නැවත මැතිවරණ පැවැත්වීමේ ජවිපෙ ප්‍රතිගාමී ඉල්ලීම හා කැබිනට් සංශෝධනය

ලාල් කාන්ත
ලාල් කාන්ත

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන්නැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වන ලාල් කාන්ත පැවසී ය. ලාල් කාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජවිපෙට හිමි වූ ජාතික ලැයිස්තු ආසන දෙක සඳහා නම් කිරීමේදී ලාල් කාන්ත ද ඒ සඳහා අභිප්‍රාය පළ කළ මුත් පක්ෂය විසින් තෝරා පත් කරනු ලැබුවේ පරාජිත අපේක්ෂකයකු වූ සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායකයි.

බිමල් රත්නායකව පත් කරනු ලැබුවේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද මන්ත්‍රීවරයකු වූ හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ ඉවත් කරමිනි. ජවිපෙ 2015 මහ මැතිවරණයට තරග කළේ එවැනි ජවිපෙ නොවන සිවිල් සමාජ නායකයන් පාර්ලිමේන්තුවට පත් කරනු ඇති බව ප්‍රවර්ධනය කරමිනි. එහෙත්, ජවිපෙ අපේක්ෂා කළ තරම් ඡන්ද නොලැබුණ බැවින් ජවිපෙ නායකයන් පාර්ලිමේන්තුවට පත් කර ගැනීම සඳහා ජාතික ලැයිස්තුවෙන් සරත් මායාදුන්නේ, උපුල් කුමාරප්පෙරුම වැනි වෘත්තිකයන් පත් වීම වළක්වන ලදී.

මහ මැතිවරණයක් පවත්වන්නැයි ලාල් කාන්ත කරන ඉල්ලීම පසුපස ජවිපෙ මෙවැනි අභ්‍යන්තර දේශපාලනයන් තිබෙන නිසා එය බැරෑරුම්ව සැලකිය යුතු නැත. එහෙත්, ආණ්ඩු පත් කරමින්, පත් කළ දා සිට එය පෙරළීම සඳහා ද වැඩ කරන ජවිපෙ දේශපාලනයේ මෙම සටන් පාඨය මහජනයා පැත්තෙන් හරියට වටහා ගත යුතු ය.

නැවත මහ මැතිවරණයක් පැවැත්වීමට පමණක් මහජන මුදලින් රු. බිලියන තුනක් පමණ වැය වේ. එමෙන් සිය ගුණයකටත් වඩා මුදල් ප්‍රචාරණය සඳහා වැය වේ. මහ මැතිවරණය නිසා මිනිසුන්ගේ දෛනික ජීවිතවලට වන බලපෑම හේතුවෙන් ආර්ථිකයේ ඵලදායී පාර්ශ්වයන්ට ද හානි සිදු වේ.

අවසානයේදී මේ සියල්ලේ ම බර දරන්නට සිදු වන්නේ මේ රටේ වැඩ කරන ජනතාවටයි. ඒ නිසා නැවත මහ මැතිවරණයක් පැවැත්වීමේ ජවිපෙ ප්‍රතිගාමී ඉල්ලීමට ජනතාව එකහෙළා විරුද්ධ විය යුතු ය. බලයට පත් වුණ එවුන් ඒ නියමිත කාල සීමාව තුළ රට පාලනය කරනවා විනා, නැවත නැවත මැතිවරණ පවත්වමින් තව තවත් මහජන මුදල් නාස්ති කිරීමට ඉඩ නොදිය යුතු ය.

අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් විශ්වාසය භංග වී ඇති බව ප්‍රකාශ කළ ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා සිය තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ. එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කොටසක් ද සමග එක්ව ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව නිර්මානය වී තිබේ.

ඉල්ලා අස් වී තිබෙන පිරිස අතර සුසිල් ප්‍රේම ජයන්ත, ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන, ලක්ෂ්මන් යාපා, ජෝන් සෙනෙවිරත්න, සුසන්ත පුංචිනිලමේ, එස්.බී. දිසානායක වැනි නොම්මර එකේ දෙපිටකාට්ටු, තක්කඩි, මුග්ධ, කඩාකප්පල්කාරීන් පිරිසක් සිටිති. ඔවුන් ආණ්ඩුවෙන් දුරු වීම ඇත්තට ම රටට යහපතකි.

විශ්වාස භංගය හේතුවෙන් අගමැතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය නීතිමය වශයෙන් තහවුරු විය. එහෙත්, එකී නීතිමය විශ්වාසය අධි තක්සේරු කර ගත යුතු නැත. ඔහු සම්බන්ධයෙන් එවැනි මහ ලොකු විශ්වාසයක් රටේ නැත. තිබෙන්නේ අනෙක් එවුන්ගේ නරකට හා අසාර්ථකත්වයට සාපේක්ෂව කිසියම් සුබවාදී හැඟීමක් පමණි. එවන් සංදර්භයක් තුළ ඔහුගේ වගකීම වන්නේ එම හැඟීම සුරැකෙන පරිදි ඉදිරි වසර දෙක තුළ ආණ්ඩුව පවත්වාගෙන යමින් හැකි උපරිමයෙන් වැඩ කිරීමට උත්සාහ කිරීමයි. එජාප විසින් අරමුණු කරනු ලබන දේශපාලන, ආර්ථික, සමාජ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු ය. බාධක මතු වනු ඇත.

ආණ්ඩුව ඇතුළේ සිටි කඩාකප්පල්කාරීන්ගෙන් කොටසක් පිටතට විසි වී තිබෙන මුත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැනි කඩාකප්පල්කාරී නායකයන් තවමත් ආණ්ඩුව ඇතුළේ ම සිටින සංදර්භය තුළ අභියෝග රැසක් මතු වනු ඇත. එහෙත්, කළ යුතු දේ නො සැලී කරන්නට එජාප නායකත්වයට කොන්ද තිබේ නම්, 2020 වන විට තත්වයන් වෙනස් කරන්නට බැරිකමක් නැත.

Please follow and like us:

4 thoughts on “නැවත මැතිවරණ පැවැත්වීමේ ජවිපෙ ප්‍රතිගාමී ඉල්ලීම හා කැබිනට් සංශෝධනය

  1. ඇයි ඕකට මහ ඡන්දය නොකියා මැතිවරණය කියන්නේ?
    ඒක පරාජිත කතාවක්. ඕකුන්ට ඇයි මැති කියන්නේ?
    මහ ඡන්දයට මහ ඡන්දය කියමු! නැති නම් තේරීම (ඉලෙක්‍ෂන්) කියමු!

    1. ඡන්ද කල් දාන්නට ඕනැ නැහැ. නිසි කලට ඡන්ද පවත්වනු! එච්චරයි. හැමදාම ඡන්ද මගුල් කාටද ඕනැ? එදා වේල සඳහා නිව්ස් හොයන මාධ්‍යකාරයොයි, උන්ගෙ මාධ්‍යයි, ප්‍රෙස්කාරයොයි, හැන්දෑවට පිං අඩියක් ගහන්නට කැමති නිකමොයි නම් කැමති වෙයි.

  2. ආන්ඩුවට මැතිවරණයක් දිනීමට අවශ්‍යනම් මේ අවස්ථාවේ කළ යුත්තේ මුලු වැර යොදා මධ්‍යම අධිවේගයේ වැඩ අවසාන කිරීමයි. ඊට හේතු නම්,
    1.මහින්ද රාජපක්ෂ වැඩ කළා යැයි කියන්නට තිබෙන, ජනතාවට ඇගට දැනුනු සෘජු ප්‍රතිලාභයක් ලැබුණු එකම ව්‍යාපෘතිය අධිවේග මාර්ග වේ. වරායවල්, ගුවන්තොටුපල, සම්මන්ත්‍රණ ශාලා දකුණේ හැදුවට දකුණෙ මිනිස්සුන්ට ඔහු කළ විශාලම සහ වැදගත් ම සන්වර්ධනය අධිවේගි මර්ගය වේ. අදටත් මහින්ද රාජපක්ෂ සන්වර්ධනය කළා කියා කිසිවෙකු කියන්නේ නම් අධිවේගි මාර්ග ඔහුගෙ හිතේ ඇති පළමු කාරණය වේ.
    2. දක්ෂින අධිවේගි මාර්ගයෙන් ප්‍රථිලාබ ලබන්නේ කොළබ කලුතර ගාල්ල මාතර හම්බන්තොට ජනතාව වන අතර මධ්‍යම අධිවේගයෙන් කොළබ ගම්පහ කෑගල්ල, මහනුවර, මාතලේ කුරුණාගල ප්‍රදේශ වල ජනතාව සෘජුවත් පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව අම්පාර නුවරඑළිය , බදුල්ල ආදි ජනතාවත් ප්‍රථිලාභ ලබති. විෂේෂයෙන් ගම්පහ කුරුණෑගල, මහනුවර නුවරඑළිය මඩකලපුව අම්පාර වැනි දිස්ත්‍රික්ක විශාල ජනගහනයක් ඇති දිස්ත්‍රික්ක වේ. මහින්ද රාජපක්ශ දකුණට කළ සේවයට හා සමාන සේවයක් මධ්‍යම අධිවෙගයෙන් මෙම ප්‍රදේශ වලට සිදු වන අතර මෙම ප්‍රදේශවලින් ආණ්ඩුවට ලැබෙන චන්ද ප්‍රතිශථය ඉහළ යාමට එය හේතුවක් වනු ඇත. මේ ප්‍රදෙශවල චන්ද ප්‍රතිශතය ඉහළ යාම සමස්ථ චන්ද ප්‍රතිපලයට වාසිදායක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *