පානදුර ඔර්ලෝසු කණුව, නන්දන ගුණතිලක හා දේශපාලනය

පානදුර ඔර්ලෝසු කණුව
පානදුර ඔර්ලෝසු කණුව

පානදුර නව නගරාධිපති නන්දන ගුණතිලක මහතා ෆේස්බුක්හි සටහනක් තබමින් පහත දැක්වෙන දැනුම් දීම කළේ ය:

පානදුර ඔරලෝසු කණුවේ ඔරලෝසු ක්‍රියාවිරහිත වී බොහෝ කල් ය. නගර සභා නව පාලනය හෙට විශේෂ සභා වාරයක් පවත්වා ටෙන්ඩර් කමිටුව පත් කරගැනීමට නියමිත ය. ඉන්පසු මාස 2 ආසන්න කාලයකදී එය නැවත වේලාව දක්වනු ඇත.

නන්දන ගුණතිලක නගරාධිපතිතුමා සමාජ මාධ්‍ය ඔස්සේ කරගෙන යන විවෘත කතිකාව අතිශය වැදගත්, එමෙන් ම දියුණු දේශපාලනයකි. අපි එය දැඩි ලෙස අගය කරන්නෙමු. සියලු දේශපාලකයන් ඔහු අනුගමනය කළ යුතු ය.

කෙසේ වෙතත්, මෙම ඔර්ලෝසු කණුව ක්‍රියාත්මක කරන්නට මාස දෙකක කාලයක් ගත වීම පිළිබඳ කතිකාවක් ඇති විය. එහිදී ඇතැමෙකු පෙන්වා දුන්නේ රාජ්‍ය සේවයේ පටිපාටි අනුව එවැනි ප්‍රමාදයන් වළක්වා ගත නොහැකි බවයි.

ආයතන රෙගුලාසි, මුල්‍ය රෙගුලාසි අනුව කටයුතු කරමින් පවා එය කෙටි කාලයකින් කළ හැකි බව රාජ්‍ය සේවාවේ සිටින ඇතැමෙක් පෙන්වා දුන් හ.

එසේ කළ හැකි තත්වයට රාජ්‍ය සේවය ගෙන ඒම කළ නො හැක්කක් නොවේ. එහෙත්, නන්දන ගුණතිලකගේ හෝ ඔහුට උපදෙස් දෙන අයගේ පෞද්ගලික දක්ෂතාවලින් පමණක් එසේ කළ නොහැකි ය. එසේ කරන්නට රජයේ සේවකයන්ගේ දැනුමේ, කුසලතාවන්ගේ හා විශේෂයෙන් ආකල්පවල දැවැන්ත සංවර්ධනයක් ඇති කළ යුතු ය.

එසේ කිරීමට වැඩ කිරීම නන්දන ගුණතිලක වැනි දේශපාලකයන්ගෙන් අප බලාපොරොත්තු වන දෙයයි.

පානදුර ඔර්ලෝසු කණුවේ දේශපාලනික වැදගත්කම අප විශේෂයෙන් ඉස්මතු කරන්නේ එහෙයිනි.

ලංකාවේ පළාත් පාලන ආයතන බොහොමයකට ඔර්ලෝසු කණුවක් නඩත්තු කර ගන්නට බැරි ඇයි? රජයේ බොහෝ ආයතනවලට ගිහින් බැලූ විට ඒ ආයතනවලට මෙවැනි සුළු දේවල් රැසක් නඩත්තු කර ගැනීමට බැරි වී ඇති හැටි දැකිය හැකි ය.

එහෙත්, මේ දේවල් වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් කී දෙනෙකු මහජන මුදලින් වැටුප් ගන්නවා ද?

රජය සම්බන්ධයෙන් අප විසින් මතු කර පෙන්වනු ලබන කාරණයක් නැවත අවධාරණය කරන්නට මෙය කදිම උදාහරණයකි. පානදුර නගර සභාවට මේ ඔර්ලෝසු කණුවට වඩා වැදගත් දෙයක් ඇත.

නගර සභාවට තියෙන ප්‍රධාන කාර්යය ඒ හා සම්බන්ධ දේශපාලකයන් හා නිලධාරීන් නඩත්තු කිරීම ය. අනෙකුත් සියලු රාජ්‍ය ආයතන ද කරන්නේ එයයි. මහජන සේවය ඇත්තේ ඉන් පසුව ය. මෙය සමස්ත රජය සම්බන්ධයෙන් ම ජනතාවට කිව යුතු තිත්ත ඇත්ත ය. ඒ ගැන ජනතාව සංවේදී කිරීම මේ මොහොතේ වැදගත් ම දේශපාලන කාර්යයයි.

රජයේ ප්‍රධාන කාර්යය ආණ්ඩුවේ දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් නඩත්තු කිරීම මිස මහජන සේවය නොවේ. එහෙත්, මේ දැවැන්ත, අකාර්යක්ෂම රජය නඩත්තු කරන්නට අධික ලෙස බදු ගෙවන්නට සිදුවීම හා අනාගත පරම්පරා පවා උගස් තබමින් ණය ගැනීමත්, ඒ ණය පොළියත් සමග ගෙවීමට සිදුවීමත් මේ රටේ ජනතාව පිට කඩා වැටී තිබෙන කරුමයයි.

ජනතාව මෙය පැහැදිලිව තේරුම් ගත යුතු ය. අප අද මුහුණ දෙන කාලකණ්ණි ඉරණමට හේතුව රජයයි. ජනතා විමුක්තිය ඇත්තේ මේ රජය වෙනස් කිරීම තුළ ය. අප කළ යුතු, අපට කළ හැකි විප්ලවය එයයි. ඒ වෙනුවෙන් අප හැමට ම වගකීමක්, කාර්යභාරයක් තිබේ. මේ රජය ඉහළ සිට පහළට ම අඛණ්ඩව හා දැඩිව ප්‍රශ්න කළ යුතු ය.

මේ ලිපිත් කියවන්න:

මාක්ස්වාදීන්ගේ අප්සෙට් පන්ති විග්‍රහය තුළින් ම සිස්ටම් එක තේරුම් ගැනීම

අපට තිබෙන ආර්ථික ප්‍රශ්නය මොකක් ද?

ඔබ ලක්ෂ හතරකට වඩා ණයගැතියකු බවට පත් කළේ කවුරු ද?

Please follow and like us:

One thought on “පානදුර ඔර්ලෝසු කණුව, නන්දන ගුණතිලක හා දේශපාලනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *