පාර්ලිමේන්තුව කල් තැබීම ම විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරීම සාධාරණ කරන ක්‍රියාවක් – නිදහසේ වේදිකාව

නිදහසේ වේදිකාව
නිදහසේ වේදිකාව

පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට විධායක ජනාධිපතිවරයාට තිබෙන බලය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්ට එරෙහිව යන අනවශ්‍ය වරප්‍ර‍සාදයක් බව ද, සැසිවාරය කල්තැබීම යනු අලුත් ආරම්භයක් සඳහා කරන දෙයක් නොවන බව ද, එමගින් ඇත්ත වශයෙන් සිදු වන්නේ ආණ්ඩුවේ අවලස්සන අතීතයට එරෙහිව ගෙන තිබෙන පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාමාර්ග අවසන් කිරීම පමණක් බව ද ‘නිදහසේ වේදිකාව’ සංවිධානය පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ: Read in English here >>

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තිය ප්‍රකාරව තමන්ට ලැබෙන විධායක බලතල ප්‍රකාරව අවසන් කරන ලද පාර්ලිමේන්තුවේ අලුත් සැසිවාරය මැයි 8දා ආරම්භ කිරීමට නියමිත ය.

මෙම කල්තැබීම ම විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම සාධාරණීකරණය කරයි. පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට විධායක ජනාධිපතිවරයාට තිබෙන බලය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්ට එරෙහිව යන අනවශ්‍ය වරප්‍ර‍සාදයකි. සැසිවාරය කල්තැබීම යනු අලුත් ආරම්භයක් සඳහා කරන දෙයක් නොවේ. එමගින් ඇත්ත වශයෙන් සිදු වන්නේ ආණ්ඩුවේ අවලස්සන අතීතයට එරෙහිව ගෙන තිබෙන පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාමාර්ග අවසන් කිරීමයි.

මෙම කල්තැබීම හේතුවෙන් ජාතික විගණන පනත වැනි ප්‍රගතිශීලී පියවර පවා නැවත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට සිදු වේ.

මේ අතර, අති විශාල මහජන මුදලක් පරිහරණය කරන ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුව කල්තැබීම ඔස්සේ සිය අකාර්යක්ෂමතාවේ තරම ද රටට පෙන්වූයේ ය. සැසිවාරය අවසන් කර අලුත් සැසිවාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදන තුනක් ම නිකුත් කිරීමට ඔවුන්ට සිදු විය. මෙම තත්වය තුළ ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා හා ඔහු යටතේ සිටින තවත් ජ්‍යේෂ්ඨ නිලධාරියකු ආයෝජකයකුගෙන් දැවැන්ත අල්ලසක් ගනිමින් සිටියදී අත්අඩංගුවට පත් වීම පිළිබඳ අප පුදුම වන්නේ නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂය පවසන පරිදි ඔවුන්ට ජනාධිපතිවරයා නැවත එම තනතුරට පත් කිරීම සඳහා සැලසුමක් තිබේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පොරොන්දු වෙමින් පිට පිට බලයට පැමිණි තුන්වන දේශපාලනඥයා ද මේ අන්දමින් පොරොන්දු කඩ කිරීම අතිශය කණගාටුදායක තත්වයකි.

නිදහසේ වේදිකාව නම් වන අප මෙම අවස්ථාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බල කර සිටින්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් රාජ්‍ය නායකත්වය ස්ථිරව ම පාර්ලිමේන්තුවට වග කියන පරිදි වෙනස් කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.

නව පාර්ලිමේන්තු සැසිවාරයට හා යම් යම් වෙනස්කම් කරන ලද ඇමති මණ්ඩලයට සුබ පතන අතර ජනතාවට පොරොන්දු වූ පරිදි ජාතීන් අතර සංහිදියාව,ආර්ථික සමෘද්ධිය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අධිෂ්ටානශීලීව හා ජවසම්පන්නව ක්‍රියාත්මක වන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිමු.

– නිදහසේ වේදිකාව

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *