දිගන ඉවර නම් ඊළඟට මොනව ද කරන්නෙ?

ethics eye image
වාර්තාකරණයේ ගැටලු තවමත් තිබේ. තෙල්දෙනිය සිදුවීම මේ අන්දමින් රූපමය ලෙස නිරූපණය කිරීමෙන් ඩේලි මිරර් පුවත්පත කරන්නේ හරි වැඩක් ද?

අම්පාරේ බොජුන්හලකින් දෙන ලද ආහාර අතර තිබී සොයා ගත් බව කියන වඳ පෙත්තකැයි සැක කරන ලද දෙය පිෂ්ඨය සහිත ආහාර කොටසක් බවට නිගමනය කරන්නේ යැයි රජයේ රසපරීක්ෂක ඒ වැලිඅංගගේ මහතා පොලිසියට දන්වා යවා තිබේ.

මෙම අවස්ථාවේදී එතැනට රැස් වූ පිරිසක් තර්ජනාන්විතව හෝටල් හිමියාගෙන් ප්‍රශ්න කරන ආකාරය වීඩියෝගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලදී. එය ඉතා සැලසුම් සහගතව, තර්ජනය කරන්නන් නො පෙනෙන ආකාරයට හා සූක්ෂම අයුරින් හරිහැටි සිංහල නො දත් හෝටල් හිමියාගෙන් යම් නිශ්චිත පිළිතුරක් ලබා ගැනීමේ අරමුණින් කරන ලද්දකි.

ඒ හා සමග ම සංවිධානාත්මක පිරිස් විසින් මෙහෙයවන ලද වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා අම්පාරේ ඇති විය.

මේ වන විටත්, මුස්ලිම් තරුණ පිරිසක් විසින් මාර්ගයේදී පහර දීම නිසා තුවාල ලද තෙල්දෙනිය-දිගන ප්‍රදේශයේ පුද්ගලයකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය. මෙම පුද්ගලයා තුවාල ලබා දින ගණනකට පසුව මේ අවස්ථාවේ ම මරණයට පත් වීම පවා විමර්ශනය කළ යුතු ය.

කෙසේ වෙතත්, මරණය සිදු වූ සැණින් සංවිධානාත්මක පිරිස් දිගනට පැමිණ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කරනු දක්නට ලැබිණි. ඒ පිටුපස ඇතැම් අන්තවාදී ප්‍රචණ්ඩ මහණුන් හා ලුම්පන් මැරවරයන් සිටි බවට සැක කළ හැකි සාධක තිබේ.

මේ අතර වාර්ගික කලබල ඇති වූ දිනයේ දිගන සිටි බව වාර්තා වූ කුප්‍රකට ප්‍රචණ්ඩකාරී මහණකු වන ගලගොඩඅත්තේ ඥානසාර සමග සම්මුඛ සාකච්ඡාවක් කඩිමුඩියේ ම රජයේ පුවත්පතක් වන රැස පුවත්පතේ පළ විය. එම සාකච්ඡාවේදී ඔහු පවසන පරිදි ඔහු එහි ගොස් ඇත්තේ ගැටුම් සමථයකට පත් කිරීමටයි.

මිය ගිය ලොරි රියදුරා වන 41 හැවිරිදි එච්.ජී. කුමාරසිංහ සාමාන්‍ය පුද්ගලයෙකු වන අතර ඔහු ජාතිවාදී උණකින් පෙළුන කෙනෙකු බවට සාධක නැත. ඔහු ආබාධ සහිත දරුවකු ද සිටින පවුලක එක ම ආදායම් උපදවන්නා ය. මෙම පුද්ගලයාට පහර දීම මාර්ගයේ සිදු වූ සාමාන්‍ය කලහයක් ඉක්මවා ගිය ජාතිවාදී අරමුණු සහිත ක්‍රියාවක් නම් ඒ සම්බන්ධයෙන් වැරදිකරුවන්ට මිනීමැරුමට අමතරව වාර්ගික හිංසනය සම්බන්ධ නීති අනුව ද දඬුවම් කළ යුතු ය.

මේ අතර, දිගන නගරයේ ගිනි තබන ලද මුස්ලිම් වෙළඳසලක දෙවන මහලේ සිටි 27 හැවිරිදි තරුණයකු වූ අබ්දූල් බාසිත් ද ගින්නෙන් දැවී මිය ගියේ ය. ඔහුගේ පවුලේ අය නිවසේ පළමු මහලේ සිටියදී බිම් මහලේ තිබුණු ඔවුන්ගේ කඩයට ගිනි තබා තිබේ. පළමු මහලේ සිටි සෙසු අය පළා ගොස් ඇති මුත්, දෙවන මහලේ සිටි අබ්දූල් බාසිත්ට පළා යන්නට බැරි විය. ඔහු පළා යන්නට ඇතැයි සිතූ පවුලේ අය පසුදා සිදු වූ විනාශය බලන්නට ගිය විට තරුණයාගේ මළ සිරුර හමු වී තිබේ.

අබ්දූල් බාසිත් ගින්නෙන් දැවී මිය යාමට පෙර සිය මාමාට කතා කළ ශබ්ද ගොනුව දිගන බලා ගිය ඇමතිවරයකු විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ පවා අවධානය යොමු කරන ලදී.

අද උදෑසන වන විට තත්වය සාමකාමී වී ඇති අතර, පොලිසිය හා හමුදාව දැඩි ක්‍රියාමාර්ග ගැනීමත් සමග ම ප්‍රචණ්ඩකාරීන් පසුබැස ඇති බව වාර්තා වේ. ප්‍රධාන සිදුවීම් වාර්තා වී නැත.

මෙවැනි ගැටුම් යළි පැන නො නැගීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු ය. ඒ සඳහා පළමු පියවර ලෙස මෙම ගැටුම්වලට සම්බන්ධ ප්‍රචණ්ඩකාරීන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. මෙවැනි සිදුවීම් සමාදානවලට යන්නට ඉඩ නො තැබිය යුතු ය. මේවා වනාහි වමිනිසු වර්ගයාට එරෙහිව වාර්ගික සංහාර අරමුණින් කරනු ලබන අපරාධ මිස තනි තනි හුදකලා සිදුවීම් නොවේ.

සිද්ධියට සම්බන්ධ සියලු අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු අතර ඒවායේ නායකයන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු ය.

එසේම, මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් විපතට පත් වූ සියලු දෙනාට රජය පූර්ණ වශයෙන් වන්දි ලබා දිය යුතු ය. රජය මේ රටේ සුළුතර ජාතීන්ට ආරක්ෂාව ලබා දීමට අසමත් වීම සම්බන්ධයෙන් සමාව ගත යුතු ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *