රාජපක්ෂ බලය සමග තුවක්කු සංස්කෘතියත් හිස ඔසවයි

Ramith Rambukwella
රමිත් රඹුක්වැල්ල

ඇමරිකා එක්සත් ජනපදය තුවක්කු සංස්කෘතියෙන් දරුණු ලෙස බැට කමින් සිටියදී ශ්‍රී ලංකාවේ ද තුවක්කු සංස්කෘතිය හිස ඔසවමින් තිබෙනවා. ඒ දේශපාලන තුවක්කු සංස්කෘතියක්.

මෙම තුවක්කු සංස්කෘතියේ විශේෂ ලක්ෂණය වන්නේ එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන පොදු ජන පෙරමුණට සමීප එකක් වීමයි. ඔවුන් ලෙලවන්නේ මහජන නියෝජිතයන් වීමේ බලය මත ලබා ගත් පිස්තෝල ය.

පොදු ජන පෙරමුණ සමග සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ රාත්‍රියේ පිස්තෝලයක් අතැතිව විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

රමිත් රඹුක්වැල්ල යනු කලහකාරී චරිතයක් ලෙස ප්‍රකට පුද්ගලයෙක්. බීමතින් රිය පදවා සිදු කළ හදිසි අනතුරක් සම්බන්ධයෙන් 2016 ඔක්තෝබරයේදී ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටෙව්වා. නඩුව විභාග වෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් සමග බ්‍රිටිෂ් එයාවේස් ගුවන් යානයකින් බ්‍රිතාන්‍යය බලා පියාසර කරමින් සිටියදී බීමතින් ගුවන් යානයේ පිටතට ඇරෙන දොරක් ඇරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ඔහු මීට පෙර දැඩි දෝෂාරෝපණයට ලක් වුණා.

අනෙක් සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් හා ඔහුගේ බිරිය තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කරනු ලැබුවා. තලංගම ප්‍රදේශයේ මහමගදී උණ්ඩ පිරවූ පිස්තෝලයක් පාවිච්චි කරමින් බස් කොන්දොස්තරවරයකුට පහර දීම ඔවුන්ට එල්ල වූ චෝදනාවයි.

මොවුන් ගමන් කළ මහජන මුදලින් බදු සහන සහිතව ලබා දෙන මෝටර් රිය බස් නැවතුමක් අසල බස්වලට නැවැත්වීමට ඉඩ නො ලැබෙන පරිදි නවතාගෙන සිටීම පිළිබඳ ප්‍රශ්න කළ මාර්ග අංක 177 කඩුවෙල-කොල්ලුපිටිය බස් රියක කොන්දොස්තරවරයාට මෙම මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිය බිම දමාගෙන පහර දෙන අයුර පුරවැසියකු විසින් වීඩියෝගත කර තිබෙනවා. එම අවස්ථාවේදී එම ගැහැනිය පිස්තෝලයක් අතින් ගෙන මැරවරියක ලෙස හැසිරෙයි. පහර කෑ බස් කොන්දොස්තර රෝහල්ගත කර තිබේ.

එම්.කේ. කසුන් යනු 2003 මැයි 25දා කොළඹ යෝක් වීදියේදීපාතාල කල්ලියක් විසින් වෙඩි තබා මරා දමන ලද දකුණේ පාතාල නායකයකු හා දකුණු පළාත් සභා ඇමතිවරයකු වූ එම්.කේ. රංජිත් හෙවත් චන්ඩි මල්ලීගේ පුතා ය. එම්.කේ රංජිත් හා එම්.කේ. කසුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සමීපව දේශපාලනය කරන හම්බන්තොට දිස්ත්‍රික් නියෝජිතයෝ ය.

වීඩියෝව පහත දැක්වේ.

M.K. Ranjith
අවි ගත්තෝ අවියෙන් නසිති: එම්.කේ. රංජිත්
M.K. Kasun
M.K. Kasun

Please follow and like us:

One thought on “රාජපක්ෂ බලය සමග තුවක්කු සංස්කෘතියත් හිස ඔසවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *