පරිප්පු කන්නට සැරසෙන ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අපේ විප්ලවීය මෙව්වා එක!

මාක්ස්වාදී ආගම යනු යථාර්ථයෙන් ප්‍ර‍බන්ධයට පළා යාමට ගංජා සුරුට්ටුවකි.

“වැඩ වර්ජන කරන පළියට පඩි වැඩිවීම් දෙන්න බැහැ. මේක මහ කොන්ද පණ නැති ආණ්‌ඩුවක්‌. මෙහෙම පඩි වැඩිවීම් කරන්න ගියොත් හැමෝම වර්ජන කරයි. වර්ජන කරනවට බයෙන් පඩි වැඩි කරන්න බැහැ,” යි මංගල සමරවීර මහතා බරපතල දෝෂාරෝපණයක් කළේ පසුගිය කැබිනට් රැස්වීමකදී ය.

1980 ජුලි වැඩ වර්ජනයේ අත්දැකීම් පිළිබඳ කතා කරන සාකච්ඡාවක් ඊයේ සවස 4.30ට නව සමසමාජ පක්ෂයේ මෙහෙයවීමෙන් මහජන පුස්තකාලයේ පැවැත්වෙන බව දැනගන්නට ලැබිණි.

1980 ජුලි වැඩ වර්ජනයට සහභාගි වූ සේවකයන්ගෙන් බහුතරය දැන් විශ්‍රාම ගොස් හමාර ය. අද වන විට රැකියාවල නිරතව සිටින අය 1980 ජුලි වැඩ වර්ජනය පිළිබඳ දන්නේ නැත.

එය පුරාවෘත්තයක් ලෙස ඉතිහාසගත වී තිබෙන නමුත් 80 වැඩ වර්ජනය, එය මර්දනය කිරීම හා 40,000ක් සේවකයන්ට රැකියා අහිමි වීම පසුබිමේ තිබුණේ බරපතල දේශපාලන අපරිණතබවක කතාවකි.

ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති බලතල සහිත ඒකාධිපති ක්‍ර‍මයක් ස්ථාපිත කරගත්තේ නැගෙනහිර ආසියාවේ මෙන් ජනප්‍රිය ඒකාධිපතියකුගේ දැඩි පාලනය තුළ ආර්ථිකයේ වේගවත් සංවර්ධනයක් හරහා පිම්මක් පැනීමේ බලාපොරොත්තුවෙනි. ධනවාදී පාලකයකු ලෙස ඔහු දුටුවේ ඒ වන විට ලංකාවේ ගොඩනැගී තිබුණු දැවැන්ත රාජ්‍ය අංශය වෙනුවට පෞද්ගලික අංශය ඉදිරියට ගත යුතු බවයි. ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා කම්කරු නීති ලිහිල් කරන්නට හා වෘත්තීය සමිතිවල රැඩිකල් දේශපාලනය පසුබස්වන්නට ද ඔහුට ඕනෑ වී තිබිණි.

1980 ජුලි වැඩ වර්ජන තීන්දුව බුද්ධිමත් ලෙස එළඹුණු, තොරතුරු මත පදනම් වූ තීරණයක් නොවේ. එසේම එය ප්‍ර‍ජාතාන්ත්‍රික අයුරින් ගන්නා ලද තීරණයක් ද නොවේ. ජුනි මාසයේ කම්කරු පෙළපාලියකට පොලිසිය පහර දීමෙන් කම්කරුවකු මියයාම, ඒ කම්කරුවාගේ අවමංගල්‍යයට සහභාගි වීමට අවිධිමත් අන්දමින් සේවා ස්ථානයෙන් පිට වූ දුම්රිය සේවක පිරිසකට එරෙහිව විනය පියවර ගැනීම, පැරණි වමේ පක්ෂවල දේශපාලන අපේක්ෂා භංගත්වය, අලුතෙන් නැගී එමින් සිටි ජවිපෙ සමග තරගකාරිත්වය සමග එකතු වූ සුපුරුදු වගකීම් විරහිතබව සමග වෘත්තීය සමිති නායකයන් ඇත්තට ම කළේ ජේ.ආර්.ට ඒ මොහොතේ අවශ්‍යව තිබුණු දෙයකට පාර කපා දීමයි.

අකාර්යක්ෂම රාජ්‍ය අංශයේ හා ඒ වන විට රජයේ ආයතන පරිද්දෙන් ම පිරිහෙමින් තිබුණු යටත් විජිත යුගයේ සිට පැවතෙන පැරණි සමාගම්වල වෘත්තීය සමිතිවලට පාඩමක් උගන්වා, තද පාලකයකු හා ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් දැඩි පියවර ගන්නට පසු නොබසින්නකු ලෙස දේශීය හා විදේශීය ධනේශ්වර ආයෝජකයන් ඉදිරියේ ප්‍ර‍තිරූපය නංවා ගන්නට ජේ.ආර්. ජයවර්ධනට අවශ්‍ය විය.

එකිනෙකා අතර කුළල් කාගනිමින් සිටි වෘත්තීය සමිති හා වමේ පක්ෂ ජේ.ආර්.ගේ අතට ම උඩ පන්දුවක් දුන්නේ ය.

දැන් 1980 වැඩ වර්ජනය ගැන මහත් අභිමානයෙන් කතා කළාට, සටන පාවාදුන්නැයි ජවිපෙට බැන්නාට ඇත්තට ම සිදු වූයේ සම්ප්‍ර‍දායික ලිබරල් වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපාරයේ අවසානය සලකුණු වීමයි.

අද වන විට තත්වය ඉතා පැහැදිලි ය. මේ වන විට වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඉදිරියෙන් සිටින්නේ රෝගීන් බිල්ලට දී ඕනෑම කෑදර ඉල්ලීමක් වෙනුවෙන් කේවෙල් කිරීමට සූදානම් ධනවාදී ආන්තික වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි සමිති ය. වාමාංශික පතාක යෝධයන් යයි තමන් ගැන සිතා සිටින නායකයෝ ද මේ ප්‍ර‍තිගාමී ධනවාදී බඩගෝස්තරවාදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුපස වැටෙන හැටි හිරිකිත ය.

අද වන විට වෘත්තීය සමිති පමණක් නොව වමේ පක්ෂ ද දේශපාලනිකව ඉතා අපරිණත ය. ඒ තරමට ම අන්තවාදී ය. ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී ය. පෞද්ගලික අංශයේ සේවකයන් අද වන විට සම්ප්‍ර‍දායික වෘත්තීය සමිති ව්‍යාපාරය මුළුමනින් ම පිළිකෙව් කර තිබේ. උදාහරණයක් ලෙස මාධ්‍යකරුවන් අතර වෘත්තීය සමිති සම්බන්ධයෙන් තිබෙන ආකල්ප අධ්‍යයනය කර බලන්න. මාධ්‍යකරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් තත්වය ඉතා පහත් ය. එහෙත්, ඔවුන් වෘත්තීය සමිති ගැන කිසිදු බලාපොරෛාත්තුවක් තබා ඇති බවක් නොපෙනේ.

අද වන විට වෘත්තීය සමිති ව්‍යාපාරය යයි කියන්නේ රජයේ සේවක වෘත්තීය සමිති ය. ඒවා කම්කරු සමිති නොව මධ්‍යම පන්තික සමිති ය. ඇතැම් සමිතිවල නිලධාරීන් හා සාමාජිකයන් තමන් කම්කරුවන් ය කියනවාට කැමති ද නැත. පන්තිය ප්‍ර‍කට කිරීම සඳහා ටයි පටියට වන්දනාමාන කරන වෘත්තීය සමිති නායකයෝ ද සිටිති. සමස්තයක් ලෙස, එදා මෙන් නොව, අද වන විට වෘත්තීය සමිති වාමාංශික යයි වරදවා වටහා ගත යුතු නැත. ඒවා පරමාදර්ශ කරගෙන තිබෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආන්තික කේවල් කිරීම මිස සමාජවාදී කම්කරු සංගම් සම්ප්‍ර‍දායන් නොවේ.

මේ වන විට, 2015 ජනවාරි 8න් පසු බිහි වූ ප්‍ර‍ජාතාන්ත්‍රික වටපිටාව වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් උපරිම අන්දමින් අපහරණය කරමින් තිබේ. උදාහරණයක් ලෙස පසුගිය සතියේ බ්‍ර‍හස්පතින්දා දීර්ඝ සති අන්තයට පෙර දුම්රිය සේවකයන් ඉතා සුළු හේතුවකට වැඩ වර්ජනයක් දියත් කළේ මගීන්ගෙන් පළිගෙන තමන්ගේ බලය පෙන්වීමට මිස අන් කිසිවකට නොවේ.

විප්ලවවාදී පක්ෂය ලෙස තමන් හඳුන්වා ගන්නා කුඩා කණ්ඩායමක් සමග සිටින විදේශගත තරුණ ෆේස්බුක් ක්‍රියාකාරිකයෙකු පසුගිය දිනෙක මට කළ අභියෝගයක් වූයේ නියාමනයක් සහිත විවෘත වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින්නකු වන මා වැඩ කළ යුත්තේ වත්මන් පාලනය සමග නොව ගෝඨා 2020 ව්‍යාපෘතිය සමග බවයි. හේතුව ලිබරල් ධනවාදයට තව දුරටත් ඉදිරියට යන්නට බැරි නිසා මර්දනකාරී නව ලිබරල් ස්වරූපයකට පරිවර්තනය වීම අනිවාර්ය බවයි.

ඔවුන් අපට එසේ කෝචොක් කරන්නේ ලිබරල් ධනවාදය හැකි සෑම අන්දමින් ම අර්බුදයට යවන්නට වගකීම් විරහිත අන්දමින් කරන පාදෙනිය පන්නයේ ප්‍ර‍තිගාමී කඩාකප්පල්කාරිත්වයන් සියල්ල සමග සිටගන්නා ගමන් වීම හාස්‍යජනක ය. වැඩේ ඒක නොව මේක ය. මේ විප්ලවවාදී පක්ෂ ලංකාව දෙස බලාගෙන දත නියෙව්වාට ඒවායේ ක්‍රියාකාරිකයන් ඉන්නේ විදෙස්ගතව ය.

රජයේ සේවකයන්ට මහජන මුදලින් රු. 10,000ක වැටුප් වැඩි වීමක් 2015දී දුන් මුත්, රජයේ සේවයේ ඵලදායිතාව ඉහළ ගිය බවක් දකින්නට නැත. ඒ වෙනුවට දිනපතා දැකිය හැක්කේ වැටුප් ඉල්ලීම් මුල් කරගත් වැඩ වර්ජන ය. රජයේ සේවකයන්ගේ කඩාකප්පල්කාරිත්වය හමුවේ රාජ්‍ය අංශය ම දිය වී යමින් තිබේ. ගෝඨාභය වැනි ඒකාධිපතියකු යටතේ එක්කෝ පරිප්පු කන්නට සැරසෙන ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අපේ විප්ලවීය මෙව්වා එක!

Please follow and like us:

3 thoughts on “පරිප්පු කන්නට සැරසෙන ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අපේ විප්ලවීය මෙව්වා එක!

  1. 1980 ජුනි 5 ජාතික විරෝධතා ව්‍යාපාරයක්සන්විධාන කරතිබුනි. විරෝධතා ව්‍යාපාරයට සම්බන්ද වු සෝමපාල සහෝදරයාට එජාප මැරයන් පහරදිම නිසා ඔහු මියගියා මිස ඉහත සදහන් පරිදිවෙඩි වැදිමකින් නොවේ.
    එම විරෝදයට එකතු වූ රත්මලාන දුම්රිය කාර්මික සේවකයන් 12දෙනෙකුගෙ වැඩ තහනම් කිරිම නිසා ඔවුන් යලි සෙවයේ පිහිටවන ලෙස ඉල්ලිම 80 ජුලි වර්ජනයට ප්‍රදානතම හෙතුව විය

  2. ගෝඨාභය රාජපක්ෂ යනු ජේ ආර්ගේ ප්‍රතිබිම්බයක් වනවා නම් මම කැමතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *