දේශපාලන පළිගැනීම්, වර්ජන හා ආණ්ඩුව

අකිල විරාජ් කාරියවසම්
අකිල විරාජ් – රැඩිකල් පියවර රැසක් ගත් අධ්‍යාපන ඇමතිවරයෙක්

ගුරු සටනක් ජයග්‍රහණයෙන් කෙළවර වීම අධ්‍යාපනය පැත්තෙන් හොඳ ය. ⁣

ගුරු සංගම්, විදුහල්පති සංගම්, පරිපාලන සංගම් එක්ව මෙවර වර්ජනය කරන්නට සූදානම් වුණේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ බව කියන 1000ක⁣ට වැඩි ගුරු පිරිසකට විදුහල්පති සේවයට හා පරිපාලන සේවයට උසස්වීම් දීමට එ⁣රෙහිව ය.

මෙසේ දේශපාලන පළිගැනීම්වලට සහන ලෙස උසස්වීම් දීම අලුත් දෙයක් නොවේ. මීට කලින් පැවති ආණ්ඩු ද එසේ කළේ ය. එක්සත් ජාතික පක්ෂයට ද තම හිතවතුන්ට, හිතවතුන්ගේ බිරියන්ට එහෙම උසස්වීම් දීම සඳහා උවමනාව තිබෙන බව පැහැදිලි ය. තමන්ගේ මිනිසුන්ට සැලකුවේ නැති ය යන චෝදනාව ඔවුන්ට ඇත.

මෙම පත්වීම් අත්හිටුවීමට කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයේ ලේකම් ධුරය දරන සමයේ ද මේ ආකාරයෙන් ම තමන්ගේ පක්ෂයේ අයට දේශපාලන පළිගැනීම්වලට සහන සැලසීමේ මුවාවෙන් උසස්වීම් දුන්නේ ය.

දේශපාලන පළිගැනීම් පැවතිණි. පසුගිය සමයේ මා දන්නා තරමින් වැඩි ම දේශපාලන පළිගැනීම් ප්‍රමාණයකට ලක් වූ ගුරුවරයා වූයේ ලංකා ගුරු සංගමයේ නායකයකු වන අනුරාධපුරයේ ප්‍රියන්ත ප්‍රනාන්දු ය. ඔහුගෙන් පළිගත්තේ ඔහු ගුරු අරගලවලට නායකත්වය දුන් නිසා ය.

දේශපාලන හේතු මත මම ද පළිගැනීමට ලක් වී ඇත්තෙමි. මහින්ද රාජපක්ෂ පාලන සමයේ 2007දී දේශපාලන හේතු මත ජීවිතයට එල්ල වූ තර්ජන නිසා මම මාස කිහිපයක් ඉන්දියාවේ ස්වයං පිටුවහලේ සිටියෙමි. ඒ සඳහා යාමට මා නිවාඩු ඉල්ලූ මුත් එය ප්‍රතික්ෂේප විය. මා ආපසු එන විට මා සේවයෙන් පහ කර හමාර ය. නැවත රැකියාව ලැබුණේ වසර තුනකට ආසන්න කාලයකට පසුව ය. වැටුප් වර්ධක දෙකක් ද අවකරණය කරන ලදී. වසර ගණනාවකට උසස්වීම් සඳහා අවස්ථාව ද අහිමි විය. එපමණක් නොව, වසර නවයක් දුෂ්කර පාසල්වල සේවය කර තිබුණු මා නැවත දුෂ්කර සේවයට මාරු කරන ලදී.

එහෙත්, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සහන ඉල්ලීම පිළිබඳ මා නම් කිසි කලෙක සිතා නැත. එසේම, එකම රැකියාව මැරෙන තෙක් කළ යුතු යයි ද මම නොසිතමි. ඒ නිසා මගේ වයස 50ක් පිරෙනවාත් සමග ම මම රැකියාවෙන් ඉවත් වුණෙමි. සම්පූර්ණයෙන් ම වෙනස් ක්ෂේත්‍රයක රැකියාවක් තුන් අවුරුද්දක් තිස්සේ කරමි.

ඔය කියන කාලයේ අපි ගුරු සංගම්වල ද ක්‍රියාකාරී වූ මුත්, අරගලකාරී ගුරුවර, ගුරුවරියන් මහ හුඟක් අපට නම් හමු වුණේ නැත. ඒ නිසා දැන් ඔය දේශපාලන පළිගැනීම් මුවාවෙන් උසස්වීම් ගන්නට යන පිරිස ගැන ඇත්තෙන් ම මට නම් සැකයක් තිබේ. එහෙත්, ඒ අතර ඇත්තට ම පළිගැනීමට ලක් වූවන් ද සිටිනවා විය හැකි ය.

කොහොම වුණත්, දේශපාලන පලිගැනීම් මුවාවෙන් බොරුවෙන්, වංචාවෙන් හා දේශපාලන හිතවත්කම මත උසස්වීම් ගන්නා ක්‍රමය අධ්‍යාපනයෙන් බැහැර කළ යුතු ය.

පසුගිය සමයේ ගුරු සංගම් විසින් කරන ලද අරගල හේතුවෙන් උසස්වීම් බොහෝ දුරට විභාග මත සිදු විය. තරග විභාග යනු උසස්වීම් සඳහා හොඳ ක්‍රමයක් නොවේ. මොන යම් ක්‍රමයකින් හෝ විභාග සමත් වන පිස්සු මරගාත විදුහල්පතිවරුන් වී පැමිණ පාසල් හා අධ්‍යාපනය කන හැටි පිළිබඳ උදාහරණ එමට ය. එහෙත්, පන්දමට වඩා එය හොඳ ය.

දුම්රිය වර්ජන සාර්ථක වන්නේ එන්ජින් ඩ්‍රයිවර්ලා, ස්ටේෂන් මාස්ටර්ලා වර්ජනය කරන විට ය. ඒ වගේ ගුරු වර්ජන සාර්ථක වන්නේ ප්‍රින්සිපල්ලා වර්ජන කරන විට ය. ප්‍රින්සිපල්ලා වර්ජනය කරන්නේ තමන්ගේ වෘත්තියට අදාළ වර්ජනවලදී විතර ම ය. ගුරු ප්‍රශ්න සම්බන්ධයෙන් ගුරු සංගම් වර්ජනය කරන විට විදුහල්පතිලා ගුරුවරුන්ටත්, විශේෂයෙන් ම ගුරුවරියන්ටත් තර්ජන කරමින් හොරිකඩකම් කරති. මේ වතාවේ විදුහල්පතිලා ගුරුවරියන්ට තර්ජනය කළේ වැඩට නො එන ලෙස ය.

මෙම වර්ජනය සංවිධානය කර තිබුණේ සිසුන්ගේ වාර විභාග කඩාකප්පල් වන පරිදි සිසුන් ඇපයට ගනිමිනි. ජනාධිපති මැදිහත් වී වර්ජනය විසඳුවේ නැතිනම් ගුරුවරුන්ට විසල් අපවාදයකට මුහුණ දෙන්නට සිදු වන්නටත් තිබිණි.

පාසල් නිවාඩුව අවසන් වීමට පෙර සිසුන්ට වාර විභාග ප්‍රතිඵල ලබා දෙන ලෙස අධ්‍යාපන දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ. ගුරුවරුන් බොහොමයක් පුරුදු වී සිටින්නේ නිවාඩු මාසයත් උත්තර පත්තර නොබලා සිට ඊළඟ වාරයේ පාසල් ආරම්භ වූ පසු උත්තර පත්‍ර බලන්නට ය. ගුරුවරුන්ගේ පැත්තෙන් වෘත්තීය ගරුත්වය පිළිබඳ බරපතල ගැටලු තිබේ. හරිහමන් පඩියක් නැතිකම නිසා ගුරුවරුන් ටියුෂන් මාරයන් වී තිබේ. ටියුෂන් මාෆියාව නිසා අධ්‍යාපනයට හා අනාගත පරපුරට වන හානියට ගුරුවරුන් සෑහෙන දුරට වගකිව යුතු ය. මේ තත්වයන් වෙනස් කරගන්නට ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නේ කවදා ද?

ගුරු අරගලය ජයගැනීම සමග මෙයත් කිව යුතු ය. මෙසේ වුණේ පවත්නා බල තුලනය නිසා ය.

සුළු හේතුවක් මත අදත් දුම්රිය සේවක පිරිසක් වර්ජනයක් කළ හ. දිගු සති අන්තයක් සඳහා ගම්බිම් බලා යන මගීන්ට හිරිහැර වන තත්වයක් ඇති කර වැඩි බලපෑමක් කිරීමේ උවමනාව ඔවුන්ට තිබිණි. අවසානයේදී කරදර සියල්ල රජයේ සේවයේ බර උර මත දරා සිටින වැඩ කරන ජනයාට ය.

නිරන්තර වර්ජන මගින් මේ පාලනය කඩාකප්පල් කරන්නට වෘත්තීය සමිති උත්සාහ කරන බව රහසක් නොවේ. ඔවුන් පසුපස ඇත්තේ රාජපක්ෂ ව්‍යාපෘතිය බව ඔවුන් නොදන්නවා ද නොවේ. රාජපක්ෂ පාලනයක් තුළ මේ අන්දමින් මුත්‍රා බරටත් වර්ජන කරන්නට ලැබේ ද යන්න අපි නොදනිමු.

අනෙක් පැත්තෙන් මෙයත් කිව යුතු ය. වත්මන් තුලනය විනාශ කරන අය විසින් අවබෝධ කර ගත යුතුව ඇති දෙයක් වන්නේ වත්මන් පාලනය යටතේ දිනා ගත් බොහෝ ජයග්‍රහණ හා රටේ පැතිර පැවති ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවට මූලික හේතුව වත්මන් බල තුලනය ම වන බවයි.

වත්මන් පාලනය බලයට පැමිණි වහාම රජයේ සේවකයන්ට රු. 10,000ක වැටුප් වැඩිවීමක් ලබා දුන්නේ ය. තමන් මහජන මුදලින් ලබන වැඩි වැටුපට ගැලපෙන අන්දමින් රජයේ සේවය කාර්යක්ෂම කිරීමට ඔවුන් කිසිවක් කළ බවක් අපට නම් නොපෙනේ. ඒ වෙනුවට අද දක්වා ම සිදු වන්නේ වැඩි වැඩියෙන් වර්ජනය කිරීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය අපහරණය කිරීම බරපතල ප්‍රතිවිපාකවලට හේතු විය හැකි ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *