තමිල්නාඩුවයි අපියි

O. Panneer Selvam
O. Panneer Selvam

අජිත් පැරකුම් ජයසිංහ (අනිද්දා පුවත්පතෙනි)

පහත පළ වන්නේ ශ්‍රී ලංකාව විසින් බිහි කරන ලද විකෘති ම මාධ්‍යකරුවන් අතරින් එක් අයෙකු ලෙස සැලකිය හැකි කීර්ති වර්ණකුලසූරිය විසින් දිවයින පුවත්පතට ලියන ලද ‘ප්‍රවෘත්තියකි.’

තමිල්නාඩු නියෝජ්‍ය මහඇමැති ලබන සතියේ යාපනේ

කීර්ති වර්ණකුලසූරිය

යාපනයේ පුස්තකාලයට පොත් බෙදාදීමේ මුවාවෙන් උතුරේ හමුදාව රැඳී සිටීම ඇතුළු තොරතුරු සොයා බැලීම සඳහා තමිල්නාඩු නියෝජ්‍ය මහ ඇමැති ඕ. පනිර් සෙල්වම් සහ අධ්‍යාපන ඇමැති ඒ. සෙන්කොටායන් ඉදිරි සතියේදී යාපනයට පැමිණෙති.

මෙවැනි ප්‍රවෘත්ති ලිවීම අපරාධයක් නොවන්නේ කෙසේ ද යන්න මට පැහැදිලි නැත. එය ප්‍රවෘත්ති කලාව හා සම්බන්ධ කිසිදු විද්‍යාවකට අයත් වන්නේ නැත. එහි තිබෙන නිගමනයට එළඹීම සඳහා අදාළ කරගත් කිසිදු මූලාශ්‍රයක් දක්වා නැත. යමෙකුට සිය මතය ප්‍රකාශ කිරීමේ නිදහස තිබෙනමුත් එම මතයට ඉවහල් කරගත් හේතු සාධක පැහැදිලි කිරීමේ වගකීමක් මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නාට තිබිය යුතු ය. මතයක් දැරීම හා එය ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ ප්‍රකාශ කිරීම යනු එකක් නොවේ. දෙකකි. මතයක් ප්‍රසිද්ධ කිරීම මතයක් දැරීමට වඩා වගකීමකින් කළ යුතු දෙයකි.

කීර්ති වර්ණකුලසූරිය එතරම් බැරෑරුම්ව නොගත යුතු විහිළුවක් බව සැබෑ ය. දිවයින පුවත්පත ද ඒ මට්ටමට ඇද දමන්නට ඔහු වැනි අය හේතු වෙති. ඒ කෙසේ වෙතත්, මෙවැනි අදහස් යනු ලංකාවේ සමාජයේ එතරම් දුලබ අදහස් නොවන බව ද අප තේරුම් ගත යුතු ය.

ලංකාවට භෞතික වශයෙන් ආසන්න ම ‘රට’ තමිල්නාඩුවයි. එහෙත්, කොළඹ ආණ්ඩුව හා එහි මූලික බලවේගය වන සිංහල ජනතාවට වඩාත් ම දුරස්ථ රට ද තමිල්නාඩුව ලෙස සැලකිය හැකි ය. එයට හේතුව තමිල්නාඩුවට ළං වන්නට තිබෙන බියයි.

දකුණු ආසියාවේ සිතියමක් අරගෙන බැලුවොත් තේරුම් ගත හැකි එක් කරුණක් වන්නේ තමිල්නාඩුවේ දකුණු කෙළවර තුඩුව වන කන්‍යාකුමාරි වඩාත් සමීප යාපනයට නොව කොළඹ ඇතුළු බටහිර පෙදෙස්වලට බවයි. ඉන්දියාවේ සක්‍රිය න්‍යෂ්ඨික බලාගාරයක් ස්ථාපනය කර තිබෙන කූඩාන්කුලම් ඉතා පැහැදිලිව ම යාපනයට වඩා කොළඹට ආසන්න ය. එහි යම් අනතුරක් සිදු වුවහොත් යාපනයට කලින් කොළඹට බලපෑම් ඇති වේ. යාපනය ඉන්දියාවට සමීප වන්නේ මන්නාරමට ඔබ්බෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතීතයේ සම්බන්ධව තිබුණා යයි සිතිය හැකි රාමේශ්වරම් දක්වා විහිදෙන නෙරුම නිසා ය.

කල්පිටිය හා තූත්තුකුඩිය ද එකිනෙක මුහුණ ලා පිහිටි ස්ථාන දෙකකි. “මොන තූත්තුකුඩියක ගියා ද?” යන ජනවහර සිංහල ජනයා අතර ඇත්තේ නිකම් විය නොහැකි ය. තමිල්නාඩුව යනු අතීතයේ උතුරට පමණක් නොව දකුණට ද සමීප කලාපයකි. ලංකාවට කරාව, සලාගම කුලවලට අයත් දැන් සිංහල වී තිබෙන ජනයා සංක්‍රමණය වී තිබෙන්නේ ද ඉන්දියාවේ දකුණුදිග තුඩුව ආශ්‍රිත තමිල්නාඩු හා කේරළ ප්‍රාන්තවලිනි.

තමිල්නාඩුව යනු ඇත්තෙන් ම ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර දේශපාලනය ආරම්භ කරන ස්ථානය විය යුතු ය. එහෙත්, එය එසේ වී නැත. එයට හේතුව කුමක් ද යන්න ද විමසා බැලීම වැදගත් ය.

තමිල්නාඩුවට යන්නට කලින් සිංහල මූලික කොළඹ ආණ්ඩුව දෙමළ ජනයා සමග යහපත් සම්බන්ධතාවක් ගොඩනගා ගත යුතු ය. තමිල්නාඩුවට යන්නට අපට බැරි වී තිබෙන්නේ කොළඹ ආණ්ඩුව තුළ සිංහල දෙමළ සම්බන්ධතාවේ දුබලකම නිසා ය. කාලාන්තරයක් මුළුල්ලේ පවතින දෙමළ අරගලය යනු සිංහල මූලික රාජ්‍යය තුළ දෙමළ ඇතුළු සුළුතර ජාතීන්ට ප්‍රජාතාන්ත්‍රික සමානාත්මතාව දිනාගැනීම හෝ එසේ නොහැකිනම් වෙනම දෙමළ රාජ්‍යයක් දිනාගැනීම හෝ ඉලක්ක කළ සටනකි. ලංකාවේ සුළුතර ජාතීන්ට ප්‍රජාතාන්ත්‍රික ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමට හැකි වන පරිදි රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම සිංහල – දෙමළ – මුස්ලිම් සම්බන්ධතා ශක්තිමත් කරමින් වඩා පුළුල් ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනගාගැනීමට අත්‍යවශ්‍ය ය.

සරලව කිවහොත්, දෙමළ ජාතිකයකුට මේ රටේ ජනාධිපති පදවියට පත් විය හැකි ප්‍රජාතාන්ත්‍රික වටපිටාවක් අප නිර්මාණය කරගත යුතු ය. දැන් පවතින තත්වය තුළ ඒ සඳහා හැකියාව තිබෙන්නේ සිංහල, බෞද්ධ, ගොවිගම, පිරිමින්ට පමණි.

තමිල්නාඩුව සමග යහපත් සම්බන්ධතා ගොඩනගා ගැනීම කලක සිට අපට මගහැරෙමින් තිබෙන දෙයකි. තමිල්නාඩුවේ ඇතැම් දේශපාලකයන් හා ලංකාවේ උතුරේ හා කඳුකරයේ ඇතැම් දේශපාලකයන් අතර දැනටත් සම්බන්ධකම් ගොඩනැගී තිබේ. එහෙත්, ඒවා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම්වලට වඩා උපයෝගිතාවාදී දේශපාලනික සම්බන්ධකම් ය. ගැටලු නිර්මාණය වන්නේ ඒ නිසා ය. අප ගොඩනගා ගත යුතුව තිබෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සම්බන්ධතා ය.

තමිල්නාඩු නියෝජ්‍ය මහඇමතිවරයා හා තවත් ජ්‍යේෂ්ඨ ඇමතිවරයකු ශ්‍රී ලංකාවේ උතුරේ සංචාරය කිරීම ඉතා යහපත් ප්‍රවණතාවකි. මෙම සංචාරය සම්බන්ධීකරණය කරන්නේ උතුරු පළාත් සභාවයි. එය ද ඉතා යහපත් තත්වයකි. උතුරු පළාත් සභාව රාජ්‍ය පාලනය තුළ සක්‍රිය වීම රටේ ඒකීයත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් යහපත් තත්වයක් මිස අයහපත් තත්වයක් නොවේ.

තමිල්නාඩුවේ වඩාත් ම ජනප්‍රිය මහඇමතිවරයා වූ එම්.ජී. රාමචන්ද්‍රන් යනු වසර 101කට පෙර මහනුවර උපත ලැබූවෙකි. ඔහු ඉන්දියාවට ශ්‍රී ලංකාවෙන් දුන් තෑග්ගක් බව ගිය අවුරුද්දේ යාපනයේ පැවති රාමචන්ද්‍රන්ගේ 100වන උපන් දින සමරුවේදී එහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ඉන්දියානු කොන්සල් ජනරාල් ඒ. නටරාජන් පැවසී ය.

ලංකාවත්, තමිල්නාඩුවත් යනු බෙදාහදාගත් සංස්කෘතියක කොටස්කරුවෝ ය. ඒ බෙදාහදාගත් සංස්කෘතිය නම් දෙමළ සංස්කෘතියයි. සිංහල හා මුස්ලිම් ඇතුළු සියලු ලාංකිකයෝ දෙමළ සංස්කෘතිය බෙදාහදාගන්නා අයයි. සිංහල අපේ වාක්කෝෂයේ දෙමළ වචන සංඛ්‍යාව ම මෙයට දෙස් දෙයි.

මේ දෙරට එක් මුහුදක් බෙදාහදා ගන්නේ ඈත ම ඈත යුගවල පටන් ය. කච්චතිවු දූපත යනු මේ මුහුදේ ධීවර කටයුතුවල යෙදුණු ජනයා විසින් බෙදාහදාගන්නා ලද සංස්කෘතික අවකාශයකි. මේ බෙදාහදාගැනීම් නූතන භෞමික සීමා නිර්ණයන් ඉක්මවා යන ඒවා ය.

තමිල්නාඩුවේ දෙමළ සංස්කෘතිය පෝෂණය කිරීමෙහිලා ලාංකීය පොළවෙන් දෙන ලද දායකත්වය ද සුළුපටු නොවේ. ලංකාවේ මෙන් ම තමිල්නාඩුවේ ද හින්දු දහම ක්‍රිස්තියානි බලපෑමෙන් මුදාගෙන යළි පුබුදුවන්නට යාපනයේ විද්වතකු වූ ආරුමුග නාවලර් සුවිසල් දායකත්වයක් සැපයුවේ ය. නූතන දෙමළ ගද්‍ය ව්‍යවහාරය නිර්මාණය කිරීමෙහිදී ඔහුගේ දායකත්වය දෙමළ ඉතිහාසයේ සටහන් වී තිබේ. එහෙත්, අප මෙය ද අමතක කළ යුතු නැත. ආරුමුග නාවලර් කිසිදු කලෙක ලංකාවේ කොළඹට පැමිණි බවට වාර්තා නැත.

ලාංකීය රාජ්‍ය රාමුවක් තුළ සිංහල – දෙමළ සම්බන්ධතා යළි ව්‍යූහගත කරගැනීමේදී  මෙන් ම, ලංකාව ජාත්‍යන්තරය වෙත යාමේදී ද තමිල්නාඩුවේ වැදගත්කම අප අමතක නොකළ යුතු ය. අපට ආසන්නතම රට වන තමිල්නාඩු මහඇමතිවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති බවට සාක්ෂි නැත. (මා වැරදි නම් ඔබ මා නිවැරදි කරන්න.) එය ම කොයි තරම් බරපතල ගැටලුවක්දැයි අප තේරුම් ගත යුතු ය. තමිල්නාඩු මහඇමතිවරයාට ලංකාවේ නිල සංචාරයකට ආරාධනා කරන්නට ලංකාවට හැකි වන දවස අප රාජ්‍යයක් ලෙස සෑහෙන පරිණතභාවයක් අත්පත් කරගත් දිනයක් ලෙස සලකුණු කළ හැකි ය.

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *