ටියුෂන්වලට කෙළින අකිලගේ 1988

අකිල විරාජ් කාරියවසම්
අකිල විරාජ් – රැඩිකල් පියවර රැසක් ගත් අධ්‍යාපන ඇමතිවරයෙක්

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය මහජන මුදලින් ලබා ගැනීමේ අවස්ථාව සියලු සිසුන්ට හිමි ය. එහෙත්, එහි හොඳම කොටස විවිධ කූට උපායමාර්ගවලින් ඩැහැ ගන්නේ සමාජයේ ඇති හැකි පිරිස ය. පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී ම හොඳම පාසල් ටික හිමි කර ගන්නේ මෙම පිරිසයි. නැති බැරි මිනිසුන්ට හිමි වන්නේ අවර ගණයේ පාසල් ය. එතනින් ආරම්භ වන විෂමතාව අවසන් වන්නේ නොමිළේ උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ද එකී ඇති හැකි පිරිස විසින් ම ඩැහැ ගනිමිනි.

ලංකාවේ අධ්‍යාපනයේ පවත්නා අසාධාරණය ඉහත කී විෂමතාවයි. එහෙත්, විශේෂයෙන් ම සමාජවාදී යයි කියන වාමාංශික, මාක්ස්වාදී ව්‍යාපාර විසින් කරනු ලබන්නේ ඒ වෙනුවට ලොවෙත් නැති නව ලිබරල් මගුලක් ගැන කතා කිරීමයි.

ලංකාවේ අධ්‍යාපන අර්බුදයේ කෘරතම ප්‍රකාශනය වන්නේ ටියුෂන් ජාවාරමයි. ටියුෂන් ජාවාරමට අවකාශය විවෘත කර දෙන්නේ ඉහත කී අධ්‍යාපන විෂමතාවයි. එය සිදු වන ආකාරය මෙසේ පැහැදිලි කළ හැකි ය.

මහජන මුදලින් සීමිත වරප්‍රසාදිත පිරිසකට පමණක් ලබා දෙන උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා ලබා ගැනීම සඳහා පොරකෑම ආරම්භ වන්නේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරන අවස්ථාවෙනි. එහිදී හොඳ පාසල් ටික හිමි කර ගන්නා දරුවන්ට ඉදිරි අවස්ථා පහසුවෙන් හිමි කර ගත හැකි ය. එතනින් ගිලිහී යන පිරිස ඒ වෙනුවෙන් මාරාන්තික සටනක් කළ යුතුව තිබේ. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එහි තීරණාත්මක කඩඉමකි. එයිනුත් මගහැරෙන දරුවන්ගේ තත්වය තවත් භයානක ය.

සාමාන්‍ය පෙළට A සාමාර්ථ නවයක් ලබාගන්නට හැකි සුළු පිරිසකට නැවතත් හොඳ පාසලකට පිවිසීමේ අවස්ථාවක් සඳහා උත්සාහ කළ හැකි ය. එය ද අහිමි වුවහොත් සොරි ම තමා ය. අව වරප්‍රසාදිත දරුවන්ගේ පාසල්වලින් යම් දුරකට හෝ විශ්වවිද්‍යාලවලට සිසුන් තේරෙන්නේ කලා විෂය ධාරාවෙන් පමණි.

අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් වන මෙම කෘර තරගකාරිත්වය හේතුවෙන් සිදු වී තිබෙන්නේ පාසල් අධ්‍යාපනයේ දැවැන්ත වෙළඳපොළකරණයක් සිදු වීමයි. ලංකාවේ පාසල් අධ්‍යාපනය හිර වී තිබෙන්නේ මෙවැනි දැවැන්ත වෙළඳපොළක මිස ඔය කියන ඊනියා නව ලිබරල්වාදයක නොවේ.

අධ්‍යාපන වෙළඳපොළකරණය ටියුෂන්වලට සීමා වී ඇතැයි නො සිතන්න. එය පාසල් අධ්‍යාපනය ද ඉහවහා පැතිර ගොස් තිබේ. ඇත්ත ම කියනවා නම් මේ වන විට පාසල් අධ්‍යාපනය යනු ටියුෂන්වල උණ්ඩුක පුච්ඡයකි.

පාසල වෙළඳපොළකරණයට හසු වන හැටි ඉතා සියුම් ය. මේ වන විට පාසල් ගුරුවරුන්ගෙන් බහුතරය කුමන හෝ අන්දමකින් ටියුෂන් කරති. එහෙත්, දැවැන්ත ටියුෂන් මුදලාලිලා යනු පාසල් අධ්‍යාපනයෙන් බාහිර පිරිසකි. ඔවුන් අධ්‍යාපනඥයන් ලෙස සැලකිය හැකි අය නො වුණ ද, අධ්‍යාපන ක්ෂේත්‍රයට දැවැන්ත දෘෂ්ටිවාදීමය බලපෑමක් කිරීමේ ආර්ථික බලයක් ඔවුන් සතුව තිබේ. ග්‍රේරෝ, සන්නස්ගල වැනි අය ලංකාවේ අධ්‍යාපනඥයන් වී සිටින්නේ ඒ සල්ලි බලයෙනි.

ඔවුන් විසින් ගොඩනගනු ලබන ටියුෂන් මූලික අධ්‍යාපන මනෝභාවය අතිශය පසුගාමී, සමාජය මුග්ධභාවයට ඇද දමන එකකි. එහෙත්, පවත්නා දැඩි අධ්‍යාපන තරගකාරිත්වය හේතුවෙන් එයින් ගැලවී සිටීම අතිශය දුෂ්කර ය. එයින් ගැලවෙන්නට හැකියාව තිබෙන ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනය ලබන පිරිස වෙනත් ආකාරයක වෙළඳපොළක ගිලෙද්දී, සමස්ත සමාජය ම දැවැන්ත අධ්‍යාපන වෙළඳපොළක ගිලෙයි.

විකල්ප අදහස් ඉදිරිපත් කරන චින්තකයන්ට පවා තමන් එරී සිටින ගොහොරුව තේරුම් ගත නො හැකි ය. වාමාංශිකයන්ට නම් කොහොමත් බැරි ය. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය චින්තන ධාරිතාව නැත. ඒ නිසා ඔවුන් කරන්නේ කෝකටත් තෛලය වන් නව ලිබරල් යයි කියන තමන්ටත් නො තේරෙන මන්තරයක් ජප කිරීම ය. උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් 36,000කට හා සිසුන් 150,000කට රු. බිලියන පහක වියදමෙන් ටැබ් ලබා දීමට රජය ගත් පියවරවලට පවා මේ ඊනියා වාමාංශිකයෝ විරුද්ධ වූ හ. එසේ විරුද්ධ වුණේ ඊට වඩා වෙනත් ප්‍රමුඛතා ඇති බව කියමිනි.

අව වරප්‍රසාදිත පාසල් සම්බන්ධ එවැනි ප්‍රමුඛතා ඇති බව අපි පිළිගනිමු. එහෙත්, උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් ලබා දීම ලංකාවේ අධ්‍යාපනය පරිවර්තනය කළ හැකි දැවැන්ත පියවරක් විය. එවැනි පියවරවලින් ටියුෂන් ජාවාරමටත් පහර වදින්නට ඉඩ තිබිණි. ප්‍රතිගාමීන් සියල්ල එයට එරෙහි වුණේ ඒ නිසා ය.

මේ සියලු කළු වළාවන් මැද යම් යම් රිදී රේඛාවන් දකින්නට ලැබේ. ඒවා දකින්නට ලැබෙන්නේ ද අර නව ලිබරල් ය කියා හඳුන්වන එක්සත් ජාතික පක්ෂ රජය පැත්තෙන් වීම උත්ප්‍රාසජනක ය.

තමන්ගේ ටියුෂන් පන්තියට පැමිණෙන්නැයි දරුවන්ට බලපෑම් කරන පාසල් ගුරුවරුන් සම්බන්ධයෙන් 1988 ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කිරීමේ අවස්ථාව තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.

මෙය පාසල්වල ඉතා සුලබව සිදු වන අපරාධයකි. කෙළින් ම බලපෑම් නො කළත්, තමන්ගේ පන්තියට නො එන සිසුන්ගෙන් පළි ගන්නා, ඔවුන්ට අවස්ථා ලබා නො දෙන ගුරුවරු ද සිටිති. මේවාට එරෙහිව මව්පියන් සටන් කළ යුතු ය.

 

Please follow and like us:

5 thoughts on “ටියුෂන්වලට කෙළින අකිලගේ 1988

  1. කොතැනින් හෝ ඇරඹුම අගය කල යුතුයි , ස්ටාර්ලින්ලා උනත් එහෙමයි

  2. කතාවනම් ඇත්ත පැරා,ආණ්ඩුවට ඕනෑ තරම් ඉඩ තිබුණා ළමයින්ට ආණ්ඩුවේ වියදමින් samsung tab අරන් දෙන්න .ඒක එහෙම කරා නම් ලංකාව ඇතුලේ ලොකු අධ්‍යාපන විප්ලවයක් වෙන්න ඉඩ තිබුණා අධ්‍යාපනය කියන්නේ සමාජ විප්ලවයක ආරම්භය නිසා ළමයින්ට ටැග් නොදීමෙන් ලංකාවේ විප්ලවය ආපස්සට ඇදුන කියලා තමයි මට හිතෙන්නේ .
    ආණ්ඩුවේ මෝඩ කම වගේම වාමාංශික කුහකකමත් ඒකට හේතු වුණා .
    අද අන්තර් ජාලය ප්‍රබල අධ්‍යාපන මෙවලමක් .ඉස්කෝලෙක හරි ටියුෂන් පන්තියේ එක හරි මාස ගණනාවක උගන්වන සංකීර්ණ විෂයක් අන්තර්ජාලයෙන් ඉතා කෙටි කාලයකින් ගුණාත්මකව වටහා ගත හැකියි. ලමයින්ගේ/ දෙමාපියන්ගේ කාලය / මුදල් ඉතුරු වෙන විදියක් වෙන්න තිබ්බා ඒ පියවර.
    උදාහරණයක් විදියට උසස්පෙල විද්‍යා ගණිත දහරාවට සමගාමිව යන Khan Acedamy, MIT free course, වලින් ලමයින්ට නොමිලේම අන්තර් ජාතික අධ්‍යාපනයක් ලබා ගන්න තිබ්බා.දැන් ඒ අවස්තාව මඟ හරුනා.
    සන්නස්ගල වගේම ග්‍රේරෝ ඒක හොඳින් දන්නවා .
    නමුත් මුන් දෙන්නම එකට කටවහන් හිටියා.අපි දන්න විදියට Grero , බන්දුලට කොහොම වෙතත් සන්නස්ගල ට දේශපාලන දර්ශනයක් තිබුණා .නමුත් සන්නා මේක දිය යුතුයාි කියලා කතා නොකලේ; ඇයි කියල අපි දන්නේ නෑ.
    සමහර විට ඒකෙන් ටියුෂන් වලට පහරක් වදින නිසා ද දන්නෙ නෑ .

  3. //අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් වන මෙම කෘර තරගකාරිත්වය හේතුවෙන් සිදු වී තිබෙන්නේ පාසල් අධ්‍යාපනයේ දැවැන්ත වෙළඳපොළකරණයක් සිදු වීමයි. ලංකාවේ පාසල් අධ්‍යාපනය හිර වී තිබෙන්නේ මෙවැනි දැවැන්ත වෙළඳපොළක මිස ඔය කියන ඊනියා නව ලිබරල්වාදයක නොවේ//

    ඔතන නව ලිබරල්වාදයක් ඇත්තෙම නැද්ද? නැත්නම් ඒ සාමාන්‍ය තත්වයක්ද?

    1. ලංකාවෙ පාසල් අධ්‍යාපනයට අදාළව මොන නව ලිබරල්වාදයක් ද? උපකෘත පාසල් කියන පාලක සභාවලින් පාලනය වන පාසල්වලට පවා ගුරු පඩි, පොත්, නිල ඇඳුම් රජය දෙනවා. ජාත්‍යන්තර පාසල් කියන ඒවා ලංකාවෙ සාර්ථක ව්‍යාපාර නෙමෙයි. ඒවාට රජයේ පාසල් එක්ක තරග කරන්නට හිතන්නටවත් බැහැ. ඒවා ක්‍රියාත්මක වෙන්නෙ niche මාකට් එකක විතරයි. පාසල් අධ්‍යාපනය සම්බන්ධ ගෝලීය ප්‍රාග්ධනයක් තියා තරගකාරී දේශීය ප්‍රාග්ධනයක්වත් නැහැ. මේක නව ලිබරල් බෝලයක් නෙමෙයි. එහෙම නැති මගුලක් තියෙනවා ය කියන වාමාංශිකයන් කරන්නෙ ටියුෂන් ජාවාරමට ආවරණයක් සපයන එකයි. ලංකාවෙ අධ්‍යාපනයෙ ලොකුම ගැටලුව ටියුෂන් ජාවාරම. ඒක නව ලිබරල්වාදයක් නෙමෙයි. වෙළඳපොළකරණයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *