බලය ඇල්ලුවට ණය කන්ද දැක්කාම දැන් සැප ද?

අජිත් පැරකුම් ජයසිංහ, 2018 නොවැම්බර් 25 ලංකා පුවත්පතෙනි.

මූඩිගේ ආයෝජන සේවායතනය කියන්නේ ආයෝජකයන්ට රජයන්ගේ සහ බැංකු ආදියේ ස්ථාවරත්වය පිළිබඳ විග්‍ර‍හ සපයන පිළිගත් ආයතනයක්. මෙම විග්‍ර‍හ ආයෝජකයන්ට ඉතා වැදගත්. ඔවුන් ආයෝජන සිදුකිරීමේදී මෙම විග්‍ර‍හ සැලකිල්ලට ගන්නවා. මූඩිගේ විග්‍ර‍හ අනුව කිසියම් රටක ආයෝජනය කිරීම අවදානම් සහගත නම්, ආයෝකයන් එක්කෝ ආයෝජනය නොකර ඉන්නවා. නැතිනම්, ඉහළ ප්‍ර‍තිලාභයක් තිබේ නම් අවදානම අරගෙන ආයෝජනය කරනවා. හරි ගියොත් ලොකු ලාභයක්. වැරදුණොත් ලොකු පාඩුවක්.

මේක හරියට ප්‍ර‍මුඛ බැංකුව, සක්විති, දඬුවම් මුදලාලි, ඊටීීඅයි පන්නයේ  ව්‍යවසායවල ආයෝජනය කරනවා වගේ වැඩක්. හරි ගියොත් ලොකු ලාභයක් ලැබෙනවා. බැංකු, කොටස් වෙළඳපොළ, භාණ්ඩාගාර බිල්පත් වගේ ඒවා එහෙම නැහැ. ඒවායේ කරන ආයෝජන වඩා සුරක්ෂිතයි. හැබැයි ලාභය සාපේක්ෂව ඒ තරම් විශාල නැහැ.

මූඩිගේ ආයෝජන සේවායතනය විසින් පසුගිය 20දා ශ්‍රී ලංකා රජය පිළිබඳ විග්‍ර‍හයක් නිකුත් කරමින් ඔවුන්ගේ රේටිං හෙවත් ප්‍රමාණනයන් තුළ ශ්‍රී ලංකා රජය බී-1 මට්ටමේ සිට බී-2 මට්ටම දක්වා පහත දැමුවා. ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ ආයෝජනය කිරීම ස්ථාවර වෙන්නට පුළුවන් වගේ ම අස්ථාවර වෙන්නටත් ඉඩ තිබෙනවා. පසුගිය ජුලි මාසයේදී මෙම ආයතනය විසින් ශ්‍රී ලංකා රජය බී-1 මට්ටමේ තහවුරු කළා. මූඩි ආයතනය ශ්‍රී ලංකා රජය විවරණය කිරීම ආරම්භ කළේ 2010දීයි. එදා සිට අද දක්වා ශ්‍රී ලංකාවේ ප්‍ර‍මාණනය මෙසේ පහත දමන ලද පළමු වතාව මෙයයි.

මෙම විග්‍ර‍හය ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනය කරන හෙවත් ලංකාවට ණය දෙන ආයතනවලට වගේ ම පොදුවේ අප සියලු දෙනාටත් ඉතා වැදගත්. රටක් විදියට අප අද සිටින තත්වය තේරුම් ගන්නට වැදගත් වන ආර්ථික විග්‍ර‍හයක් ඔවුන් සපයා තිබෙන නිසා දේශපාලන පාට කණ්ණාඩි ගලවා තබා එම වාර්තාව හරහා රටේ තත්වය දේශපාලනිකව කියවා ගැනීමයි කළ යුතුව තිබෙන්නේ.

මෙම වාර්තාවේ මෙම තත්වයට හේතුව ලෙස දක්වන ප්‍ර‍ධාන කාරණයක් වන්නේ මේ වන විට පවතින දේශපාලන අර්බුදයයි. පෙනෙන ආකාරයට එය ඉක්මණින් විසඳුනත් එහි ප්‍ර‍තිඵල මුල්‍ය ප්‍ර‍තිපත්ති කෙරෙහි දිගුකාලීන බලපෑමක් සිදු කළ හැකි බවයි මූඩි ආයතනයේ විග්‍ර‍හය වන්නේ.

එහෙත්, ඇති වී තිබෙන තත්වය තනිකර ම වත්මන් දේශපාලන අර්බුදයට ලඝු කළ නොහැකියි. පසුගිය සමයේ රට තුළින් සහ රටට බැහැරින් ඇති වූ මුල්‍ය පීඩනයත් මෙම තත්වයට හේතු වුණා. ශ්‍රී ලංකාවේ විදේශ ණය බර අති විශාලයි. 2019 සිට 2023 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 4ක් දක්වා පමණ වන ණය ගෙවිය යුතුයි. එහෙත්, ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පවතින්නේ ඉතා දුබල තත්වයකයි.

රටේ තිබෙන දේශපාලන අර්බුදය නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන්නට සිටි ණය මුදලකුත් නවත්වා තිබෙනවා. මේ ණය පාවිච්චි කරන්නට නියමිතව තිබුණේ රටේ විදේශ සංචිත ශක්තිමත් කරගන්නටයි. 2016 ජුනි 3 අනුමත කරන ලද ජාත්‍යන්තර අරමුදලේ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලින් ඩොලර් මිලියන 250කට ආසන්න හයවන කොටසයි මෙසේ නවතා දමා තිබෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙම ණය ලබා දී තිබෙන්නේ පුළුල් ආර්ථික ප්‍ර‍තිසංස්කරණ සිදුකිරීමේ කොන්දේසි මතයි. කරන ලද ආර්ථික ප්‍ර‍තිසංස්කරණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම ණය වාරික වශයෙන් නිකුත් කරන්නේ. බදු ප්‍ර‍තිපත්තිය, ඉන්ධන මිළ සූත්‍ර‍ය වැනි ආර්ථික ප්‍ර‍තිසංස්කරණ ක්‍රියාත්මක කරනු ලැබුවේ මෙම ණය සඳහා කොන්දේසි ලෙසයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් කුමන විවේචන තිබුණත්, එම අරමුදල විසින් අවධාරණය කරනු ලබන්නේ රාජ්‍ය මුල්‍ය ස්ථාවරත්වය සඳහා අවශ්‍ය පියවරයි. එක් වකවානුවකදී සංවර්ධනය වෙමින් පවතින රටවල් අධික ලෙස ණය ලබාගැනීම වෙත යොමු කිරීම සම්බන්ධයෙන් හා ඒ ණය මත පදනම්ව සංවර්ධනය වෙනුවට දැවැන්ත දූෂණ සිදුවන්නට ඉඩහැරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සමාව දෙන්නට බැහැ. ඒ වුණත්, රජයේ ආදායම් හා වියදම් අතර තුලනයක් ඇති කරගැනීම හා ණය ගෙවීමට හා ණය ලබාගැනීමට පුළුවන් තත්වයක් පවත්වාගැනීම සඳහා මේ මොහොතේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන සහන ණය ඉතා වැදගත් වෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්ලග් එක ගැලෙව්වා කියා පුරසාරම් දෙඩූ දේශපාලකයන් ණය ලබාගැනීම නැවැත්වූයේ නැහැ. ඒ වෙනුවට කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පොළියට වඩා ඉහළ පොළියට ණය ලබාගැනීමයි.

ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ප්‍ර‍තිපත්ති නිසාත්, ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිසාත්, ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි සහ භාණ්ඩාගාර බ්ල්පත් හා බැඳුම්කර ආදියෙහි ආයෝජනය කර තිබුණු විදේශ ප්‍රාග්ධනය රටෙන් පිටට යාමේ දරුණු අර්බුදකාරී තත්වයකුත් මේ අතර පවතිනවා. පසුගිය මාස තුනක පමණ කාලය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල 10%ක් පමණ අවප්‍ර‍මාණ වුණා. දැන් එය තවත් වේගවත් වෙමින් තිබෙනවා.

උවමනාවෙන් ඇති කරගන්නා ලද දේශපාලන අස්ථාවරත්වයත්, ගෝලීය මුල්‍ය තත්වයනුත් හේතුවෙන් රජයට ගෝලීය මුල්‍ය වෙළඳපොළෙහි තිබෙන විශ්වාසය අඩු වන්නට පුළුවන්. රටට ඇදී එන ඍජු විදේශ ආයෝජන අඩු වන්නට පුළුවන්. ඒ වගේ ම ජාත්‍යන්තර ණය දෙන්නන්ගෙන් ලැබෙන ණය ප්‍ර‍මාණය ද අඩු වෙන්නට පුළුවන්. ශ්‍රී ලංකාව ප්‍ර‍ධාන වශයෙන් ම විදේශ ණය ලබාගන්නේ ගත් ණය ගෙවන්නටයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් 2019 ජනවාරි පළමු කාර්තුවේ කල් පිරෙනවා. ජනවාරි 15 වන විට ඩොලර් බිලියනයකුත් අප්‍රේල් වන විට ඩොලර් මිලියන 500කුත් ආපසු ගෙවිය යුතුයි. ඒ ණය ගෙවන්නට යන්නේ කොහොමද කියා දන්නවා ද? චීන සංවර්ධන බැංකුවෙන් වාරික ණයක් ලෙස ඩොලර් බිලියනයක් හෝ බිලියන් 1.5ක් ලබාගන්නා බව මහ බැංකු අධිපති ඉන්ද්‍ර‍ජිත් කුමාරස්වාමි පසුගියදා පැවසුවා. හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දී ලබා ගන්නා මුදල වන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.1න් තව ඩොලර් මිලියන 645ක් ලබන අවුරුද්දේ පළමු කාර්තුවේදී ලැබෙන්නට නියමිතයි. කලින් ගත් මුදලිනුත් කළේ ණය ගෙවන එකයි. මේ මුදලුත් යොදවන්නේ ණය ගෙවන්නට ම තමයි.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත පවතින්නේ එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5 – 7 අතර මට්ටමේයි (රන් හා එස්ඩීආර් හැර). එය ශක්තිමත් කරගැනීමට අසමත් වීමත් මූඩි ආයතනය විසින් ශ්‍රී ලංකා රජය අව ප්‍ර‍මාණනය කරන්නට එක් හේතුවක්. එය සිදු වන්නේ බාහිර අවදානම් දර්ශකය අනුවයි. එය වනාහි ඊළඟ වසරේ ගෙවීමට නියමිත ණය හා විදේශ විනිමය අතර අනුපාතිකයයි. 2019, 2020 අවුරුදුවලදී මෙය 180%ක් පමණ වෙනවා.

මෙම සංදර්භය තුළ ශ්‍රී ලංකා රජය කරන්නේ විවිධාකාර ණයගැනීමේ ක්‍ර‍ම සොයා යාමයි. රජය ණය ගන්නවාට අමතරව රජයේ බැංකු හරහා ද රජය ණය ගන්නවා. විදේශ ණයට අමතරව දේශීය වශයෙනුත් විශාල වශයෙන් ණය ලබා ගන්නවා.

රාජ්‍ය අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් 5%ට අඩු මට්ටමක තබාගැනීමට කටයුතු කිරීමෙන් රජයට ණය බර අඩු කරගැනීමට පුළුවන්. 2017දී රජයේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 77%ක්. එය 2020 වන විට 75% දක්වා අඩු වනු ඇතැයි මූඩි ආයතනය පුරෝකථනය කරනවා. මෙම තත්වය තුළ ශ්‍රී ලංකා රජයට අයවැය පරතරය පියවා ගැනීමටත්, ණය ගෙවීමටත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 19%ක පමණ ප්‍ර‍තිශතයක ණය ලබාගැනීමට සිදු වනු ඇතැයි මූඩි ආයතනය පවසනවා. 2020 වන විට මෙය 15%ක පමණ මට්ටමට ලිහිල් වනු ඇති. මේ අතර රජයේ ආදායමෙන් 40%ක් පමණ වැය වන්නේ පොළී ගෙවීමටයි.

මේ සංඛ්‍යා දත්තවලින් හෙළිදරව් වන කරුණ වන්නේ ශ්‍රී ලංකා රජය යනු පහසුවෙන් පාලනය කළ හැකි වාහනයක් නොවන බවයි. රෝද හතර එක එක පැතිවලට යන මේ වාහනය පදවන්නට භාර ගන්න පුද්ගලයින්ගෙන් ඇත්තට ම ‘දැන් සැප ද?’ කියා ඇසිය යුත්තේ අපයි. ඔවුන්ට ආතතිය නැති වන්නට ඇත්තේ එක ම හේතුවකි. එනම් වගකීම් විරහිතකමයි. භාණ්ඩාගාරයේ හා මහබැංකුවේ නිලධාරීන් දත කාගෙන ගිනුම් තුලනය කරද්දී දේශපාලකයන්ට කා, බී, සවාරි ගසා විනෝද වීමට අවස්ථාවක් ලැබෙන හෙයිනි.

මෙවන් අවස්ථාවක, මෙවන් අසීරු ආර්ථික තත්වයක් තුළ වගකීමක් සහිත දේශපාලකයන් අතින් සිදු විය යුත්තේ බල අරගල නොවේ. රටේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමයි. මන්ද, එය ආර්ථිකයේ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන හෙයිනි. මෙවන් ණය බරක් මැද ප්‍ර‍ාතිහාර්ය පෙන්නන්නට කාටවත් බැරි ය. එසේ කරන්නට පුළුවන් යයි කීම පල් බොරුවකි. ජනතාව රවටන මායාවකි. ඇත්ත තත්වය විග්‍ර‍හ කර නොගෙන මතුපිටින් අතපත ගාමින් කටට ආවාට කියන්නකි. වගකිවයුතු දේශපාලකයන් ජනතාවට ඇත්ත වසන් නොකළ යුතු ය. ගැටලුව පිළිබඳ ජනතාව සමග විවෘතව සාකච්ඡා කළ යුතු ය. බොරු බලාපොරොත්තු නොදිය යුතු ය. සිහින නිර්මාණය නොකළ යුතු ය.

බලය කවුරු ගත්තත් අප හමුවේ තිබෙන්නෙ සීමිත විකල්ප ප්‍ර‍මාණයකි. මූලිකව ම අප ණය ගෙවිය යුතුව තිබේ. ණය ගෙවන්නට තව තවත් ණය ගත යුතුව තිබේ. ඒ අතරවාරේ මේ ණය උගුලෙන් ගැලවීමේ මං සෙවිය යුතු ය. ශ්‍රී ලංකාවට ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා කටයුතු කිරීම එක් විසඳුම් මාර්ගයකි. ඒ අතරවාරයේ තිබෙන සංචාරක කර්මාන්තය වැනි දේ රැකගත යුතු ය. දැන් කරන දේවලින් සිදු වී තිබෙන්නේ ලංකාවට එන්න සිටි බොහෝ සංචාරකයින් ද තම සංචාර අවලංගු කිරීමයි. දේශීය නිෂ්පාදනය සංවර්ධනය කිරීම සඳහා ලංකාවට තිරසර වැඩසටහනක් අවශ්‍ය ය. මේ රට මේ අගාධයෙන් ගොඩගත යුතු ය. එහෙත් එය කළ හැක්කේ බොරු මැජික්කාරයන්ට නොවේ. යථාර්ථය ඇති සැටියෙන් ගෙන නිර්මාණාත්මකව සිතන මිනිසුන්ට ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *