දූෂණ දුරලීමට නිසි පියවර නොගැනීම හා දූෂිතයන් යළි බලය ඇල්ලීම

අජිත් පැරකුම් ජයසිංහ, 2018 දෙසැම්බර් 9 ලංකා පුවත්පතෙනි

මෙම ලිපිය පළ වන පුවත්පතේ දාතම වන දෙසැම්බර් 9 කියන්නේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයයි. ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය විසින් පවත්වාගෙන යන දූෂණ සංජානන දර්ශකය අනුව ලොව රටවල් හා භූමි ප්‍රදේශ 180ක් අතර කරන ලද ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව 2017 වසරේ සිටියේ 91වන ස්ථානයේ ය. කලින් අවුරුද්දේ ශ්‍රී ලංකාව සිටියේ 95වන ස්ථානයේ ය. ලබාගත් ලකුණු සංඛ්‍යාව වැඩි වී තිබෙන්නේ ලකුණු දෙකකින් පමණි. 2016 වසරේ එය 36ක් වූ අතර 2017 වසරේ 38කි.  පසුගිය අවුරුදු පහක් ඇතුළත ශ්‍රී ලංකාව ලබාගන්නා ලකුණු අතර කැපී පෙනෙන වෙනසක් සිදු වී නැත. ශ්‍රී ලංකාව දූෂණය පැත්තෙන් සලකුණු කර ඇත්තේ සුළු ප්‍ර‍ගතියක් පමණි.

දූෂණ වංචා නැති කිරීම සඳහා රටේ පවතින නීති මදි බැවින් එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය මෙරට තුළ නීතිගත කරන බවත්, ඒ ඔස්සේ දූෂණ වංචා සෙවීමට අලුත් සංවිධානයක් ස්ථාපිත කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2015 අගෝස්තු මහ මැතිවරණයට පෙර මහනුවරදී පැවැත්වුණු එක්සත් ජාතික පෙරමුණේ මංගල රැලියේදී පැවසුවා. පසුගිය රජය කළ දූෂණ වංචා පිළිබඳ පරික්ෂා කිරීමේදී විශාල ගැටලුවක් වූයේ එම පරීක්ෂණ සඳහා පුහුණුවලත් නිලධාරින් නොමැතිවීම බවත් මේ නිසා ඇතැම් මහ පරිමාණ දූෂණ පිළිබඳ පරීක්ෂණ සිදුකර ගෙන යෑමේදී ගැටලු මතුවූ බවත් ඔහු පැවසුවා.

ශ්‍රී ලංකාව වසර එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධි ප්‍රඥප්තියට අත්සන් කළ මුල් ම රටවල් අතරින් එකක්. එහෙත් 2004දී අත්සන් කරන ලද මෙම ප්‍ර‍ඥප්තියට අදාළ රෙගුලාසි මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීමට මේ දක්වා කිසිදු රජයක් ප්‍ර‍මාණවත් පරිදි කටයුතු කර නැහැ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී 156 (අැ) ව්‍යවස්ථාව මගින් මෙම ප්‍රඥප්තිය බලාත්මක කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ වුවත් එය ද මෙතෙක් ඉටුවී නැහැ. එහි මෙසේ දැක්වෙනවා. “ශ්‍රී ලංකාව පාර්ශ්වයක් වන, දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය සහ දූෂණය වැළැක්වීමට අදාළ වෙනත් යම් ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කිරීම පිණිස ගත යුතු පියවර සඳහා, විධිවිධාන සැලැස්විය යුතු ය,” යි එහි දැක්වෙනවා.

මෙය යහපාලන රජය විසින් බාගෙට ඉටු කරන ලද තවත් පොරොන්දුවක්. සරල බසින් මෙය හොරුන් ඇල්ලීම යයි හැඳින්වුණාට හොරුන් ඇල්ලීම ලෙහෙසි නැහැ. දූෂණ වළක්වන්නටත්, කරන ලද දූෂණ විමර්ශනය කරන්නටත්, ඒවාට නීතියෙන් දඬුවම් පමුණුවන්නටත්, සොරකම් කරන ලද මහජන දේපල ආපසු ලබාගැනීමටත් නීති හා ආයතන ශක්තිමත් කළ යුතුයි. 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය මෙහිදී ඉතා වැදගත් වෙනවා. ඒ අනුව, අධිකරණ සේවා, පොලිස්, රාජ්‍ය සේවා, මානව හිමිකම්, මැතිවරණ, මුල්‍ය, විගණන සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනු ලැබුවා.

පසුගිය ජුලි මාසයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ජද ජාතික විගණන පනත මෙහිදී අතිශය වැදගත් වෙනවා. ඒ අනුව ජාතික විගණන කොමිෂම පිහිටුවීමට නියමිතයි. කෙසේ වෙතත්, දීර්ඝ කාලයක් ඇදි ඇදී ගොස් අවසානයේදී සම්මත වූ ජාතික විගණන පනත මුලින් කෙටුම්පත් කරන ලද පනතට වඩා තනුක කරන ලද එකක්. එසේ තනුක වන්නට මූලික හේතුව වූයේ පරිපාලන නිලධාරීන්ගෙන් එල්ල වූ විරෝධයට දේශපාලක අනුග්‍ර‍හය ලැබීමයි. කැබිනට් මණ්ඩලය විසින් නීති කෙටුම්පත් සම්පාදකගේ පනත් කෙටුම්පත සමලෝචනයට කමිටුවක් පත්කළා. අමාත්‍ය සරත් අමුණුගම සභාපතිත්වය දැරූ එම කමිටුවේ සෙසු සාමාජිකයන් වුණේ අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා හා අමාත්‍ය රවී කරුණානායක යි. එම කමිටුව ජාතික විගණන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔවුන්ගේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ලබා දුන්නා. එහි ඔවුන්ගේ ප‍්‍රධාන නිරීක්ෂණයන් දෙකක් තිබුණා. එකක් රජයේ නිලධාරීන්ට එරෙහිව විගණකාධිපතිවරයා අධිභාර පැනවීමයි. අධිභාර පිළිබඳ පරිපාලන සේවයෙන් විශාල විරෝධයක් මතුවූ බව වාර්තාවේ සඳහන් වුණා. නඩු ඇසීමට හා දඩ ගැසීමට ද විගණකාධිපතිවරයාට ඉඩදිය නොහැකි බවද නිර්දේශ වුණා.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය අප්‍රමාදව කළ යුතුයි. විශේෂයෙන් ම කොල්ල කන ලද මෙරට ජනතාවට අයිති ‍‍‍‍දේපල ආපසු ලබා ගැනීම අතිශය වැදගත් අවශ්‍යතාවක්. දූෂණය, මත්ද්‍රව්‍ය හා අපරාධ එකිනෙකට සම්බන්ධයි. මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ද එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය සමග බැඳී කටයුතු කරන්නේ ඒ නිසායි. මෙම ප්‍රඥප්තියේ සිව්වන හා පස්වන පරිච්ඡේද අනුව, දූෂණ පරීක්ෂණවලට හා සොරකම් කරන ලද දේපල ආපසු ලබා ගැනීම සඳහා ගිවිසුමේ පාර්ශ්වකරුවන් සහයෝගය ලබා දිය යුතුයි. බැංකු රහස්‍යභාවය වැනි හේතු මත තොරතුරු ලබා දීම ප්‍රතික්‍ෂේප කළ ‍නොහැකියි. ‍එ‍පමණක් ‍නොව, දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය දෙකකදී හෝ වැඩි ගණනකදී නීතිමය පියවර ගැනීමේ අවස්ථාව ද එයින් ලැබෙනවා.

එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍ර‍ඥප්තියේ ඇපකැපවීම් 71ක් ගැන සඳහන් වෙනවා. එයින් 39ක් සාමාජික රටවල් විසින් අනිවාර්යයෙන් ම ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. එහෙත්, ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර තිබෙන්නේ එම ඇපකැපවීම් අතරින් අටක් පමණක් බව මේ පිළිබඳ අධ්‍යයනය කළ ශ්‍රී ලංකා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසනවා. දූෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයේදී ශ්‍රී ලංකාව දැක්වූ මෙම මන්දගාමිත්වයෙහි ප්‍ර‍තිඵල දැන් නෙළාගන්නට හැකි වී තිබෙනවා.

අද වන විට පැරණි දූෂකයන්, දූෂණ චෝදනාවලින් ගැලවීමේ මූලික අරමුණින් ම මේ වන විට යළි බලය ඩැහැගැනීමට උත්සාහ කරමින් සිටිනවා. එමගින් ශ්‍රී ලංකාව දරුණු අර්බුදයකට ඇද දමා හමාරයි. අද වන විට ලොව ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශක විසින් ශ්‍රී ලංකාව පහතට දමා හමාරයි. එය ශ්‍රී ලංකාවේ ණය ගැනීමේ හැකියාව මොට කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ණය දීම අවදානම් සහගත බවක් මෙමගින් කියවෙන නිසා මුල්‍ය වෙළඳපොළේදී ශ්‍රී ලංකාවට ණය ලබාගන්නට සිදුවන්නේ ඉහළ පොළී අනුපාතිකවලටයි. හැබැයි, ණය නොගෙන පවතින්නට බැරි ණය කන්දකට අප යට වී හමාරයි. ඇත්තෙන් ම අප ණය ගන්නේ ණය ගෙවන්නටයි.

