බස් ගාස්තු වැඩි කිරීමට පක්ෂ බස් මගියෙකුගේ අදහසක්

පැරාගේ කාටුන් එකක්. මුලින් පළ වුණේ www.ivoice.lk

බස් ගාස්තුව 12.5%කින් වැඩි කර තිබේ. අවම ගාස්තුව රු. 12කි. ඒ වැඩි කිරීම සිදු වූයේ ඉන්ධන මිළ වැඩි කිරීමෙන් පසුව ය.

බස් ගාස්තුව දරා ගත නොහැකි පීඩිත ජනයා පිළිබඳ බස් හිමි ධනපති විරෝධී සුපුරුදු වාමාංශික කංකෙඳිරි අසන්නට ලැබේ. මේ කෙඳිරිල්ලේ රාළලා වැඩි දෙනෙකු පොදු ප්‍රවාහන භාවිතා කරන අය ද නොවේ.

එහෙත්, මෙම බස් ගාස්තු වැඩි කිරීම අසාධාරණ යයි මම නම් නොකියමි. එසේ කියන මම දිනපතා කිලෝමීටර් 150ක් පමණ පොදු ප්‍රවාහනයෙන් ගමන් කරන, ඒ වෙනුවෙන් දිනකට රු. 250-350 අතර මුදලක් වැය කරන කෙනෙක්මි. මගේ බස් ගාස්තුව රු. රු. 30-40 අතර මුදලකින් වැඩි වන බව මම දනිමි.

වැඩ කරන මිනිසෙකු වන මට තිබෙන ගැටලුව මේ ගාස්තු වැඩි වීම ම නොවේ. එය ගැටලුවක් වන දිළින්දන් සිටිය හැකි බව මම පිළිගනිමි. එසේම, බොහෝ දිළින්දන්ට අරක්කු, සිගරැට්, බුලත් විට මිළ වැඩි වීම, දේවාල කපුවන්, කට්ටඩියන්, හොර වෙදුන් හා ජ්‍යෝතිෂකාරයන් ගණන් වැඩි කිරීම ඒ හැටි නොදැනෙන බව ද මම දනිමි. මම දිළිඳුකමට ආදරය කරන වාමාංශිකයකු නොවන නිසාත්, දිළින්දන්ට ගැලපෙන පොදු ප්‍රවාහනයක් දැනටත් ඇති නිසාත්, මා ඒ ගැන ඒ තරම් සංවේදී නැත.

මට කුඩා කාරයක් ඇත. මගේ වැටුපෙන් එවැනි කාරයක් පාවිච්චි කරන්නට ද පුළුවන. එතකොට අනාගතයට ඉතුරුවක් නම් නැත. ඉතුරුවක් කර ගන්නට නම් මට විවේකයක් නැතුව වැඩ කරන්නට සිදු වනු ඇත. මම පොදු ප්‍රවාහනය භාවිතා කරමි. එයට හේතු කීපයක් තිබේ. සමාජයක දියුණුව සංකේතවත් වන්නේ හැම කෙනෙකු ම කාරයෙන් පාරට බැස ට්‍රැෆික් හා පරිසර දූෂණය වැඩි කිරීමෙන් නොවේ. දියුණු පොදු ප්‍රවාහනයක් පැවතීම දියුණු සමාජයක දියුණු ලක්ෂණයකි. සමාජය යහපත් තැනක් කිරීමට සටන් කරන ප්‍රගතිශීලීන් පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සටන් කළ යුතු ය.

හිඟන බස් ගාස්තුවට හිඟන බස් සේවා පවත්වාගෙන යා යුතු නම් ඒ ගැන ගැටලුවක් නැත. හැකි නම්, ඒවායේ සේවය කරන, විට කා පාර පුරා කෙළ ගසන, ළඟින් යන විට හඩු ගඳ හමන, බාබුල් කා ගංජා ගසා මගීන්ට සත්තම් දාන, හෝල්ට් එක පෙනි පෙනී මග බස් නවත්වා පාරවල් බ්ලොක් කරන, මාර්ග නීති නොතකන, ෆෝන් කණේ ගසාගෙන රේස් යන, විටෙක පැළ වෙන තරම් කොටන, කොච්චර කිව්වත් ටිකට් එකක් නොදෙන, රුපියලක් දෙකක් වංචා කර ගන්නට මාන බලන බස් සේවකයන් යම් විනයකට ගන්නට උත්සාහ කළ යුතු ය.

මේ රටේ බලවත් සමාජ තීරය වන මධ්‍යම පන්තිය බලාපොරොත්තු වන්නේ මෙවැනි හිඟන බස් සේවා නොවේ. සාධාරණ ගාස්තුවක් ගෙවා ගමන යා හැකි හොඳ සේවා ය. රජයේ සේවක සීසන් හිඟන්නන් වෙනුවෙන් පවත්වාගෙන යන දුම්රිය සේවා සම්බන්ධයෙන් ද කිව යුත්තේ මෙය ම ය.

පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවයේ ගැටලු නිසා මධ්‍යම පන්තිකයන් දිනෙන් දින එයින් ගිලිහී පෞද්ගලික ප්‍රවාහන මාදිලිවලට මාරු වෙති. ඒ අතර, මෝටර් සයිකල් හා ත්‍රිරෝද රිය වැනි අධි අවදානම් වාහන ද තිබේ. පොදුවේ ගත් කල මේ පෞද්ගලික ප්‍රවාහන මාදිලි හේතුවෙන් අධික වාහන තදබදයක් ද, පරිසර දූෂණයක් ද සිදු වේ.

දිනපතා බස් රථවල ගමන් බිමන් යන පුද්ගලයකු ලෙස මා හොඳින් දන්නා කරුණක් වන්නේ බස් කර්මාන්තය අධික ලාභදායී ව්‍යාපාරයක් නොවන බවයි. එසේ ම එය ධනපති ව්‍යාපාරයක් නොව, සුළු කර්මාන්ත එකතුවකි. පවත්නා අධික තරගකාරිත්වය හා මිළ අඩුකම නිසා බස් සේවකයන් හැසිරෙන්නේ දඩයමේ යන දඩයක්කාරයන් සේ ය.

බස් සේවා සඳහා අවශ්‍ය වන්නේ හොඳ නියාමනයකි. පවත්නා නීති ක්‍රියාත්මක කළ හැකි වටපිටාවක් සකස් කළ හැකි නම් පොදු ප්‍රවාහන සේවා ගුණාත්මකභාවය පහසුවෙන් වැඩිදියුණු කළ හැකි ය. අඩු ගාස්තු නොව, සාධාරණ ගාස්තු ක්‍රමයක් ඇති කිරීම එවැනි තත්වයක් නිර්මානය කිරීමට ඉවහල් වේ.

Please follow and like us:

2 thoughts on “බස් ගාස්තු වැඩි කිරීමට පක්ෂ බස් මගියෙකුගේ අදහසක්

  1. සමග අජිත් (Ajith Perakum Jayasinghe) සමග (මුල්වරට) 100%ක් එකඟ වෙමි. බස් ගාස්තු සම්බන්ධයෙන් ලිවීමට සිතාගෙන සිටියද අජිත් අවශ්‍ය දේ මටත් වඩා හොඳින් කියා ඇත. මම පොදු ප්‍රවාහනය (මෝටර්සයිකලයෙන් යාමට තිබෙන අධික ආශාව නිසා) බොහෝ අඩුවෙන් පාවිච්චි කළද මේ ප්‍රශ්නයේදී මගීන්ටත් වඩා පොදු ප්‍රවාහන සේවා වල පැත්ත ගනිමි. තුට්ටු දෙකට බස් හා දුම්රිය ටිකට් පත් අරගෙන සුපිරි සේවාවක් බලාපොරොත්තු විය නොහැක. සියලුම පොදු ප්‍රවාහන සේවාවන් පුද්ගලික අංශයට බාරදී රජය එය නියාමනය කළ යුතුය. සුද්දගේ කාලේ හැරී පොටර් කොච්චි වෙනුවට නවතම විදුලි දුම්රිය සහ ඉඩ පාඩු ඇති විශාල බස් රථ සේවයේ යෙදවිය යුතුය. අනිවාර්යයෙන්ම ගාස්තු වැඩි කළ යුතුය. පොතක් පතක් කියවමින්, (නියාමනය කළ) ගීත අසමින්, චිත්‍රපට බලමින් හෝ වයි-ෆයි හරහා අන්තර්ජාලය පාවිච්චි කරමින් මගීන්ට “සොමියේ” යා හැකි වන්නේ එවිටය. ඔවුන්ට අජිත් කී “ගොන් වැඩවලට – මැටි වැඩවලට” වියදම් කරන මුදල පොදු ප්‍රවාහන සේවාවලට ගෙවිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *