සමාජවාදී ජීවිතයකට පොදු ප්‍රවාහනය

පැරාගේ කාටුන් එකක්. මුලින් පළ වුණේ www.ivoice.lk

පසුගිය දවසක මට රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් පන්නලට යන්නට සිදු වුණා. සවස් වන නිසා මා ගෙදරට ම ගොස් ඇරලීම සඳහා කාර්යාලයෙන් වෑන් රථයක් ලබා දුන්නා. එය කුලියට ගත් වෑන් රියක්. මතුගමට ම යන්නට ඕනෑ නිසා මම හතරහමාරට පන්නලින් පිටත් වුණා.

ජාඇල, ගනේමුල්ල පැත්තෙන් වාහනය කඩවතට එනකොට සවස 6.20ට විතර ඇති. රියදුරා කඩවතින් අධිවේගී මාර්ගය දෙසට හරවා ධාවනය කරනවා. අහස මහා වරුසාවකට අර අඳිනවා. කිසියම් හේතුවක් නිසා මගේ හිතට හරි මදි.

“පුතා, ඔතනින් යූ ටර්න් එකක් ගන්න බැරි ද?” මම ඇහුවා.

“පුළුවන් සර්, ඇයි?” ඔහු වාහනය දකුණු පැත්තට ගනිමින් ඇහුවා.

“මේ වෙලාවට අධිවේගී මාර්ගයේ කඩවත ඉඳලා මතුගම යන අන්තිම බස් එක තියෙනවා. ඒක ගිහින් නැතිනම් මට ඒකෙ යන්න පුළුවන්. මොකට ද අපි නිකම් ඩීසල් පුච්චන්නෙ? අධිවේගී මාර්ගෙට ගෙවන ගානටත් අඩුවෙන් මට ගෙදර යන්නට පුළුවන්.”

ඔහු වාහනය හරවලා ආපසු අධිවේගී බස් නවත්තන ගනේමුල්ල පාරේ බස් නැවතුමට ආපහු මා රැගෙන ආවා.

“බස්සෙක තියෙනවා නම් මම ඔයාට කියන්නම්,” මම බස්සෙකෙන් බැහැලා බැලුවා. ඒක තවම ගිහින් නැහැ. ජම්පිං සීට් දෙක තුනක් ඉතිරි වෙලා තියෙනවා.

“ඔයා යන්න. මං ඔෆිස් එකට කියන්නම්,“ මම ඩ්‍රයිවර්ට කිව්වා.

ජම්පිං සීට් එක කරදරකාරී වුණාට, අතරමගදි මහ වරුසාවක් වැස්සාට, මතුගමින් බැහැලා ඩොටේට ඉතුරු කිලෝමීටර් හතර යන්නට බයිසිමොටෝ එක තබා ඇති තැනට පයින් කාල් ගෑම වගේ කරදර ගොඩක් තිබුණාට මට පොඩි සතුටක් තිබුණා. මං වෙනුවෙන් දහනය වෙන්නට තිබුණු පෙට්‍රෝලියම් තෙල් ටිකක් මං ඉතුරු කළා. පරිසරය වුණත් වැස්ස පායලා සපෝට් එකක් දෙන්න ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති. කඩවත ඉඳලා පැයෙන් මං ගෙදර.

අපි සමාජවාදය ගැන කතා කරනවානේ. සමාජවාදය කියන්නෙ ජීවන විලාසයක්. ඒක ප්‍රැක්ටිස් කරන්නට තමන්ගෙ ආණ්ඩුවක් එනකල් ම ඉන්න ඕනැ නැහැ. පුංචි පුංචි දේවලිනුත් සමාජවාදය ප්‍රැක්ටිස් කරන්නට පුළුවන්. පොදු ප්‍රවාහනය කියන්නෙ එහෙම සමාජවාදය ප්‍රැක්ටිස් කරන්නට පුළුවන් එක තැනක්. හැමෝම පාරට පෞද්ගලික වාහන දාලා ට්‍රැෆික් ය කියලා ආණ්ඩුවට බනිනවාට වඩා හොඳ නැද්ද පොදු ප්‍රවාහනය දියුණු කර ගන්න සටන් කරන එක.

හැබැයි අපේ රටේ පොදු ප්‍රවාහනය තියෙන්නෙ සමාජවාදයට නෙමෙයි ධනවාදයටත් ගව් ගණනක් පසුපසින්. මේ ලිපියේ අගට තියෙන කලින් පළ කළ ලිපියක පොදු ප්‍රවාහනයේ තවත් පැතිකඩක් ගැන සඳහන් වෙනවා.

පොදු ප්‍රවාහනය දියුණු කරන්නට කරන අරගලය සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක්. කොහොම හරි පෞද්ගලික ප්‍රවාහන ක්‍රමයකට මාරු වෙන්නට පුළුවන් වෙන එක මේකට විසඳුමක් නෙමෙයි. මම අවුරුදු තුනක් විතර සතියේ දිනවල දිනපතා කිලෝමීටර් 150ක් විතර බස්වල, කෝච්චිවල යනවා. ඒක හරි වෙහෙසකර වැඩක්. ඒ වුණත්, පොදු ප්‍රවාහනය ගැන බොහෝ ඊනියා සමාජවාදීන්ට වඩා හොඳින් අප දන්නෙ ඒ නිසායි.

ලංකාවෙ පව්කාර මිනිසුන්ගෙ උරුමය දුක ම තමයි කියලා මාත් එක්ක මෑත දිනක කිව්වේ ලේඛක චූලානන්ද සමරනායක. එහෙම කිව්වෙත් අපි දෙන්නා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ තිබුණු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩමුළුවකට සහභාගි වෙලා පයින් කොල්ලුපිටිය ස්ටේෂමට යන අතරෙ.

2012 ජන සංගණනය අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහණය ලක්ෂ 23ක් වෙනවා (2,309,809). එය ජන ඝනත්වය වැඩි ම දිස්ත්‍රික්කයයි. එහි වර්ග කිලෝමීටරයක් තුළ සාමාන්‍යයෙන් මිනිසුන් 3438දෙනෙකු ජීවත් වන අධික ජන ඝනත්වයකින් යුත් දිස්ත්‍රික්කයක්.

කොළඹ නගර සීමාවට අයත් වන කොළඹ හා තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත් වන ජනගහණය 550,000කට වැඩියි. ඊට අමතරව සතියේ වැඩ කරන දිනවලදී ලක්ෂ 15ක් පමණ ජනයා දිනපතා කොළඹට ඇදී එනවා. මේ අනුව වැඩ කරන දිනයක දිවා කාලයේදී කොළඹ නගරය තුළ ජනගහණය ලක්ෂ 20 ඉක්මවනවා. (2012 ජන සංගණනය)

කොළඹ නගරයට පිවිසෙන ස්ථාන තුනකින් දිනකට වාහන ලක්ෂ තුනක් පමණ නගරයට ඇතුළු වෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ දත්ත මගින් අනුමාන කෙරෙනවා. මේ නගරය තුළ ධාවනය වන වාහනවලට අමතරවයි.

බස්රථ 27,000කට වැඩි සංඛ්‍යාවකින් මගීන් මිලියනයකට වඩා ගමන් කරනවා. පෞද්ගලික වාහන ලක්ෂ තුනකින් පමණ තවත් ලක්ෂ හයක් විතර ගමන් කරනවා. දුම්රියෙන් ගමන් කරන පිරිස 165,000කට වැඩි යයි අනුමාන කරනවා.

කොළඹට මේ ජන ගඟ ඇදී එන්නේ දිනපතා උදෑසනයි. සවස් වන විට ඒ ජන ගඟ අනෙක් පැත්තට, ඒ කියන්නේ කොළඹින් පිටට ගලා යනවා. කොළඹ වීදි වාහනවලින් පිරී තදබද වන්නේ ඒ වෙලාවන්වලටයි. කිරිබත්ගොඩ, මොරටුව, පිළියන්දල, මහරගම, බත්තරමුල්ල වැනි කොළඹ පරිවාරයේ නගරයක සිට උදෑසන 7 සිට 9 පමණ දක්වා කාලයේදී කොළඹට එන අයට දැවැන්ත මාර්ග තදබලයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ එන සෙනග ආපසු යාම දවල් 1.30ට පාසල් අවසන් වීමත් එක්ක ආරම්භ වෙනවා. සවස 4 සිට 7 පමණ දක්වා කාලය තුළදීත් අධික මාර්ග තදබලයක් දැකිය හැකියි.

මේ තදබලයන් අතරතුර වාහන ධාවනයේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 10ක් පමණ වන නිසා මිනිස් පැය නාස්තිය මෙන් ම, අති විශාල ඉන්ධන නාස්තියක් ද සිදු වෙනවා. මහමග රස්තියාදුව අධික වෙහෙසකර කාර්යයක්. එය ශ්‍ර‍ම ඵලදායිතාවටත්, පොදුවේ ජනජීවිතයටත් දැවැන්ත බලපෑමක් කරනවා.

මාර්ග තදබදය නිසා දිනකට රු. බිලියනයක් පමණ ආර්ථිකයට අහිමි වන බව ගණනය කර තිබෙනවා. පහත දැක්වෙන්නේ කලින් ලියූ ලිපියක්. තව ටිකක් පහළට, පහළට ගියා ම Leave a Reply කියලා කොටුවක් හමු වෙනවා. ඔබේ අදහස එහි ලියන්නට පුළුවන්. මට බැන්නත් කමක් නැහැ, ශිෂ්ට විදියට ඒක කළොත් පළ වේවි.

මනරංජන වැඩවර්ජන හෙවත් මතුගම බස් වර්ජන මළ කෝලම

මාතෘකාවේ තිබෙන නම හෙන්රි ජයසේනගේ නාට්‍යයක ය. වැඩ වර්ජනය කිරීම යනු කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමට තිබෙන අවසන් මෙවළමයි. එහෙත්, වර්තමානය වන විට වැඩ වර්ජනය යනු විහිළුවක් බවට පත් වී තිබේ. මෙවැනි භයානක විහිළුවක් මම පසුගිය සඳුදා උදෑසන මතුගමදී දුටුවා. කලින් දවසේ පොඩි පාටියකට ගිය නිසා ඇහැරෙන්න පොඩ්ඩක් පරක්කු වුණා. ඒ… Read More

Please follow and like us:

7 thoughts on “සමාජවාදී ජීවිතයකට පොදු ප්‍රවාහනය

  1. කෙනෙක් පොෂ් වෙනවට අපි කැමති නෑ, අනික පොෂ් තැන අපිට හුරුත් නෑ, දැන් ආශ්‍රය කරන සමාජය අනුව තව ටික දවසකින් සමාජවාදී ජිවන විලාශිතව ට සිද්දවෙන දේ අනුමාන කරත හැකි, ඔහේ අපහු අර පරණ බ්ලොගට ආවොත් අපි කොමෙන්ට් දාන්නම්.

    1. කමෙන්ට් එක පබිලිස් කළා. ආපහු කමෙන්ට් කරමු. ඇනෝ නැහැ. එච්චරයි වෙනස.

  2. I believe you are from non-engineering background. I would like to see your thoughts on how to avoid traffic from your point of view (Socio- economic). Thanks a lot for popping up this. Prefer Sinhala.

  3. පොදු ප්‍රවාහන සේවයක් කියන ඒක තවදුරටත් සිහිනයක් පමණක් වීයිද කියන බය දැනට තියෙනවා. මොකද ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප එක්ක මේක යථාර්තයක් වෙන දවසක් ගැන හිතීම හරිම අමාරු තත්වයක්. ඕනෑම කෙනෙක් උත්සාහ කරන්නේ අඩුගානේ තමන්ට කියලා මොනම විදිහේ හරි රෝද හතරක් අරගෙන එකේ වැඩට යන්න. පෙට්‍රල් දවසක් නැතිවුනාම හුස්මගන්න බැරිවුණා ගානට දඟලන්නේ ඒ නිසා.
    පොදු ප්‍රවාහන සේවයකට බහුතර ජනතාවගේ කැමැත්තකුත් නෑ. මොකද තාම මිනිස්සුන්ට අවබෝද වෙලා නෑ දියුණු සමාජයක් කියන්නේ හැමෝම තමන්ගේ පෞද්ගලික වාහන වල යන සමාජයක් නෙවේ හැමෝටම පොදු ප්‍රවාහනය භාවිතා කරන්න පුළුවන් සමාජයක් කියන එක.
    අද වෙනකොට රජයේ රෝහල් තියෙන්නේ පෞද්ගලික රෝහලකට යන්න තරම් වත්කමක් නැති මිනිස්සුන්ට විතරයි . රජයේ අධ්‍යාපනයේ සුපිරි වරප්‍රසාදිත පාසල් හැරුනුකොට අනෙක් පාසල් ගැන තියෙන ආකල්පය තමා ” එකට යවනවට වඩා හොඳයි ඉන්ටන්ෂනල් යවන ඒක” කියන ආකල්පය.
    ඉතිං පොදු ප්‍රවාහන සේවයත් මේ ගානටම වැටෙන්න බැරි නෑ.

    අනික තමා අපේ පෞද්ගලික වගේම ලංගමේත් තියෙන අසංවිධිත භාවය. නිදහස ලබලා අවුරුදු 70ක් වීන රටක තවම පෞද්ගලික ප්‍රවාහන සේවය යටතේ තමන් යන ගමනට අදාළ ටිකට් පතක් නිකුත් කරවගන්න බැරි රටක අපිප් බලාපොරොත්තු වීන මට්ටමෙන් පොදු ප්‍රවාහන සේවයක් කියන ඒක හීනයක්ම තමා

  4. පැරා අලුත් බදු පනතින් EPF වල පොලිය 4% කින් අඩු කරලා
    හැම ආණ්ඩුවක්ම රජයේ සේවකයන්ට හැම පහසුකමක්ම දෙන අතර පුද්ගලික සේවකයනට කරන අසදරණය ගැන ලියන්න

  5. මම ජාවත්තට සතියේ දිනවල දිනපතා කැලණිය තොරණ හන්දියේ සිට පැමිණෙනවා.154 බස් වල..මාර්ග තදබදය ගැන කතා නොකර බස් තෝරා ගැනීම ගැන කතා කලොත්, සීටීබී බස් එකක එන එක තමා වඩාත් හොද. මොකද, සීටීබී එක ගටාන්නේ නැහැ, නැවතුම් පළවල් වල අනවශ්‍ය විදිහට රැදෙන්නේ නැහැ.විශේෂයෙන්ම බොරැල්ලේ. උදේ දෙමටගොඩින් එනකොට සමහර පෞද්ගලික බස් පාලම යටින් එනවා.ඒ එන්නේ පාලම යට ඉන්න සෙනග ගන්න. එතකොට ගොඩක් වෙලාවට කෝච්චියකට අහු වෙනවා..විනාඩි 10ටත් වඩා ඉන්නවා ගේට්ටුව අරිනකම්..ඉතින් පොල් පටවල, හිටගෙන , දාඩිය දා ගෙන ඉන්න ඕනි කෝච්චිය යන කම්..තෙල් , කාලය, මානසික ඒකාග්‍රතාව ඔක්කම ඉවරයි..වෙලාවකට හිතෙනවා කොන්දොස්තර, ඩ්‍රයිවර්ඔ කොහොම ගෙවල්ය වල ගිහින් ඉන්නවද කියල ඒ ස්ට්‍රෙස් එක දැක්කම… ඔය දේම හවසටැහැ වෙනවා. එනිසා ඔෆිස් එකෙන් යන්නේ හවස 6.30 පහු උනාම ..බස් ඕනි තරම් දුවනවා..හරි ටයිම් එකකට දුවනවා නම් මීට වඩා ඵලදායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *