සජීවී ත්‍රීවීල් රේස් එක සහ ලංකාවේ මාර්ග විනය

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝව ත්‍රාසජනක චිත්‍රපටයක දර්ශනයක් වැනි ජවනිකාවකි. එහෙත්, එය ලංකාවේ මහාමාර්ගයක රාත්‍රී කාලයේ සිදු වූ ඇත්ත සිදුවීමකි. මෙවැනි සිදුවීම් තව ඕනෑ තරම් නිතිපතා මේ රටේ සිදු වේ. වීඩියෝව බලා සිද්ධිය ගැන කතා කරමු.

දැන් මේ පෙරළා ගත් ත්‍රිරෝද රියේ රියදුරා ඇතැම් විට අත පය කඩාගෙන කොහේ හරි රෝහලක මහජන මුදලින් සැත්කම් ආදිය කරගෙන ඇඳක් පිට දපා ඉන්නවා විය හැකි ය. ඇතැම් විට ඒකා සදාකාලික අබ්බගාතයකු වී ඉන් පසු සමාජයට බරක් විය හැකි ය.

එපමණක් නො ව, මෙම ත්‍රිරෝද රියට රක්ෂණාවරණය තිබුණා නම්, ඒකත් ගන්නට ක්ලේම් කරමින් ඉන්නවා ඇත.

මොවුන් විසින් මේ මාර්ගය භාවිතා කළ තවත් සෑහෙන පිරිසකගේ ජීවිත අවදානමට ලක් කරන ලදී. මෙවැන්නන් වාහන ධාවනය කරන කල වෙනත් අය කෙතරම් හොඳින් මාර්ග පරිහරණය කළත් වැඩක් නැත.

මුන් මේ චර්යාව දක්වන්නට ඇත්තේ බොහෝ විට මත්පැන්, ගංජා වැනි දෙයක් භාවිතා කර විය හැකි ය.

මෙවැනි අශිෂ්ට චර්යාවන් වළක්වන්නට හන්දියක්, හන්දියක් ගානේ පොලිසිය දාන්නට තරම් රජයට බදු ගෙවන්නට මේ රටේ ජනතාවට හැකියාවක් නැත. එහෙයින්, අතට අසු වූ මෙවැන්නන්ට උපරිම දඬුවම් කළ යුතු ය. මුන්ගේ රියදුරු බලපත්‍ර අවලංගු කළ යුතු ය.

මෙවැනි ක්‍රියා සඳහා මහා මාර්ග ධාවනයට යෝග්‍ය නැති රේසිං මෝටර් සයිකල්, කාර් ආදිය මහා මාර්ගයේ යොදා ගනු දැකිය හැකි ය. ඇමති චම්පික රණවකගේ වාහනයේ හැපී වසර ගණනකට පසු තවමත් ආබාධිත තත්වයේ පසු වන තරුණයා පැද්දේ ද මහා මාර්ගයේ ධාවනයට අවසර නැති එවැනි යතුරුපැදියකි. (චම්පික රණවක සමග තිබෙන තරහ නිසා මෙම සිද්ධියේ එල්ලෙමින් රණවකට චෝදනා කළ  ටිරාන් අලස්ගේ මාධ්‍ය ආයතනය මේ පැතිකඩ සැඟවූයේ ය.)

අපරීක්ෂාකාරී අන්දමින් රිය පැදවීමේ අනෙක් ඔස්තාද්ලා වන්නේ බස් රියදුරෝ ය. එතනදී දැන් ලංගම, පෞද්ගලික කියා වෙනසක් නැත. ජංගම දුරකථන කණේ ගසාගෙන, මාර්ග නීති තඹයකට නො තකමින්, මහා මාර්ගයේ රේස් යන බස් රියදුරන් ද සමාජ පිළිලයකි.

අනුකම්පා විරහිත දඩ හා දඬුවම්වලින් තොරව ලංකාවේ මාර්ග විනය ඇති කළ නො හැකි ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *