පුතු දූෂණය – කව් ගී ලියවුණා මදී

ඉරනවිල නව හැවිරිදි පිරිමි දරුවකු පොල් කඩන කම්කරුවකු විසින් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර මරා දමා තිබේ. යාපනයේ විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක් කර මර දැමූ අවස්ථාවේ හෝ කොටදෙනියාවේ සේයා දැරිය දූෂණය කර මරා දැමූ අවස්ථාවේ හෝ ඇති වූ මහජන ආවේගශීලිබව මෙම අවස්ථාවේදී ඇති වූයේ නැත.

ආවේගශීලීබව හොඳ දෙයක් නොවේ. එබැවැන් එහෙම නො වුණ එක හොඳ ය. එහෙත්, සමාජය මෙම සිද්ධිය ගැන මෙතරම් අසංවේදී ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. පොලිස් විමර්ශන නිසි පරිදි සිදු වෙනවා ද, අපරාධකරු අල්ලා ගන්නට සමාජය උපකාර කළ යුත්තේ කෙසේ ද වැනි කාරණා සම්බන්ධයෙන් සමාජය අසංවේදී වීම නිසා වින්දිතයාට යුක්තිය ඉටු නො වීමට අමතරව, අපරාධකරුවාට මුක්තිය ලැබීමත්, මෙවැනි සිදුවීම් නැවත නැවත සිදු වන්නටත් වැඩි ඉඩක් ඇති වේ.

කාන්තාව හා ගැහැණු ළමයා තරම් පිරිමි ළමයා මාකට් නො වීම බොහෝ ළමා අයිතිවාසිකම්, මානව හිමිකම්, අරවා මේවා සංවිධානවලට මෙය වැදගත් සිද්ධියක් නො වීමට ප්‍රධාන හේතුව විය හැකි ය.

මාධ්‍ය ප්‍රධාන වශයෙන් ම පුවත් සපයන්නේ විෂම ලිංගිකත්වය වෙනුවෙනි. ළමා කාමය විෂම ලිංගිකත්වය සමග ද සම්බන්ධ ය. බොහෝ අය තුළ සඟවා ගත් ළමා කාමය තිබෙන්නට පුළුවන. මාධ්‍ය ගැහැණු ළමයින් දූෂණය කළ සිදුවීම් වාර්තා කරන විට භාවාතිශය ලෙස එය කරයි. එසේ ම, දැරියන්ගේ ඡායාරූප ද පළ කරන අතර දැරියන් රූමත්, හුරුබුහුටි හා ළාමක බව ද අනියමින් අවධාරණය කරනු දැකිය හැකි ය. ලිංගික අපචාරය සිදු වී ආකාරය රූප සිතේ මවා ගත හැකි ආකාරයට විස්තර කරනු ද දැකිය හැකි ය. සාපේක්ෂව ගත් විට පිරිමි ළමාකාමිත්වයට ලොකු ඉල්ලුමක් නැත. පිළිකුල වැඩි ය. මාධ්‍යවලට මෙම මිනීමැරුම උණුසුම් පුවතක් නො වුණේ ඒ නිසා විය හැකි ය.

අනෙක් පැත්තෙන්, මේ දරු පවුල දිළිඳු, පෙනෙන විදියට ක්‍රිස්තියානි, ධීවර පවුලකි. දරුවාගේ පියා ට්‍රෝලර් යාත්‍රාවක රැකියාව කරන්නෙකි. එයින් අදහස් වන්නේ ඔහු ගොඩබිමට එන්නේ සති ගණනාවකට දින කිහිපයක් වෙනුවෙන් පමණක් විය හැකි බවයි. පවුලේ දරුවන් පස්දෙනෙකි. මේ තුන්වන දරුවා ය. මවට වැඩි අවධානයක් යොමු කිරීමට සිදු වන වඩා ළාබාල දරුවන් ද සිටින බව පෙනේ.

ජාතිවාදී පදනමින් දරුවන් වැඩි වැඩියෙන් හදන්නට යයි දිරි ගන්වන පිරිස් දරුවන් වැඩියෙන් සිටින මෙවැනි පවුල්වලට කරන උපකාරය කුමක් ද?

මේ දරුවාට නිසි රැකවරණයක් තිබී නැති බව පෙනේ. දරුවා අයාලේ ගොස් ඇත. ඔහු නිතර කඩයක සිටි බව ද කියැවේ. මේ දරුවා වෙනත් අය අතින් වුවත් අපයෝජනයට ලක් වන්නට ඇත. අඩු තරමේ මෙවැනි කාමාපරාධවලින් ආරක්ෂා වන්නේ කෙසේ ද යන්න ගැන හෝ අධ්‍යාපනයක් මෙවැනි දුෂ්කර ප්‍රදේශවල පාසල්වලින් ලැබෙනවා ද යන්න ප්‍රශ්නයකි.

සුළු ආහාරයක් ලබා දී මේ දරුවා රවටා ගැනීමට අපරාධකරුට හැකි වී තිබේ. වැඩිහිටි මිනිසකු ළමයකු කැටුව කැලයට රිංගනු දුටු කාන්තාවක පවා ඒ ගැන විමසිලිමත් වී නැතිකමින් මේ සමාජයන්හි දරුවන් ගැන තිබෙන සැලකිල්ල පෙනේ.

මෙම ඝාතනය පිළිබඳ සමාජ සංවේදීභාවය පවත්වාගත යුතු ය. අපරාධකරු අත්අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කරනවා ද යන්න නිතර විමසිය යුතු ය.

පිරිමි ළමයි ද මනුෂ්‍යයෝ ය.

(කවරයේ ඡායාරූපයේ ඇති ඉරණවිල දර්ශනය වික්‍රම ජෙරාඩ් මෙන්ඩිස් විජේගුණරත්නගේ ය.)

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *