මාක්ස්වාදීන්ගේ අප්සෙට් පන්ති විග්‍රහය තුළින් ම සිස්ටම් එක තේරුම් ගැනීම

මාක්ස්වාදී ආගම යනු යථාර්ථයෙන් ප්‍ර‍බන්ධයට පළා යාමට ගංජා සුරුට්ටුවකි.
මාක්ස්වාදී ආගම යනු යථාර්ථයෙන් ප්‍ර‍බන්ධයට පළා යාමට ගංජා සුරුට්ටුවකි.

ලංකාවේ රජයේ සේවකයන් ලක්ෂ 14කට වැඩියි. විශ්‍රාමිකයන් ලක්ෂ පහකට වැඩියි. ඔය ලංවිම, තෙල් සංස්ථාව,ඉංජිනේරු සංස්ථාව වගේ මහජන මුදලින් හෝ මහජනයා සූරා කන වෙළඳපොළ කතිපයාධිකාරයන් හෝ ඒකාධිකාරයන් මගින් හෝ පැවැත්ම රැක ගන්නා රාජ්‍ය ව්‍යවසායන් එක්ක ගත්තාම ලංකාවේ ජනගහනයෙන් 10%ක් විතර රජයෙන් යැපෙන්නෝයි. ඔවුන්ගේ කලත්‍රයන්, පවුල් එක්ක ගත්තාම ලංකාවේ ජනගහනයෙන් 20%ක්වත් රජයෙන් යැපෙන අය.

ඔවුන්ගේ යැපුම් මාර්ගය වන රජය නඩත්තු කරන්නට තමයි මහජනතාවගෙන් මේ තරම් බදු අය කරන්නේ සහ මේ තරම් රජය ණය වන්නේ. රජයේ ණය ගෙවන්නට තමයි ආදායමෙන් 90%ක් විතර වැය වෙන්නෙ. රජය වෙනුවෙන් මේ වන විට ලංකාවේ ලොකු කුඩා සෑම පුරවැසියෙකු ම රුපියල් ලක්ෂ පහකට වඩා ණයයි. වැඩි විස්තර මෙතන

එතකොට මේ රජය කරන වැඩේ මොකක් ද? මේ තරම් අධික වියදමක් දරමින් අප මේ රජය පවත්වා ගත යුත්තෙ කුමට ද?

අපි කියන්නෙ රජය කරන ප්‍රධාන කාර්යය තමයි මේ රාජ්‍ය මූලික මධ්‍යම පංතියට වැටුප්, වරදාන දෙන එක. හැබැයි, කියන්නෙ වෙනින් කතාවක්. කියන්නෙ රජය පවතින්නෙ මහජන සේවය වෙනුවෙන් ය කියායි. වෙන රටවල රජය සම්බන්ධයෙන් ඒ කාරණාව ඇත්ත වෙන්නට පුළුවන්. ලංකාව සම්බන්ධයෙන් එහෙම නැහැ. ලංකාවෙ රජය කරන මූලික දේ රජයෙන් යැපෙන මේ මධ්‍යම පන්තිය නඩත්තු කරන එක හා විවිධ වරප්‍ර‍සාද ඔස්සේ ඔවුන් තුටු පහටු කරන එක. එහෙමත් නැතිනම් රජය ජනතාවගෙන් සූරා ගන්නා බදු හා මහජනතාව වෙනුවෙන් ය කියා අරගන්නා ණයවල හොඳම කොටස මේ පන්තියට දෙන එක.

ඒක සාධාරණීකරණය කර ගන්නට හෝ අාවරණය කර ගන්නට හෝ මහජනයාට සේවාවනුත් සපයනවා. අපි උදාහරණයක් ගත්තොත්, රජයේ විශ්වවිද්‍යාලවලින් කරන ප්‍රධාන කාර්යය තමයි, අධ්‍යයන, අනධ්‍යයන සේවකයන්ට වැටුප් සහ විදේශ අධ්‍යාපනය, චාරිකා, තීරු බදු රහිත කාර් වැනි වරප්‍රසාද දීම. ඒක තමයි ප්‍ර‍ධාන වැඩේ. ඒක සාධාරණීකරණය කර ගත හැකි මට්ටමට මේ ආයතන විසින් අධ්‍යාපනයත් ලබා දෙනවා. හැබැයි, ඒක ඉතා ම බාල තත්වයේ අධ්‍යාපනයක්. බොහෝ විශ්වවිද්‍යාල සිසුන් උපාධිය සපුරා පිට වෙනකොට ඔවුන් වෘත්තියකට සූදානම් තත්වයක් හෝ නැහැ. මේ තත්වය විශේෂයෙන් කලා පීඨවල දැකිය හැකියි. අවසානයේදී මේ උපාධිධාරීන්ට කිසිම පලක්, ප්‍රයෝජනයක් නැති තනතුරු දීලා පිංපඩි ගෙවීමත් පැවරෙන්නෙ මහජනතාවට ම තමයි.

ලංකාවෙ ධනවාදය තුළ වැඩ කරන ජනයා වගේ ම, ව්‍යවසායකයිනුත් පීඩිත පිරිසක්. ව්‍යවසායකයන් පීඩිත පිරිසක් ය කියන එක වාමාංශිකයන්ට වහකදුරු වගේ කතාවක්. හැබැයි, ලංකාවේ ආරම්භක ව්‍යවසායක් කරන්නට උත්සාහ කරන කවුරුත් දන්නවා, රජයේ නිලධාරීන් කොයි තරම් පීඩාවක් ඇති කරනවා ද කියන එක.

ලංකාවේ ධනේශ්වර ක්‍රමයේ ප්‍රධාන ම සූරාකෑම වන්නේ රාජ්‍ය බදු හා ණයයි. එයින් වැඩි ම ප්‍රතිලාභ ලබන්නේ වෙන කවුරුවත් නෙමෙයි රජයෙන් යැපෙන දේශපාලකයන්ගේ සිට රජයේ සේවකයන් දක්වා විහිදෙන මේ මධ්‍යම පන්තියයි. ලංකාවේ ජනතාවට වැඩි මිළට පෙට්‍ර‍ල් ගන්නට සිදු වන්නේත්, අධික බදු ගෙවන්නට සිදු වන්නේත්, අනාගත පරම්පරා පවා ණය වී ඇත්තේත් මේ රජය නඩත්තු කිරීම වෙනුවෙනි. ලංකාවේ සමාජ ක්‍රමය වෙනස් කිරීම යනු මෙම මධ්‍යම පංතිය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් තොරව කළ හැක්කක් නෙමෙයි. ලංකාවේ ප්‍රශ්නය මේ මධ්‍යම පංතියයි.

මේ ඇත්ත වසන්නට ලංකාවේ වම ඉතිහාසයක් පුරා බොරු කිව්වා. ධනපති පන්තිය විසින් කරනු ලබන සූරාකෑමක් ගැන, ධනපති පන්තියට එරෙහි විප්ලවයක් ගැන ප්‍රබන්ධයක් ගෙතුවා. එහෙම මගුලක් ලංකාවේ නැහැ. ලංකාවෙ තියෙන මගුල තමයි මේ දැවැන්ත ප්‍රෝඩාකාරී රජය හා එයින් යැපෙන මධ්‍යම පන්තියේ සූරාකෑම. ඇස් පනා පිට තියෙන මේ දේ නො දකින දෘෂ්ටිවාදී පොට්ටකම තමයි ලංකාවේ ජනතාවගේ ප්‍රශ්නය. ඒ තත්වය නිර්මානය කිරීමේ පංතිමය වගකීම තමයි ඔය වාමාංශික ගොබ්බයන් කරන්නේ.

ලංකාවේ ජන විඥානය, සංස්කෘතිය, දේශපාලනය හසුරුවන ප්‍රධාන ම අධිපති බලවේගය තමයි මේ මධ්‍යම පන්තිය. ලංකාවේ ධනපති ය කියන දේශපාලන පක්ෂත් අඩු වැඩි වශයෙන් මධ්‍යම පන්තිකයි. ඒ වගේ ම ලංකාවේ විප්ලවවාදී ය කියන පක්ෂ ඇත්තෙන් ම පදනම් වෙන්නෙ පහළ මධ්‍යම පන්තිය මත මිස කම්කරු පන්තියක නෙමෙයි. ඇත්තට ම වැඩ කරන ජනයා සමග ඔවුන්ට කිසිදු පන්තිමය දේශපාලනික සම්බන්ධයක් නැහැ.

ලංකාවෙ ඇත්ත වැඩ කරන ජනයාටත් තමන්ගේ ම වූ කම්කරු පන්තික විඥානයකුත් නැහැ. ඔවුන් ද සිර වී ඉන්නෙ පහළ මධ්‍යම පන්තික පරමාදර්ශයන් තුළයි. කොටින් ම වැඩ කරන ජනයාට විමුක්තිය ඇත්තේ මධ්‍යම පන්තියට පිවිසීම තුළ ය කියලායි ඔවුන්ට කියා දී තිබෙන්නේ. විප්ලවවාදී පක්ෂ කියන්නෙ සියලු දේපල, කර්මාන්ත, සේවා, වෙළඳපොළ රජයට පවරාගෙන සියල්ලන් රජයේ සේවකයන් බවට පත් කළ විට විමුක්තිය සැලසෙනවා ය වගේ අදහසක්.

ගතානුගතික වාමාංශිකයන් හා රැඩිකල්වාදීන්ට වෙලා තිබෙන ප්‍රශ්නය තමයි, ඔවුන් ජීවත් වන මේ ධනපති ක්‍ර‍මයේ කතාවේ රියලිටි වැඩසටහන තේරුම් ගන්නට බැරිකම, තේරුණත් ඒ රියලිටි ප්‍රෝගෑම් එකෙන් ගැලවෙන්නට බැරිකම හා උවමනාවක් නැතිකම. ඒක තේරුම් ගන්නට බැරි ඒක මහා ආඛ්‍යානයක් නිසායි. හැමෝ ම ඉන්නෙ ඒක ඇතුළෙ. හරියට අර නිනෝ ලයිව් චිත්‍ර‍පටයෙ නිනෝගෙ ජීවිතය රියැලිටි වැඩසටහනක ස්ටුඩියෝ එකක් ඇතුළෙ ගොඩනැගෙනවා වගේ. හැබැයි මේ තේරුම් නො ගැනීම එක පැත්තකින් පන්ති ගතිය.

මේ පසුබිමේ ඉඳගෙන නිනෝ ලයිව් චිත්‍ර‍පටය ගැන නැවත කතා කළ යුතුයි කියා හිතෙනවා. ඒ ගැන මං කලිනුත් ලිව්වා. ඒ ලිපිය නැවත සංස්කරණය කර පළ කරන්නම්.

Please follow and like us:

2 thoughts on “මාක්ස්වාදීන්ගේ අප්සෙට් පන්ති විග්‍රහය තුළින් ම සිස්ටම් එක තේරුම් ගැනීම

  1. Quite agree with you.In other countries at least you get a social security system for the tax you paid after retirement. In Sri Lanka government tries to tax on senior citizens bank accounts also which is presently tax free. How can people correct the system?

  2. මගේ අදහස නම් සමාජවාදය ලංකවේ නෙවෙයි ලෝකේ කොහෙවත් උපද්දවන්න බැහැ. මාක්ස් සමාජවාදය අවශ්‍ය බව දුටුවේ 1800 ගණන්වල යුරෝපයේ ඇමරිකාවේ කම්කරුවන්ගෙන් වහල්ලු සේ වැඩ ගැනීම නිසායි. පාලකයනට එරහිව ඔවුන් සංවිධානය කොට බලය ලබා ගැනීමෙන් මිස වෙන කම්කරුවනට එම වහල් කමින් මිදීමට වෙනත් මගක් නැති බවට මාක්ස් නිගමනය කිරීම සාධාරණයි . ඒ සඳහා සැලකිය යුතු කම්කරුවන් සංඛ්‍යාවක් සුදානමින් සිටියා .
    නමුත් ඉකුත් සියවස තුළ ඇමරිකාවේ සහ යුරෝපයේ සහ බොහෝ විට අනෙකුත් මහ්ද්වීපවලත් කමකරුවන්ගේ ජීවන තත්වයේ විශාල වෙනසක් දැකිය හැකියි . වැඩකරන මිනිසුන් තව දුරටත් වහලුන් ලෙස සේවය කලයුතු නැහැ බොහෝ විට පැය 8 සේවා මුරයක් ඔවුන්ට ලැබී තිබෙනවා එබැවින් ඔවුන් තම ජීවන තත්වය තව දුරටත් දියුණු කරගැනීම සඳහා විප්ලව නොව ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා
    ලංකාව වැනි රටක රාජ්‍ය සේවකයන්ද එලෙසමයි .
    නමුත් ලෝකයේ බොහෝ රටවල මෙන්ම ලංකාවේද අධික සුරකාමට පාත්‍ර වී සිටින කම්කරු පන්තියක් සිටිනවා ඒ පුද්ගලික අංශයේයි .ඉතා අඩු වැටුපක් ඔවුන්ට ලැබෙන්නේ . නිවාඩු පවා නැහැ විවේකයකින් තොරව වැඩි පැය ගණන් වැඩ කරන්නට සිදුවී තිබෙනවා . සේවා සුරක්ෂිත භාවයක් නැහැ .
    ආණ්ඩුවක වගකීම වන්නේ ඔවුන්ගේ එම ප්‍රශ්නවලට විසඳුම් දීමයි .නමුත් කිසිදු ආණ්ඩුවක් ඔවුන් දෙස ප්‍රමාණවත් ලෙස බලා විසඳුම් දී නැහැ
    ඇතැම් විටෙක සමාජවාදය විසඳුම ලෙස ඔවුන්ගෙන් සමහරෙකු දකිනවා විය හැකියි.
    රැකියා සුරක්ෂිතත්වය තිබේනම් , EPF, ETF, විශ්‍රාම වැටුප් තිබේනම් සවුඛ්‍ය රක්ෂණ තිබේනම් , අතිකාල ලැබේනම් , ණය පහසුකම් ලැබේ නම් සමාජවාදය නොව පවතින සමාජ ක්‍රමය තව දුරටත් ආරක්ෂා කරගැනීමට ඔවුන් කැප වෙනු ඇති ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *