජනාධිපතිවරයාට තිබෙන සම්බන්ධය කුමක් ද යන්න ජනාධිපතිවරයා ජනතාවට පැහැදිලි කළ යුතු ය. මේවා නිකම් අහම්බ හමුවීම් ය යන්න විශ්වාස කරන්නට අමාරු බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනාධිපතිවරයා යනු තමන්ගේ බාල සොයුරා වූ ප්‍රියන්ත සිරිසේන හෙවත් වැලි රාජුගේ මළගෙදරවත් නො ගිය බව මතක් කරමි. රාජු මරා දමනු ලැබුවේ වෙනත් අයකු විසිනි. එහෙව් ජනාධිපතිවරයකු පසුපස මෙවන් භික්ෂුවක් යන එක පැහැදිලි කර ගැනීම ඉතා වැදගත් ය.

එහෙම නැතිනම්, තමන් ජනාධිපතිවරයාගේ සමීප හිතවතකු බව පෙන්වන්නට ඥානසාර භික්ෂුව විසින් ගසන ලද ගැටයකට ජනාධිපතිවරයා අසු වුණා ද?

Please follow and like us:

2 thoughts on “ඥානසාර හිමි හා ජනාධිපති අතර පයුරුපාසානය මොකක් ද?

  1. /* එහෙම නැතිනම්, තමන් ජනාධිපතිවරයාගේ සමීප හිතවතකු බව පෙන්වන්නට ඥානසාර භික්ෂුව විසින් ගසන ලද ගැටයකට ජනාධිපතිවරයා අසු වුණා ද? */

    අනා….. ජනාධිපති බබා.

  2. ජනාධිපති බබෙක් නෙමෙයි. හැබැයි ඥානසාර කියන්නෙ ඊට වඩා දේශපාලනික කපටියෙකු බව පැහැදිලියි. ඔහුගේ භූමිකාව මතභේදයට තුඩු දී තිබෙන මෙවැනි වෙලාවක ඔහු හිතාමතා ම මෙවැනි ජවනිකා නිර්මානය කරනවා වෙන්නට පුළුවන්. එමගින් ඔහු දේශපාලනයට, රජයට, පොලිසිය හා අධිකරණ ආදියට පණිවුඩයක් යවනවා තමන් බලවත් පුද්ගලයකු බව හා තමන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම කල්පනාකාරීව කළ යුතු බව.
    අළුත්ගම සිද්ධියෙන් පසු රාජපක්ෂට ඥානසාර අත්අඩංගුවට ගන්නට අවශ්‍ය වූ වෙලාවේ ගෝඨාභය හරහා ඔහුව බේරා ගත්තෙ අර ජෙහාන් තමයි. ඔව් ඔව්, අර උස හාදයා. මේ වගේ ගේමුත් ඒ ජෙහාන්ගෙ ම ඒවා වෙන්න පුළුවන්. අපේ බොහෝ මාධ්‍යකරුවන් ලියන විදිය තමයි ඥානසාර බලාපොරොත්තු වෙන විදිය. එයාටත් ඕනැ එයා ඉන්නෙ ජනාධිපති ළඟ ය කියලා කියවා ගන්න තමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *