පැරකුම්, සන්නා සහ තිඹිරි ලියූ පොත් තුන

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති විසිනි

අජි්ත් පැරකුම්ගේ කේ පොයින්ට් නවකථාව, සන්නස්ගලගේ කොළඹ කතාව භික්ෂු පරිච්ඡේදය සහ තිඹිරියාගම බණ්ඩාරගේ ගිනිගත් දේශයක පොත් තුන කියවා ඉවර කළා. ඒ් පොත් තුනම අපේ සමාජයේ මෑත යුගය ගැන කැඩපත්. අපේ පරම්පරාව(මට පනහයි) ගැන ආත්ම පරීක්ෂාවක්. කේ පොයින්ට් නවකථාවක් විදියට විශිෂ්ට ඒකක් නෙමේ. අනික් ලේඛකයො නවකථා ලියන්නෙ සම්මාන ගන්න කියල ෂුවර් එකටම දන්න පැරකුම් තමන්ගෙ පොත නවකථාවක් බවට පත්වීමෙන් වලක්වන්න ඇති! නමුත් ඒ පොත ඉතා වැදගත් මැදිහත්වීමක්.

අපේ සිංහල හමුදාව දකුණෙ හිටපු ඒ කාලෙ සෙල්ලමක් කරනවා වගේ මිනීමරපු හැටිත්, විමුක්තිකාමී තරුණයන් කිසිම න්‍යායික-සදාචාර විනිශ්චයකින් තොරව මිනීමරුපු හැටිත් මේ පොතේ නිරූපණය වන හැටි අපි අපේ භාවනාත්මක අවධානයට ගන්න ඕනෙ. විමුක්ති දේශපාලනය කියන්නෙ තව දුරටත් අවසාන ඵලය විසින් ඒ ඵලය ලබාගත් මාර්ගය සාධාරණය කරන්නක් විය යුතුද කියන ප‍්‍රශ්නෙ පොත ඇසුරින් ඇසිය හැකියි.
රාජ්‍යය කියන යාන්ත‍්‍රණය මොන තරම් භයානක එකක් විය හැකිද කියන එක දකුණෙ අපිට දැන් මතක නෑ. පොතේ එන ශූන්‍යතාවාදී ස්වරයට මං ආසා නැති වුණත්, තමන්ටම වධ දුන් අය ගැන පැරකුම් කරන මෛත‍්‍රියෙන් යුතු නිරීක්ෂණ පුදුම සහගතයි. අසූ අට අසූ නමය ගැන ලියවුණු මම කැමතිම පොතක්.

සන්නස්ගලගේ භික්ෂු පරිච්ඡේදය අපේ වර්තමාන බෞද්ධකම ගැන පුදුම පරීක්ෂාවක්. පොත අප වෙත අල්ලන්නෙ තියුණු දර්පණයක්. කර්තෘ සන්නස්ගල නිසාම මේ පොතට වෛර කරන අය ඉන්න පුළුවන්. ඒත් මේ පොත අර්ථවත් වෑයමක් වෙන්නෙ කර්තෘ සන්නස්ගල නිසාමයි. භික්ෂූන් සම්බන්ධයෙන් පවා ඔහුට ඇත්තේ පුදුමාකාර අත්දැකීම් සම්භාරයක්. දැන් බෙහෙවින් අධිනිශ්චය වී ඇති භික්ෂු සංස්ථාව පිරී ඇත්තේ කෙතරම් නම් සීමා සහිත, අසරණ පිරිසකගෙන් දැයි ඔහු අපට පෙන්වා දෙන්නේ ඒ ඒ එක් භික්ෂුව ගැන දයානුකම්පාවකින්. ඒ අතර සිටි මිනිමරු භික්ෂූන් කෙරෙහි ඔහුගේ කෝපයත් නොබියව පළ වෙනවා. නමුත් ඔහු අම්මා කෘතියේදීට වඩා සන්සුන් ස්වරයකින් ලියනවා.

අපේ රටේ භික්ෂූන් වහන්සේ මේ පොත කෝපයෙන් තොරව කියවා තියුණු ආත්ම පරීක්ෂාවකට යාම ඉතා උචිතයි.
තිඹිරි තමයි මේ කතුවරුන්ගෙන් මගේ පරණම මිතුරා. ගිනිගත් දේශයක ලියා ඇත්තේ ඔහුගේ සුපුරුදු රමණීය ගද්‍යයෙන්. තිඹිරි කියන්නේ ඉතා ස්වාධීන සිතන්නෙක්. අර දෙන්නා වගේම තමයි. පසුගිය අවුරුදු තිහක විතර කාලෙ පුවත්පත් කලාවේදියෙක් ලෙස ඔහු ගත කළ ජීවිතය තිඹිරි ලියන්නෙ ඒ යුගය ගැන අපූරු සිත්තමක් අඳිමින්. ජාතිවාදයට විරුද්ධවත්, වාමාංශික සීමාන්තිකත්වයට විරුද්ධවත් ඔහු ගෙන ගිය අරගලය මේ පොතේ කියවෙනවා. ඒ පෞද්ගලිකවත් දන්නා අරගලයක්. අසූ අට අසූ නමයෙ තිඹිරි මටත් දිවි බේරගන්න උදව් කරලා තියෙනවා.
සීමාන්තික ජාතිකවාදය විසින් විභූති වීදියබණ්ඩාර නම් තරුණයෙකු දැඩි සේ ඒකමානීය දෘෂ්වාදමය මැෂිමක් බවට පෙරළන ලද සැටි තිඹිරි විස්තර කරන්නේ දයානුකම්පාවෙන්. මෙැවනි මැෂින් ගොඩකට රටකට තවත් කරන්නට හැක්කේ කුමක්ද? මේ පොත් තුනම ඒ ප‍්‍රශ්නය එක් එක් ආකාරයෙන් අසනවා.

ඒ විභූති වීදියබණ්ඩාර එකල බොරලැස්ගමුවේ ලක්මිණ කාර්යාලයේ ගැවසුණු හැටි එහෙ නිතර ආගිය මටත් මතකයි.
මේ පොත් තුනම ගැන ෆේස්බුක් සටහන් ඉක්මවන රචනා ඕනෙ. ස්වයං-චරිතාපදානමය රචනා ගත හැකි මාර්ග තුනක් මේ පොත් තුනෙන් පේනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *