බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

අද ප්‍රභාකරන් ඝාතනය කළ දිනය.

ප්‍රභාකරන් කියන්නෙ ඝාතන අති විශාල සංඛ්‍යාවකට වග කිව යුතු කෙනෙකු නිසා පුද්ගලයකු ලෙස ඔහු ඝාතනය කර දැමීම ඉතා සාමාන්‍ය දෙයක්. අනෙක, ප්‍රභාකරන් අරගලය හෝ මරණය කියන දෙකෙන් එකක් ඉතා පැහැදිලිව තෝරාගෙන සිටි කෙනෙක්. ඔහු යටත් වුණේ නැහැ. මරණය දක්වා සටන් කළා. ඔහුගේ අරමුණ අනුව ඔහු කටයුතු කළා. ඔහු 100%ක් තමන්ගේ අරමුණ වෙනුවෙන් කැප වුණ කෙනෙක්. ඒ නිසා ඔහු ඒ අරමුණට ගරු කරන අයගේ වීරයකු වීම කාටවත් වළක්වන්නට බැහැ.

ඔහුගේ ඇතැම් සතුරන් ලබු කිරිබත් කාපු නරි වගේ හැසිරුණාට ප්‍රභාකරන්ගේ ප්‍රතිරූපයට එයින් කිසිදු හානියක් සිදු වන්නේ නැති නිසා සිංහල සමාජයේ කාඩ්බෝඩ් වීරයන්ට අප සහෝදරත්වයෙන් කියන්නේ නිකම් පැස්ටෝල් පුච්ච ගන්නෙ නැතුව වැඩක් ඇති වැඩක් කර ගනිල්ලා ය කියලා යි.

එහෙත්, ඔහුගේ ඝාතනය දේශපාලනික වශයෙන් සංකේතාත්මක කරන්නෙ දෙමළ ඊලාම් අරගලයේ එක් යුගයක අවසානය. ඒ නිසා ඒ සටන ජය ගන්නට නායකත්වය දුන්, රණ බිමේ සටන් කළ සියලු දෙනා වීරයන් වෙනවා. මහින්ද, ගෝඨාභය, සරත් ෆොන්සේකා, කමල් ගුණරත්න ආදීන්ට ඉතිහාසයේ හිමි තැන සලකුණු වෙන්නෙ එහෙමයි. ඒකත් කාටවත් වළක්වන්නට බැහැ.

හැබැයි, මැරිච්ච ප්‍රභාකරන්ට වගේ නෙමෙයි, මේ වැඩි දෙනෙකුට තමන්ගේ ගරුත්වය රැක ගන්නට බැරි වුණා. ප්‍රභාකරන් ජීවතුන් අතර හිටියා නම් ඔහුටත් ඒ දේ ම වෙන්නට තිබෙන ඉඩ වැඩියි. ඒක ජීවිතය කියන අභියෝගයේ හැටි. මරණය ඊට වඩා පහසුයි.

කෙසේ වෙතත්, මා කතා කරන්නට යන්නෙ වේලුපිල්ලේ ප්‍රභාකරන් ගැන නෙමෙයි, ඔහුගේ බාල පුතා වන ප්‍රභාකරන් බාලචන්ද්‍රන් ගැනයි.

මරා දමන විට ගැටවර විය එළිපත්තේ සිටි මේ ළමයා ජීවතුන් අතර සිටියා නම් දැන් හිරිමල් යෞවනයෙක්. දෙමළ අරගලය පදනම් වුණේ ආන්තික ජාතිවාදයක් මත. එය එක්තරා විදියක ආගමික ස්වරූපයකින් යුක්ත වූ දෙයක්. බාලචන්ද්‍රන් ජීවතුන් අතර සිටියා නම්, උතුරු කොරියාවේ ජනතාව කිම් ජොන් ඉල්ට බුහුමන් කරන මුග්ධ ආකාරයට දෙමළ සමාජයේ කොටසකුත් ප්‍රතිචාර දක්වන්නට ඉඩ තිබුණා. ඒ නිසා, ඇතැම් විට බාලචන්ද්‍රන් දරුවා මරා දැමීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හා හමුදාව ගත් තීරණය මිලිටරි වශයෙන් නිවැරදි ය කියා තර්ක කරන්නට පුළුවන්.

මෙවැනි දේ ඉතිහාසයේ සිදු වී තිබෙනවා. ලෙනින්ගේ, ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් යුත් රුසියානු කොමියුනිස්ට්වාදීන් සාර් අධිරාජයාගේ පවුල ම සමූලඝාතනය කළේ සුරතලේට ඇති කරපු බල්ලාත් එක්කමයි.

ඝාතනය නොකළත්, සිංහල රාජ වංශය වඳ කර දැමීම ඉංග්‍රීසීන් ලංකාවට කළ ලොකු සේවයක්. ගිරුවාපත්තුවෙ හරක් අයිතිකාර ගම්බාරයන් රජවරුන් වෙන්නට දඟලපු දැඟලිල්ල දැක්කා ම ඇත්ත රජුන් හිටියා නම් කොහොම හිටියි ද කියලා හිතෙනවා.

1989 කැරැල්ලෙදි ප්‍රේමදාස ආණ්ඩුවත්, කැරැලි මර්දනයේ නායකයා වුණ රන්ජන් විජේරත්නත්, හමුදාවත් විජේවීර පවුලේ ජීවිතය බේරන්නට තීරණය කරනවා. අවුරුදු 29කට පසුවත්, ඒ පවුල තවමත් අසරණ පවුලක්. විජේවීරගේ දරුවන් පස්දෙනා අතරින් කිසිවෙකු කැපී පෙනෙන නායකත්වයකට පත් වුණේ නැහැ. විජේවීර දේශනා කළ දහමේ ආගමික ස්වරූපයේ වෙනස්කම් එයට හේතු වෙන්නට ඇති.

හැබැයි, පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ චෝදනාවට ලක් වුණ අජිත් කුමාරගේ බිළිඳු දරුවාට මේ වාසනාව හිමි වුණේ නැති බවයි පෙනෙන්නේ. ඔහුගේ බිරියත්, දරුවාත් අතුරුදහන් වුණා.

ඕනෑ ම ක්ෂීරපායී සතකුගේ පැටවුන් කියන්නේ ආදරය හිතෙන සුරතල් වස්තු. එවැනි පැටවෙකු මරන්නට හැම තිරිසනෙකුට ම වුණත් අමාරුයි. මිලිටරි තීරණ නිසා දරුවන් මරා දමන්නට සිදු වුණ කීදෙනෙකු අපේ සමාජයේ තවමත් ජීවත් වෙනවා ද? ප්‍රභාකරන් මැරුවෙ අප යි කියලා ආඩම්බරෙන් කියන කාටවත් ඇයි කට ඇරලා කියන්නට බැරි බාලචන්ද්‍රන් මැරුවෙ අපි ය කියලා. ඒකට තීරණ ගත්තෙ අප ය කියලා. ඒ සම්බන්ධයෙන් පුද්ගලයන්ට දොස් කියන්නට බැහැ. දරුවන් මරන්නට සිදු වෙන යුද්ධයක් නිර්මානය කරන්නට දායක වුණ අපි හැමෝ ම ඒ වගකීම භාර ගත යුතු යි.

දරුවෙකු මරා දමන්නට සිදු වෙන එක කොයි තරම් පාපතර ක්‍රියාවක් ද? යුද්දෙ ආතල් එකක් නො වන්නෙ ඒ නිසා. යුද්දෙට ආවඩන මිනිසුන්ට දරුවකු මරන්නට පුළුවන් වෙන්න ඕනැ. බැරි අය යුද්දෙට විරුද්ධ වෙන්න. අපි විරුද්ධ ඒකයි.

බාලචන්ද්‍රන් ඝාතනය කියන්නෙ සිංහල බෞද්ධ හෘදය සාක්ෂියට කවදාවත් ගැලවෙන්නට බැරි වරදකාරී සාපයක්.

මේ කවිය මා ලිව්වෙ යුද්ධය අවසන් වූ අලුත. මා එය අවුරුදු පතා නැවත, නැවත පළ කරන්නෙ සිංහල මිනිහකු ලෙස මගේ ඒ වරදකාරිත්වය ප්‍රකාශ කරන්නටයි. හැබැයි, යුද්ධය කියන්නෙ කවි ලියන එක වගේ වැඩක් නෙමෙයි. ඒක හරි අමාරුයි. යුද්ධ නොකර ඉම්මු. යුද්දෙට පාර නොකපා ඉම්මු. balachandran

විස්කෝතු කන ළමයා 

ළමයෙක් සිටියි පිංතූරයක
බියපත් මුවපොව් දෑසින් බලමින්
විස්කෝතු කන
ප්ලාස්ටික් ජෝගුවෙන් දිය බොන

ළමයා සිටියි පිංතූරයක
බිය නැති දුක නැති
අඩවන් දෑසින් නිදන
ජීවිතේ සියලු බර
වාරු නොම දී
මහ‍ පොළවටම දී
පුංචිම සිදුරු කීපයක්
විනිවිද තිබේ හදවත

ළමයා නිදයි
සුවපත්ය ඔහු
සියලු දුකින්
නිදහස්ය ඔහු
අපෙන්

එහෙත්
ළමයා සිටියි පිංතූරවල
විස්කෝතු කමින්
නිදමින්
අපේ නෙත් අබියස
ඇසේ කටුවක් වෙමින්
හදවතේ ඇනුණු
පාපී ඉතිහාසයක් වෙමින්

ළමයා නිදයි
අපට නින්ද නොයයි

– අජිත් පැරකුම් ජයසිංහ

Balachandran dead

Please follow and like us:

19 thoughts on “බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

  1. පැරා, මේ කවිය ඉතිහාස ගලේ කෙටූ කවියක්.
    ඒකේ ආයේ අහන්න දෙයක් නැහැ.

    උඹ දවසක මැරිලා , වලලපු තැන උඩින් rail road එකක් දැම්මත් ( like what Trotsky did for Tsar in Russia) පරම්පරා ගනනාවකට පස්සේ වුවත් ඉතිහාසයේ වුනේ කුමක්දැයි සොයා ගැනීමට සුදුසු යතුරක් මේ කවිය.

    උඹට වාගේ රිදෙන හෘදය සාක්ෂියක් තියෙන තවත් අයෙක් තමයි රසික සූරියආරච්චි මැවිසුරුවා..පොරත් මේ ගැන කඳුලු එන කවියක් ලියලා තිබුන බව මට මතකයි.ඔහුට ගරු කිරීමක් ලෙස මෙය ලියා තබමි.

    වැඩේ කියන්නේ බං 60 දසකයේ ඉපදුන අපිට විතරද මේ රිදෙන හෘදය සාක්ෂි තියෙන්නේ ..අනිත් එවුන්ගේ පපු ඇතුලේ තියෙන්නේ කලුගල්ද?

    උඹට ජය!!

    1. ස්තුතියි ක්ලෙමන්ට්.

      මෙය ඉපදුණු දශකය පිළිබඳ ප්‍රශ්නයකටත් වඩා මිනිස්කම අමනුෂ්‍යකම අතර ප්‍රශ්නයක් බව මගේ වැටහීමයි.

  2. mu loku wela anek unge kara pitin nayakaya wela muge thathta wage unama ubalata hina wenna muna nathi wei……

    1. හරියටම හරි..ඔබේ කතාව.
      සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ වාගේම ගෝටාබය රාජපක්ෂටත් කෙතරම්ම අදාලද ඒ ප්‍රකාශය..?

  3. ත්‍රස්තවාදී අපතයන්ව නිකන් පොරවල් කරල. ලකුණු දා ගන්න හදන්න එපා බන්. ලොකු හෝ පොඩි හෝ නයා නයාමයි. පෙනේ මෝරන්නට පෙර නයා මරා දැන්මිය යුතුයි.

    1. සමාජයක ගැටලුවක් / අර්බුදයක් තියෙන වේලාවක ඒ අර්බුදය විසඳීමට අපි අපේ පෙර දැනුම භාවිතා කර ගැටලුව හා සම්මුඛ වී ඊට තාර්කික විසඳුමක් ලබා දීමය, ශිෂ්ඨ බව.නොඑසේනම් ගැටලුව විනාශ කිරීම හෝ මඟ හැර යාම නොවේ.

      නිදසුනක් ලෙසට පාසැලේදී ගණිත ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීමට සැරසෙන විට ඔබට ඒ ගැටලු විසඳීමට නොහැකි වන විට ප්‍රශ්න පත්‍රය කුරුටු ගා එය පොඩ් කර කීතු කීතුවලට ඉරා දැමීමෙන් ගනිත ප්‍රශ්න පත්‍රයට 1% හෝ ලබා ගත හැකියි කියා ඔබ සිතනවාද? ලකුණු ලැබෙන විට ඔබට 0% ලැබීම ගැන උරණ නොවන්න.

      අපි අපේ ජාතික ප්‍රශ්නය විසඳා ගත්තේද එලෙසය.
      ප්‍රශ්නයට අභිමානවත් ලෙස අභිමුඛ නොවී හැකි සෑම අවස්ථවකදීම එය මඟ හැර ගොස් ප්‍රශ්නය විනාශ කලා පමණි.ලංකා සමාජයට ජාතික ප්‍රශ්නයේදී ලැබුනේ 0% හෝ ඊටත් අඩු ගණනකි.
      (වැරදි පිලිතුරු දීමේ මාර්ගයක් අනුගමනය කිරීමට ගොස් සෘණ ලකුනුද එකතු විය)

  4. බාලචන්ද්‍රන් මල්මැරුනාද මැරුවාද මම දන්නෙ නෑ කොහොම උනත් වෙන්න ඕන දේ උනා ප්‍රභාකරන් ගැන මේකෙ දීල තියන වීර වික්‍රමාන්තික විග්‍රහය පුස්සක් බව ප්‍රභාකරන් අධ්‍යනය කල ඕනෑම කෙනෙකුට තේරෙන දෙයක්.
    නිවට ප්‍රභාකරන්ගේ පුතා මියයාම ගැන කතාකරන පෝස්ට් දමන එවුන් කැබිතිගොල්ලෑවේ අරන්තලාවේ වැලිකන්දේ ඩොලර් ෆාම් කෙන්ට් ෆාම් මියගිය දරුවන් ගැන කතා නොකිරීම ඔවුන්ගේ සෙලුව හෙලිදරවු කිරීමක්

    1. නවීන්,

      බාලචන්ද්‍රන් මරා දමා ඇති බවට ප්‍රථමවතාවට වෝහාරික ඡායාරූපමය සාක්ෂි මත පදනම්ව නිගමනය කලේ බ්‍රිතාන්‍ය විශේෂවේදීන් විසින්. ලංකාවේ forensic specialist ලා එය සිදු නොකලේ මන්දැයි අපි කවුරුත් දන්නවානේ. ඔබේ පැහැදිලි කිරීම සඳහා -forensic report එකට අනුව ඔහුට 30cm පමණ දුරක සිට වෙඩි දෙකක් තබා තිබෙනවා. ප්‍රභාකරන් මහතාව මරා දැමුවේ අපය කියන්නට පිරිසක් සිටියත් බාලචන්ද්‍රන් බාලකයාව මරා දැමුවේ අපයැයි කියන්නට අයෙක් නැති කොට මේ ලියවිල්ල මරණකරු වෙනුවෙන් කරන යුක්තිය ඉල්ලා සිටීමක්.

      අමතක නොකල යුතු කාරණය තමයි බාලචන්ද්‍රන් බාලකයා යනු POW කෙනකු වීමයි.මා අසන ශිෂ්ඨ සම්පන්න ප්‍රශ්නය නම් යුධ සිරකරුවකු ඝාතනය කිරීම සිදු වූයේ කෙසේද යන්නයි. ඔබගේ නිර්නායක අනුව ඔහු ප්‍රභාකරන් මහතාගේ පුතා වීමම (ඔහු යුධ සිරකරුවකු වීම පසෙකින් තිබියදී) ඔහුව ඝාතනය කිරීම යුක්ති සහගත කරන්නේද? ඔබ විසින් ” වෙන්න ඕනෑ දේ වුනා ” කියන්නේ ඒ මරණය යුධ අපරාධයක් සේ නොගිනිය යුතු බවටද?

      ප්‍රභාකරන් වීරයෙක්ද නිවටයෙක්ද යන්න තීරණය කිරීමට ඉක්මන් වෙන්න එපා. මොකද තවමත් ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳී ඉවර නැහැනේ. ලංකාවේ දේශපාලනයේ විජේවීර සාධකයවත් හරියට විග්‍රහ වෙලා නැති තත්ත්වයක් යටතේ ප්‍රභාකරන් සාධකය evaluate වෙන්න තව කල් යයි. පැරා මෙහි නිවැරදිව කියන ලෙසට ඔහුගේ මරණයෙන් සනිටුහන් වූයේ ලංකාවේ ජාතික ප්‍රශ්නයේ එක් episode එකක් විතරයි.

      ලංකාවේ සිවිල් යුද්ධය කියන්නේ එකපාරටම ලංකාවට කඩා වැදුනු සුනාමියක් නොවෙයිනේ.එය වසර 30 තිස්සේ ⁣ජයවර්ධන මහතාගේ සිට රාජපක්ෂ මහතා දක්වාම තමාට විරුද්ධව එන මිනිස් ප්‍රාණීන් සියුම්ව සැලසුම් කර උපරිම අන්දමින් මරා දමනු ලැබූ ක්‍රියාවලියක්. එතැනදී ප්‍රභාකරන් මහතා බවුන් වඩමින් නොසිට මේ ඝාතනවලට ඔහුගේ පාර්ශවයෙනුත් ගනන් එකතු කලා. එහි ප්‍රතිපලය ඩොලර්, කෙන්ට්, අරන්තලාව , කොළඹ, මුලතිවු, වන්නි ඈ සෑම තැනකම අඩු වැඩි වසයෙන් මිනිස් ප්‍රාණින් මරා දැමීමයි.

      බාලචන්ද්‍රන් තම මරණයෙන් ආලෝකය සපයන්නේ එක් ලක්ෂ්‍යකටයි..පැරාගේ අවසාන වාක්‍ය දෙක ඊට අනුප්‍රාණය සපයනවා.
      “.හැබැයි යුද්ධය කියන්නේ කවි ලියන එක වාගේ වැඩක් නොවේ. යුද්ධ නොකර ඉමු..යුද්දෙට පාර නොකපා ඉම්මු..”

      ඒ හඬ මට ඇසෙන්නේ යුද්ධයෙන් මරා දමනු ලැබූ සියල්ලන්ගේ හඬක් වාගෙයි.

  5. ප්‍රභාකරන්ගේ පුතා වෙනුවෙන් උනුවුනු හදවතට, ප්‍රභාකරන්ගේ බෝම්බ වලින් මියගිය සුවහසක් සිංහල දරුවන් අමතක වීම කෙතරම් සාහසිකද 😓😓😓

    1. ෂ්‍යමිලා,

      බාලචන්ද්‍රන් බාලකයා යනු යුද්ධය නිසා මියගිය තවත් එක් දරුවකු විතරයි.ඔහුව මෙසේ කැපී පෙනෙන්නේ යුධ නීතිය සාපරාධි ලෙස උල්ලංඝනය කර ලංකා හමුදාවේ යුධ සිරකරුවකුව සිටියදී මරා දැමීම නිසායි.

      මේ මිනිමැරුම අපව කැඳවා යන්නේ නැවත යුද්ධයක් කරා අප සමාජය නොමෙහෙය විය යුතු බවට පාලක මරිමෝඩයන්ට බල කර සිටීමටයි. පැරාගේ ලියවිල්ලේ අකුරු අතර පනිවිඩය එය බවයි මට හැඟෙන්නේ . අපි ඒ දෙය කරමු.

      මැරෙන්න ඉස්සෙල්ලා බාලචන්ද්‍රන් දෙමල; බාලසූරිය සිංහල. මරණයෙන් පස්සෙත් එසේමද?

    2. අංගුලිමාල 999කු මරා දමන තුරු බුදුන්ගේ රේඩාර් එක ඔන් නොවීම කෙතරම් හාස්‍යජනක ද?

  6. Monada bn me ubala karanne ubala wage un thama ape jathiya paawa denne nikan porawal wenne nathuwa hitapalla

    1. උඩුගම්පළගේ ප්‍රනන්ද,

      ජාතිය පාවා දීමක් සිදුවනවා නම් සිදු වන්නේ යුධ අපරාධ නොවලහා ඉදිරිපත් නොකිරීමෙන් පමනි. සුප්‍රකට නියුරෙම්බර්ග් නඩු විභාගයෙන් පසුව ජර්මනිය අලුත් හුස්මක් ගෙන ශිෂ්ඨ සම්පන්න ලෝකයක් වෙතට පා නැඟුවේ ඒ සියලු හෙලිදරව්වලට මුහුණ දෙමිනි.

      ලංකාවේ සිවිල් යුද්ධයෙන් එක් සිවිල් වැසියකු හෝ මිය නොයාම (රාජපක්ෂ රෙජීමයට අනුව) සමහර විට ඔබේ ඉල්ලීම සාධාරනීකරනය කරනු ඇත.
      අනේ එය එසේ සිදුවුනා නම් කෙතරම් අගනේද!!

  7. යුද්ධය කියන්නේ හොඳ නරක තේරුම් ගන්න දෙයක්නෙවෙයි. අද මෙහෙමයි ඊයෙ මෙහෙමයි කිය කිය ඉන්නවට වඩා එතැනට නොඑන්න අපි කවුරුත් වග බලාගන්න ඕන. ‍ප්‍ර‍භාකරන් විජේවීර එක මල්ලට දාන්නේ දේශපාලනය තලු මරන මිනිස්සු. අරමුණු දෙකයි ක්‍ර‍ම දෙකයි. ඒකත් හරියට බුද්ධාගමට මාක්ස්වාදය එකතු කරනවා වගේ. හොඳ වෙලාවට අපිට තෙල් නැහැ. එහෙම වුණා නම් අපිට යුද්ධය ගැන කතා කරන්න වෙන්නේ වෙන විදිහකට (ඒක හින්ද තෙල් මිල ටිකක් වැඩි වුණාට කෑගහන්න ඕන නැහැ)

  8. MAMA HITHANNE LANKAWATA PRABAKARANTA WADIYA VINASAYAK KALA PALANAYA KARAPU APE PALAKAYO JR PREMADASA,MAHINDA ,RANIL MAETREE .PRABAKARAN KIYANA CHARITHAYA SAHA LTTE SANVIDANAYA BIHIKARANNETH NIDAHASIN PASSE APE RATA PALANAYA KALA NAYAKAYO.PRABAKARAN UGE JATHIYATA WENAMA BIMAK GANNA LOKU SATANAK KALA DEMALA JATHIYATA PRABAKARAN VIRUWEK WENNA ONA.APE SINHALA JATHIYATA EWAGE VIRUWO BIHIWUNE NEHA NIDAHASIN PASSE. 48 NIDAHASIN PASSE BIHIWUNE MAHAJANA SAMPATH KOLLA KANA JAJHIKA HANGEEMAK NATHI RATA JATHIYATA ADAREI KIYALA PAPUWATA THAFIBAGANN PARA THUPPAHI PALAKAYO DENATATH VINASA KARAMIN YANAWA .DEMALA AYATA SATHUTU WENNA PULUWAN PRABA WAGE MINIHEK DEMALA JATHIYATA BIHIWEEMA GENA .APITA PULUWAN DUK WENNA MERATA VINASA KARANA SAKKILI PALAKAYO BIHIWUNATA

  9. පැරා,

    මමනම් මෙය දකින්නේ සන්සන්දනත්මකවයි, ඔබට මතකද ප්‍රබාකරන්නේ අන පරිදි මව් වරුන්නේ අතේ සිටි කිරිදරුවන් පෙතිගසා මරාදමපු විදිය ඔබට මතකද රත්වෙච්ච උණු තෙල් තාච්චියට අලුත ඉපදුන බිලිදු දරුවන් ප්‍රබාකරන් ගේ අන පරිදි දාපු විදිය, මෙච්චර මෙලෙච්ච යුගයක ඔබ කියනවනම් මේ පින්තුරය ලබාගෙන තියන්නේ හමුදා අත්අඩංගුවේ සිටින විටයි කියල ඔබට පේනවද බිස්කට් සහ යමක් බිමට මේ දරුවට දී ඇති බව ?

    මෙයත් හොදටම ඇති නේද නියම මෙලෙච්චයෙන් හදුනාගන්න, LTTE දරුවන් පෙතිගාසා මැරූ පසුත් විදේශ වල විවිද ද්‍රවිඩ සංවිදාන සහා ngo ඔවුන්ට ආදාර කළා නේද ?

    ඔබට තේරුම් නොයන අනෙක් කරුණ මේ දරුවා ව මැරීමට හමුදාවට උවමනා උනානම් ඔහුට බිස්කට් ලබාදෙයිද ? මෙතන සිදුවී ඇත්තේ ඉහල අනකින් මෙය සිදුවීමයි මම හිතන විදියට සරත් ෆොන්සේකා හෝ රටේ ජනාධිපති නොදැනුවත්ව මෙය සිදුවිය නොහැකියි, නමුත් හමුදාව මෙලෙච්ච විදියට ක්‍රියා කරානම් මේ දරුවාගේ අතේ බිස්කට් පැකට්ටුවක් තියෙන්නේ නෑ.

  10. My Idea is This child Killed By LTTE
    Reason – If he is in Army Custody he will not stay like this free mind and his face is so peaceful and no any fear. its mean he is with his friend and colleges.
    after killed there are some ppl with slippers so army not use slippers

Leave a Reply

Your email address will not be published. Required fields are marked *