වරක් එක් අප්‍රිකානු රාජ්‍ය නායකයෙක් එක්සත් ජනපද ජනාධිපතිවරයා හමුවීමට ගියා. ඔහුගේ අරමුණ වූයේ තම රටට විදේශාධාර ලබා ගැනීමයි. අතිශය දුප්පත් රටක් වූ එම රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ බිරිඳ ‍මෙම හමුවේදී පැළඳගෙන සිටි දියමන්ති මාලය වෙත එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. එවැනි දියමන්ති මාලයක් පැළඳිය හැකිව තිබුණේ එක්සත් ජනපදයේත් ඉහළ ම පෙළේ ධන කුවේරයන්ට පමණි. එම රටට ණය ලබා දීම එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා.

බලය දූෂණය ඇති කරන බව ද, අධික බලය අධික ලෙස දූෂණය ඇති කරන බව ද ප්‍රකට කියමනකි. පසුගිය කාලයේ මෙරට ඇති වූ තත්වය මේ සඳහා කදිම නිදසුනකි. යුද්ධයේ ජයග්‍රහණයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වටා ගොඩනැගුණු බලය හේතු වූයේ ඔහු, ඔහුගේ පවුල හා හිතවතුන් දැවැන්ත දූෂණ සාගරයක ගිල්වන්නට ය. තම ආණ්ඩුව කිසිදා බිඳ ‍නො වැටෙනු ඇතැයි පැවති අතාර්කික විශ්වාසය හේතුවෙන් ඔවුහු තමන්ගේ ක්‍රියාකාරකම්වල සීමාවක් පවත්වා ගැනීමට අසමත් වුණා. කිසි සේත් දූෂණවලට සම්බන්ධ වීමේ අවශ්‍යතාවක් නො තිබුණු, තම ‍‍ගෞරවය ආරක්ෂා කරගෙන රැකියාව කිරීමේ ඉඩ ප්‍රස්ථාව ඕනෑවටත් වඩා තිබුණු ‍හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශ‍යේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක වැනි ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීහු පවා දූෂණවල පැටලුණා.

රටක දූෂණ ඒ රටට අභාවයට යන්නට පාර කියන ප්‍ර‍ධාන සාධකයක්. ලංකාවේ දූෂණ පිළිබඳ කතා කරන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ දේශපාලකයන් විසින් කරනු ලබන දූෂණ කෙරෙහි පමණයි. එහෙත් දේශපාලකයන්ටත් වඩා මේ රටේ නිලධාරීන් දූෂිතයි. රජයේ සේවයේ ඉහළ සිට පහළ අඩිය දක්වාමත් දූෂිතයි. ඒ වගේ ම පෞද්ගලික අංශයත් දූෂිතයි. රජය සමග කොන්ත්‍රාත් කරන ඇතැම් ව්‍යාපාරිකයන්ගේ මූලික පදනම ම දූෂණය ඔස්සේ මහජන මුදල් ගසාකෑමයි. එයට රජයේ නිලධාරීන් ද හවුල් වෙනවා. බොහෝ ව්‍යාපාරිකයන් බදු වංචා කරනවා. ලංකාවේ වෘත්තිකයන් ද දූෂිතයි. ප්‍ර‍ධාන පෙළේ වෘත්තිකයන් පිරිසක් වන වෛද්‍යවරුන් තම සේවා කාලය සම්බන්ධ පාරදෘෂ්‍යභාවය පවත්වාගෙන යන්නට පවා කැමති නැහැ. නීතිඥවරුන් බොහෝ දෙනෙකු තම සේවා වෙනුවෙන් බිල්පතක් නිකුත් කරන්නට පවා කැමති නැහැ. බිම් මට්ටමේ ජනතාවත් සාන්ත දාන්ත තීන්ත කූඩු නෙමෙයි. ඔවුන් ද අවස්ථාව ලද හැටියේ දූෂණයට පෙළඹෙනවා. ලංකාව දූෂණ සාගරයක්. එහි නොගිලී සිටීම අතිශය දුෂ්කර කාර්යයක්.

රාජ්‍ය දේපල මංකොල්ලකෑම තවමත් මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස නිල වශයෙන් පිළිගෙන නැහැ. එහෙත් සදාචාරාත්මකව ගත් කල එය යුද අපරාධවලට වඩා බිහිසුණු අපරාධයකි. මන්ද, රටක ජන පරම්පරා ගණනාවක් ම එමගින් අර්බුදයට ලක් වන හෙයිනි. දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ දූෂණ විරෝධී අරගලයේ ඉදිරියෙන් සිටිනවා. ඇතැමෙකු ඔවුන් විවේචනය කරන්නේ ඔවුන් දූෂණ විරෝධී අරගලය මාධ්‍ය සංදර්ශනයක් කරගෙන ඇති බව පවසමිනුයි. එහි ඇති වරද කුමක් ද? දූෂණ විරෝධී අරගලය අනිවාර්යයෙන් ම මාධ්‍ය සංදර්ශනයක් විය යුතු ය. හේතුව, දූෂණ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම දූෂණ විරෝධී අරගලයේ කොටසක් වන නිසා ය. දූෂිතයන් නම් කර ලැජ්ජාවට පත් කිරීම දුෂණ වළක්වා ගැනීමේ එක් උපායක්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *