දැවැන්ත පිරමිඩ් ජාවාරමක් ගැන අත්දැකීමක්

pyramid scam
පිරමිඩ් තමයි. හැබැයි කියන්නෙ නෙට්වර්ක් මාකටිං ය කියලා

සිසිර යාපා විසිනි

පසුගිය දවසක අපිට තොරතුරක් ලැබුණා. තොරතුරෙන් කියවුණේ මැයි 14 වෙනිදා සවස් වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මහා පරිමාණ ජාවාරමක් ගැන. ඒත් ඊට ඇතුල්වෙන්න රු.1000/=ක ටිකට් පතක් අවශ්‍ය වෙනවා. අපි මුලින්ම කළේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මෙම ජාවාරම් පිළිබද තොරතුරු හොයන අංශය වෙත මේ තොරතුර ලබා දීම. පණිවිඩය ලබාගත් සැනින් ඔවුන් කිව්වේ “අපි මේ මෙසේජ් එක රෙකෝඩ් කරගත්ත. බොහොම ස්තුතියි.” කියලා.

බැඳුම්කරෙන් බිලියන ගානක් වංචා කරපු මහා බැංකුව ගැන අපිට තියෙන අත්දැකීම අනුව අපි උත්සහ කළේ මැයි 14 වෙනිදා සුගතදාස ඇතුළට යන්න.

අපි හරියටම දවල් දොළහට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය අසලට ගියා. දහස් ගණනක සෙනග ක්‍රීඩාංගනයේ දොරටුව අසල පොදි කනවා. බහුතරයක් තරුණයෝ.

ක්‍රීඩාංගනය අසල මාවතේ බස්රථ ගණනාවක් ගාල් ගල් කරලා.

යාපනය, පුල්මුඩේ, බණ්ඩාරවෙල, වව්නියා, මඩකලපුව, ත්‍රිකුණාමලය ආදී නොයෙක් ප්‍රදේශ වලින් අාපු බස්වලින් තවතවත් පිරිස් දොරටුව අසලට එක් වෙනවා. ඒ අතර කුඩා වෑන්, කාර්, මෝටර් සයිකල් වලින් පැමිණෙන පිරිස්ද එතනට එනවා.

අපි තවත් සැරයක් මහා බැංකුවට කථා කළා. තොරතුර කිව්වා. ලැබුණේ ඊට කලින් පිලිතුරමයි. ඒ අය  කිව්වේ “අපි මේ මෙසේජ් එක රෙකෝඩ් කරගත්ත. බොහොම ස්තුතියි.” කියලා.

අපි පුරුදු විදිහට වටපිට බැලුවා. හැමෝගෙම අතේ ටිකට් පතක් තියෙනවා. එහෙම නැතුව ඇතුළට යන්න බැහැ. පෞද්ගලික ආරක්ෂකයන් හැමතැනම. අතේ ටිකට් පොතක් තියෙන තරුණයෙකු අපි දැක්ක.

“මල්ලි, මගේ යාලුවෙක් මට අද එන්න කිව්වා. දැන් එයාගේ ෆෝන් එක වැඩ නැහැ. පුලුවන්ද ටිකට් එකක් දෙන්න.”

ඔහු ඉතාමත් නිර්ලෝභීව තමන්ගේ ටිකට් පොතෙන් එකක් කඩලා අපිට දුන්නා. ඊට පස්සේ “ දාහක් දෙන්න අය්යේ.” කියලා අත දික්කළා.

අපි ඔහුත් එක්ක කතාවට වැටුණා.

ඔහු හලාවත මුන්දලමේ කෙනෙක්. කලක් මාලදිවයිනේ රැකියාව කරලා. ලංකාවට ආපු වෙලාවක මේ ‘ඉසුරු ගෙනෙන’ ව්‍යාපාරය ඔහුට හදුන්වල දීලා තියෙන්නේ ඔහුගේ යහළුවෙක්.

“මේක මරු බිස්නස් එක අයියේ. මම මගේ ලග තිබුණු සල්ලි දාලා මෙයාලගෙන් ටී.වී. එකක ගත්ත. ඒක එක් ලක්ෂ හතලිස් දාහයි. ඊට පස්සේ මමත් දැන් අනිත් අයට බඩු විකුණනවා. අවුලක් නැහැ. දැනටත් මට විසිහයදාහක චෙක් එකක් ලැබුණා. ටික දවසකින් මම ගොඩ. ඊට පස්සේ මම මුකුත් නොකළත් මාසෙකට සැරයක් අතට ලක්ෂයක් දෙකක් එනවා. කැමතිනම් අයියත් සෙට් වෙන්න. මම කියලා දෙන්නම් වැඩේ.”

ඔහු බොහොම ආදරණීය උනන්දුවකින් අපිට කිව්වා.

ඔය අතර දුර බැහැරින් ආ අය සෙල්පි ගහනවා. රංචු ගැහිලා හිනා වෙනවා. එකිනෙකාගේ පා අල්ලලා වදිනවා. එක වැඩයි.

ටිකකින් ඇතුළු කිරීම ආරම්භ කළා.

දිග පෝලිම් තිබුනත් කෑකෝ ගැසීමකින් තොරව ඉවසීමෙන්, විනීතව, සිනාපිරි තරුණ තරුණියෝ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට ඇතුළු වෙනවා.

ක්‍රීඩාංගනය තුළට ඇතුළු වෙනකොට අපි හැමෝටම කුඩා වතුර බෝතලයක්, වතුර පෙරනයක සහ වායු සමීකරණයක තොරතුරු ඇතුලත් අත් පත්‍රිකා දෙකක් පෞද්ගලික ආරක්ෂකයන් විසින් බෙදනවා. ඒවා ඉහළ නිමාවකින් යුත් පත්‍රිකා. ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන් මුද්‍රිතයි. අපිත් සුදුසු තැනක් බලලා වාඩිවුණා.

මුළු ක්‍රීඩාංගනයම අතුරු සිදුරු නැතිව පිරිලා. බහුතරයක් තරුණයෝ. ඉනුත් බහුතරයක් දෙමළ තරුණයෝ. ඊළගට තරුණියෝ. අඩුවෙන්ම හිටියේ මැදි වයසේ අය.

මුළු ක්‍රීඩාංගනයම දැවැන්ත ශබ්ද විකාශන පද්ධතියකින් රස ගන්වලා. වැඩිපුර ඇහෙන්නේ දෙමළ සිංදු.  ඒ අතර පුළුල් ඩිජිටල් තිර හතරකින් සජීවීව මේ අවස්ථාව ක්‍රීඩාංගනය තුළම විකාශය කරනවා.

සංගීත ප්‍රසංගයකදී වගේ කොල්ලෝ කෙල්ලෝ සතුටින් නටනවා. කෑගහනවා. ඡායාරූප ගන්නවා. සැණකෙළියක් වගේ.

ඒ අතර සම්පුර්ණයෙන්ම කළු පැහැති සහ  සුදු පැහැති ටී ෂර්ට් සහ කළු කලිසම් ඇඳි පෞද්ගලික ආරක්ෂකයෝ ක්‍රීඩාංගනයට ආරක්ෂාව දෙනවා.

පස්වරු එකට විතර කිට්ටු වෙද්දී කළු පැහැති ඇඳුමක් ඇඳි කෙට්ටු පුද්ගලයෙක් සහ කළු පැහැති සල්වාර් ඇදුමක් ඇඳි තරමක් මහත තරුණියක් ක්‍රීඩාංගනය මැද තනා තිබූ හතර අතට විවෘත කළු පැහැති වේදිකාවට ආරක්ෂකයන් පිවරගෙන ගොඩවුණා.

මුළු ක්‍රීඩාංගනයම දෙවනක් වෙන්න ජයඝෝෂා නැගෙනවා.  දැවැන්ත ශබ්ද විකාශන පද්ධතියෙන් වේග රිද්ම සංගීතයක් නිකුත් වෙනවා. ඇත්තටම අපි හිතුවේ ඇතුළේ ඉන්න තරුණ තරුණියන් දන්න, ඒත් අපි නොදන්න ජනප්‍රිය ගායක යුගලක් වේදිකාවට ආවා කියලා.

විනාඩි ගණනක අත්පොෙළසන් අමාරුවෙන් නතර කරගත්ත කළු පැහැති ඇදුමක් ඇඳි කෙට්ටු පුද්ගලයා කතාකරන්න පටන් ගත්තා. ඔහු කියපු විදිහට ඔහුගේ නම කුමාර. ජීවිතය පටන් අරන් තියෙන්නේ බොහොම දුප්පතෙක් විදිහට. ගමේ හරක් පට්ටියක් බල බල ඉදල තියෙන්නේ. දැන් ඔහු සතුටින් ජීවත්වෙන පොහොසතෙක්.

ඊළඟට කථා කළේ  කළු පැහැති සල්වාර් ඇදුමක් ඇදගත්තු තරමක් මහත තරුණිය. එයාගේ නම වසන්ති. ඇය කතා කළේ දෙමළ භාෂාවෙන්. එයා මඩකලපුවේ. එයාගේ කතාවත් ඒ වගේමයි. කලින් දුප්පත්, දැන් හොදටම පොහොසත්.

මොන භාෂාවෙන් කථා කලත් අපිට අවශ්‍ය සිංහල හෝ දෙමළ භාෂාවෙන් එවෙලාවේම පරිවර්තනයක් FM තරංග මාලා දෙකක් ඔස්සේ ලබා දෙනවා. අවශ්‍ය වෙන්නේ ස්මාර්ට් දුරකථනය සහ එහි ඉයර් ෆෝන් එක විතරයි.

පැයකට අසන්න කාලයක් බොහොම උද්වේගකර විදිහට තරුණ තරුණියන් කුල්මත් කරමින් මේ දෙන්න තමන්ගේ පොහොසත්කම ගැන කිව්වා. ඊට පස්සේ තමන්ගේ ගමනට මග කියපු ඉටු දෙවියව හදුන්වල දුන්න.

ඔහු නමින් ගෝපි, දෙමළ තරුණයෙක්.

ඔහුගේ සශ්‍රික බවේ කතාවත් අහන් ඉන්න රසවත්. කතා කළේ දෙමළ භාෂාවෙන්. පැයකට අසන්න කාලයක් බොහොම උද්වේගකර විදිහට පෙර දෙදෙනා මෙන්ම තරුණ තරුණියන් කුල්මත් කරමින් ගෝපිත් තමන්ගේ පොහොසත් වීමේ රස රහස ගැන කිව්වා. ඊට පස්සේ තමන්ගේ ගමනට මග කියපු කෙනාව හදුන්වල දුන්න.

ඔහුව හදුන්වලා දුන්නේ පුබුදු සේරසිංහ නමින්.

ඔහු වේදිකාවට එන්නේ පෙරට වඩා වැඩි ආරක්ෂකයන් පිරිසක් වටකරගෙන . ඒත් ඊට කලින් ඔහු වේදිකාවට ඉවතින් විශේෂිත පුටු අසල තනියම ඇවිද ඇවිද ඉන්නවා අපි දැක්ක. ඔහු ආවේ යුරෝපීය ඇඳුමක් ඇදලා. ඔහුත් තරුණයෙක්, කඩවසම්. ඉතාමත් හොඳින් පෙර පරිදිම ජයඝෝෂා මැද ඔහුගේ කතාව පටන්ගත්තා. ඔහු සාමාන්‍ය පවුලක කෙනෙක්. ග්‍රැපික් නිර්මාණ කරුවෙක්. වැඩක් නැති, ජිවිතේ බලාපොරොත්තු ඉටුකරගන්න බැරි ඒ රස්සාව අත්හැරලා ඔහුත් මේ ව්‍යාපාරය පටන් අරගෙන. ඔහු දැන් ලෝකය පුරා හිතෙන හිතෙන වෙලාවට ගුවනින් යන ඉසුරුපිරි මිනිසෙක්. ඔහු ඔහුගේ ජිවිතයේ සමහර ජයග්‍රහණ වීඩියෝ මගින් පුළුල් තිර හතර මතින්පෙන්වනවා අපිට.  බැංකොක් වලදී ඔහු ගිය පැරිෂුට් අවස්ථාවක් පෙන්වද්දී ශාලාව ගිගුම් දෙන්න අත්පොලසන් නැගෙනවා.

ආරක්ෂකයන් වේදිකාව අසලට ගෙනත්දෙන වතුර බි බී, ඒ ආරක්ෂකයන්ම ගෙනත්දෙන ටිෂූ වලින් දහදිය පිසදමමින් ඔහුගේ ජිවිත කතාව අපිට කිව්වා. ඒ අතර, පහළ විශේෂිත පුද්ගලයන්ගේ අසුන් මත සිටින කාන්තාවක් පෙන්වල ඒ තමාගේ බිරිඳ බව කිව්වා. අය අසුනින් නැගිටිනවා, ඔහු ඇයට හිස නමා ආචාර කරනවා. එක දැකපු ගමන් ක්‍රීඩාංගනයේ ඉන්න තරුණ තරුණියන් ආයෙමත් සතුටින් කෑගහනවා.

ඔහුගේ කතාව අවසන් කළේ එතෙක් පහළ තැන් තැන් වල ඇවිදමින් හිටපු තවත් උස මහත පුද්ගලයෙක් ඔහුගේ මග කියාදුන් කෙනා ලෙස හඳුන්වලා.

තැන තැන වල සාමාන්‍ය විදිහට ඇවිද ඇවිද හිටපු ඔහුත් වේදිකාවට ආවේ මුල් විදියට ආරක්ෂකයන් පිරිවරාගෙන.

ඔහු කිව්වේ ඔහු මහා කොළඹ ආර්ථික කොමිසමේ, විදුලි බල මණ්ඩලයේ වැඩ කළ බව. කාලෙකට ඉහත කන්දලම හෝටල් ව්‍යාපෘතියට එරෙහි වූ තම දැන් එහි සුපිරිම කාමරවල තමන්ගේ පවුලේ අය සමග නිතර නිතර නතර වන බවයි. ඔහුත් ජයාරූප පෙළක් පෙන්නුවා. ඒ ඔහු ඔහුගේ පවුලේ උදවිය සමග ලොව වටා ගිය ගමන්. ඔහුගේ කතාවේ ඔහු ලැබූ බව කියන ‘සැප’ ගැන කියද්දී පෙර මෙන්ම ක්‍රීඩාංගනයේ ඉන්න තරුණ තරුණියන් ආයෙමත් සතුටින් කෑ ගහනවා. කතාව අතර තුර පෙර මෙන්ම ආරක්ෂකයන් වේදිකාව අසලට ගෙනත්දෙන වතුර බිබී, ඒ ආරක්ෂකයන්ම ගෙනත්දෙන ටිෂූ වලින් දහදිය පිසදමමින් ඔහුගේ ජිවිත කතාව කිව්වා. ඒ කතාව අවසන් වුණේ තවත් අයෙක් හදුන්වල දීලා.

පටන් ගත්ත විදිහටම පෙර කෙනාට වඩා වැඩියෙන් අරක්ෂකයෝ ආවා.

ඔහු කිව්වේ ඔහු මැලේසියානු ජාතිකයෙක් කියලා. ඒත් අම්මා ලංකාවේ යාපනය ප්‍රදේශයේ දෙමළ කාන්තාවක්. ඔහු මාස පඩි ගත්ත මෝටරෝල ආයතනයේ ඉංජිනේරුවරයෙක්. රස්සාව කරගෙන ඉද්දී ඔහුගේ මල්ලි තමයි මේ ගැන ඔහුට කියලා තියෙන්නේ. ඊට පස්සේ රස්සාව අතහැරලා මේ රස්සාව පටන් අරගෙන. දැන් ඔහු කියන විදිහට උදේට මැලේසියාවෙන් කෑම කාලා, දවල්ට හොංකොං වලින්  කෑම කාලා, රෑට ලන්ඩන් වලින් කෑම කන සුපිරි තරුවක්.

ඔහු කන තැන් කියනකොට ප්‍රේක්ෂකාගාරය සතුටින් ඉපිලෙනවා. අත්පොලසන් නගනවා. කෑගහනවා.

ඔහු දියුණුවේ රහස කිව්වා. තමන්ගේ සිහින බලාපොරොත්තු විස්සක් ලියාගන්න කිව්වා. ඒවා ඉටුකරගන්න හොදම තැන මේ ව්‍යාපාරයට එක්වීම බව පුනපුනා කියනවා. ඒක අහපු ගමන් ක්‍රීඩාංගනයේ ඉන්න තරුණ තරුණියන් ආයෙමත් සතුටින් කෑගහනවා.

ඊළගට ඔහු හදුන්වල දුන්නේ ඔහුගේ මල්ලිව. එයා වේදිකාවට අවේ ආරක්ෂකයෝ රොත්තක්ම පිරිවරාගෙන. අර මුලින් කතා කරපු හැමෝමත් ඔහුත් සමග වේදිකාව අසලට ආවා.

ඔහු කිව්වේ ඔහුගේ උපත මැලේසියාවේ උනත් හදවත ලංකාවේ බවයි. ඔහු වැඩ වැඩි වෙලාවක් කතා කළා. ආරක්ෂකයන් වේදිකාව අසලට ගෙනත්දෙන වතුර බිබී, ඒ ආරක්ෂකයන්ම ගෙනත්දෙන ටිෂූ වලින් දහදිය පිසදමමින් ඔහුගේ ජිවිත කතාව අපිට කිව්වේ විටෙක වේදිකාවේ ඇවිදිමින්, නිදාගනිමින්, වේදිකාවෙන් පිටත අසුන් ගෙන සිටි අය අසලට ඇවිදින්. එතකොටයි අපිට වැටහුනේ මේ වැඩේට ඉන්දියාවෙන් පවා පිරිසක් ඇවිත් කියලා. ඒ අය මේ ‘දේශන’ අවසානයේ එදාම ඉන්දීයාවට යනවා.

ඔහු කිව්වේ සුපිරි ජිවිතයක් ගෙවන්න, ලෝකේ පුරා ගිහින් තමන් කැමති සැපක් විදින්න, පරම්පරා ගානකට ඇති වෙන්න සල්ලි හොයන්න, ලංකාව ‘නම්බර් වන්’ කරන්න, ඔහුගේ Global Lifestyle Lanka වෙත එන්න කියලා. ඔහු මේ ව්‍යාපාරය හඳුන්වල දුන්නේ Network Marketing ව්‍යාපාරයක් කියලා. මේක පිරමිඩ් ව්‍යාපාරයක් බව නොකියන්න මේ හැමෝම පරිස්සම් වුණා.

අපි යළිත් ප්‍රේක්ෂකාගාරය දෙසට හැරෙමු.

එතන හිටපු දහස් ගණනක් අතර විදේශ රැකියා කරන අය, විශ්‍රාමික අය, අතලොස්සක් ගුරුවරු, සුළු ව්‍යාපාරිකයෝ හිටියා. ඒ හැම කෙනෙක්ම බොහෝ විට මේ ජාවාරමෙන් මොකක් හෝ භාණ්ඩයක් නොවටිනා මිළකට ගත්ත අය. මුලින් අපි හඳුනාගත්ත තරුණයාගේ රුපවාහිනිය වටිනාකම ඔහුම කියන පරිදි රු. හැටදාහක් විතර වෙනවා. ඒත් අරගත්තේ රු. එක් ලක්ෂ හතළිස් දාහකට. ඔහු ඉක්මනින් තවත් දෙන්නෙකුට මෙහෙම ටී.වී. දෙකක් විකුණන්න ඕන. ඒ දෙදෙනා තවත් දෙදෙනෙකුට. ඒ අය තවත් අයට. තව තවත් අයට.

මේක ජාලයක්. අන්තයක් නැති සූදුවක්. තමන්ගේ වැය වූ මුදල හොයාගන්න තම හිතවතුන්ගේ පොකට්ටුව මැලේසියානු මංකොල්ල කරුවන් අතට පත් කරන භයානක සූදුවක්.

මේ සුදුව විසින් ගිලගන්නේ අතේ අඩු මුදලක් ඇති සිහින තොගයක් ඇති උදවිය. දිනාගන්න බැරි අපේ සිහින තමයි ඒ අයගේ අදායම. යහමින් මුදල් ගැවසෙන කිසිවෙකු මේ සුදුවේ ඉත්තන් වෙන්නේ නැහැ.

එකෙක් දෙන්නෙක් පමණක් ස්ථිරවම ගැලවෙන, අන් හැම එකම ගිලී විනාශ වෙන මේ සූදුව ගැන තමයි අපි මහා බැංකුවට ඔත්තුව දුන්නේ. ඒත් මේ මාෆියාවේ තරම අනුව අපි දැනන් හිටියා සූදු කාරයන්ගේ තැරව්කාරයෝ එතනට එන්නේ නැහැ කියලා.

ඒ නිසයි අවදානම අරගෙන පහුගිය 14 සවස් වරුවේ අපි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට ගියේ.

එදාම හවස අපි ආණ්ඩුවේ නොවන නාලිකාවක ප්‍රවෘත්ති බලද්දී ඩොලරයක ගැනුම් මිල රු. 160ත් ඉක්මවා ගිය බව ඇහුණා.

රුපියල් තොග ගණනින් මේ ජාවාරම්කරයන් මැලේසියාවට අදිද්දී ඩොලරයේ මිළ ඉහළ යාමට ඒක බලනොපානවා කියල ද මහා බැංකුවේ ඉන්න මේ සුදුකාරයන්ගේ තැරව්කාරයෝ අපිට කියන්නේ.

මේ දැලට අහුවෙලා ඉන්නේ ජීවිතයේ බලපොරොත්තු ඉටුකරගන්න බැරි රටක ඉන්න අහිංසකයෝ.

ඒත් මේ දැලෙන් සැප ගන්නේ නීතියේ දැලෙන් පහසුවෙන් රිංගන්න පුළුවන් ප්‍රකෝටිපති ජාවාරම්කාරයෝ.

ඩොලරය ඉහල යන එක සැපයි කියන ඇමතිලා ඉන්න රටක මේක කියලා වැඩක් නැති බව අපි දන්නවා.

ඒත් අපි කියනවා මහත්වරුනි, පුලුවන්නම් මේ මහත්හොරු නීතියට අල්ලලා තමන් මේ මාෆියාවට අයත් නැහැ කියලා පෙන්නන්න.

Please follow and like us:

6 thoughts on “දැවැන්ත පිරමිඩ් ජාවාරමක් ගැන අත්දැකීමක්

  1. මේක දැක්කම රෙකෝඩ් කරගත්ත මැසේජ් එකත් මකලා දාල කියයි අපි එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ කියලා, තව ඕනනං ලක්ෂ දහයක් විතර දීලා පත්තරේ මැද පිටුවේ ඇඩ් එකක් දායි, පිරමිඩ වලට අහුවෙන්න එපා කියලා

  2. ඔය කතන්දරේම අැමරිකාවෙත් වෙනවා. ඉගෙනගන්න අැවිල්ලා සල්ලි ගැටලු තියෙන ඉන්දියන්, ලංකා හා අනෙක් රටවල තරුණයෝ තමා ඉලක්කය.

  3. තව එකක් තියෙනවා බෙස්ට් ලයිෆ් කියලා. ඒකෙ නීති උපදේශක විජේදාස රාජපක්ෂ. මේ ජාවාරම් දෙකට ඉහලම දේශපාලකයන් සම්බන්ධයි.

  4. පැරා, මුලු ලංකාවම එකම සැනකෙලියක් බං.
    නමුත් ඒ සැනකෙලිය තියෙන පිට්ටනියේ හැමදාම අලුත් වන මල ගෙයක් තියෙනවා කියලා බහුතරයක් දකින්නේ නැහැ.ඒ මල ගෙදර සදාකාලිකවම අයිති පොල්මඃකාරයන් සම්බන්ධව ලඟදී මාතරදී රැස්වීමකුත් තිබුනා.රට ගැන කැක්කුමක් තියෙන්නේ අපිට විතරද? අර රෙකෝඩ් කර ගත්ත එවුන්ට කිසිම වගකීමක් නැද්ද එතකොට?
    අපේ සමාජය මිය ගිහින් අවසානයි. ඒත් මේ පෙරේත රෑන මිනිය වලදාන්න දෙන්නේ නැහැ. දැන් රටේ කෙරුවාව අරන් යන එවුන් ඉහඳ පනුවෝ හැර අන් කවුරුවත් නොවේ.

    සිසිරයාගේ රුපියල් 1000 ගැන කනගාටුයි.
    රසිකගේ කෝපය සහ අපේක්ෂාව බිඳුනු තැවුල ⁣ඔහුගේ කොමෙන්ටුවෙන් වටහා ගත හැකියි.
    හිරු වා⁣ගේ රත්වෙන, ගිනි තියන , උණුසුම දෙන පත්තරයක් පටන් ගන්න කාලය හරි, ආයෙත්.

    1. හිරු ආපහු කරන්න ඩලස් ආපහු එය්ද?විමල් වීරවංශට ආපහු එන්න පුලුවන්ද? ආවත් රෙද්දක් ඇදන් ලියන්න පුලුවන්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *