මනරංජන වැඩවර්ජන හෙවත් මතුගම බස් වර්ජන මළ කෝලම

බස් කාටුන්
කාටුනය සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතෙනි.

මාතෘකාවේ තිබෙන නම හෙන්රි ජයසේනගේ නාට්‍යයක ය. වැඩ වර්ජනය කිරීම යනු කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමට තිබෙන අවසන් මෙවළමයි. එහෙත්, වර්තමානය වන විට වැඩ වර්ජනය යනු විහිළුවක් බවට පත් වී තිබේ. මෙවැනි භයානක විහිළුවක් මම පසුගිය සඳුදා උදෑසන මතුගමදී දුටුවා.

කලින් දවසේ පොඩි පාටියකට ගිය නිසා ඇහැරෙන්න පොඩ්ඩක් පරක්කු වුණා. ඒ නිසා මම ටවුමට යනකොට වෙනදාට වඩා පැය බාගයක් විතර ප්‍රමාදයි. මම සාමාන්‍යයෙන් වැඩට යන්නෙ මතුගමින් පිටත් වෙන ඒසී බස්වල.

මෙන්න බොලේ ඒවා ස්ට්‍රයික්ලු. වෙනදා බොහොම සාමාන්‍ය විදියට ඉන්න බස් කොන්දොස්තරලා, ඩ්‍රයිවර්ලා එදා බස් නැවතුම්පොළේ මොබ් එකක් වෙලා. මං ඉතින් ඩේලි යන කස්ටමර් නිසා වෙන්න ඇති මට එක්කෙනෙක් හෙමින් සැරේ කිව්වා, ඉක්මණින් නෝමල් එකක හරි යන්න, තව ටිකකින් ඒවත් නවත්තනවා ය කියලා.

වර්ජනයට හේතුව කවුරුවත් හරියට ම දන්න බවක් පෙනුණෙ නැහැ. කීපදෙනෙකුට සවන් දීලා දැන ගත් විදියට සෙනසුරාදා ඒසී බස් එකක් සම්බන්ධව ඇති වුණ පොඩි කසිලියක් නිසා කවුරුහරි කොන්දොස්තර කෙනෙකුට ගහලා. මෑන් ඉස්පිරිතාලෙලු. පොලිසිය ගහපු කෙනාව අත්අඩංගුවට අරගෙන නැහැ ලු. ඒ මොකක් හරි විශේෂ හේතුවක් නිසා ද කියලාත් කවුරුවත් දන්නෙ නැහැ.

මේ මොබ් එක විසින් එන එන බස් තර්ජනාන්විතව හරවා ඇරියා. ඒ විතරක් නෙමෙයි, ඉතා ම ත්‍රස්තවාදී වැඩකුත් මගේ දෑස් ඉදිරිපිට ම කළා. පැලවත්තෙ හරි පිටිගල ඉඳලා හරි එන අධිවේගී මාර්ගයේ යන මාකෝපෝලෝ බස්සෙක ත්‍රීවීලරයක් හරස් කරලා නවත්තපු බස් මැරයෝ ඒ මගීන්ව බලෙන් බස්සෙකෙන් බස්සලා බස්සෙක ආපහු යැව්වා. මේ කිසි දෙයක් වෙනකල් පොලිසිය හෝ ආවෙ නැහැ. මේ වෙනකොට මං මේ ගැන 119 හරහා පොලිසියට දන්වලායි තිබුණෙ.

ඉරිදාත් බස් දුවපු මේ කාලකණ්ණි ස්ට්‍රයික් එක පටන් ගත්තෙ සඳුදා උදේ. තමන්ගෙ බස්වල යන මගී ජනතාවගෙන් ම පළි ගන්නටයි මේ බලු වැඩේ කළේ. සඳුදා උදේ සෙනගත් වැඩියි. ඒ අතරින් සමහරු අධිවේගී මාර්ගයේ යන අය. ඒ මාර්ගයේ යන්නෙ ඒසී බස් විතරමයි. සමහරු මතුගම සිට කඩවතට ගිහින් එතනින් නුවර, අනුරාධපුරය පැතිවලට යන අය. මේ හැමෝ ම බස් නැවතුම්පළේ රස්තියාදු වුණා. සමහරු නෝමල් බස්වල නැග්ගා.

මේ වර්ජනය සම්බන්ධ අදාළ තැන් කීපයකට දන්වන්නට පියවර අරගෙන ආපහු හැරිලා ගෙදර යන්නට සිටි මට අහම්බෙන් වාරිමාර්ගෙ වැඩ කරන සම්පත් මල්ලිගෙ කාරෙකේ ලිෆ්ට් එකක් ලැබුණා. මං ඒකෙන් කළුතරට ගිහින් සමුද්‍රෙ නැගලා වැඩට ආවා.

මේ සිද්ධිය මතුගම එජාප සංවිධායක පළාත් සභා මන්ත්‍රී ජගත් පී. විතානට දැන්වූවා ම ඔහු කිව්වේ ඔහුගේ බස් නම් ධාවනය කරන බවයි. ඒ නායකත්වය පිළිබඳ ඔහු දන්නා තරම. තමන් දේශපාලන නායකයකු හෝ මහජන නියෝජිතයකු බව ඔහුට මතක් වුණේ නැහැ. ඔහුට ක්ෂණිකව මතක් වුණේ තමන් බස් මුදලාලි කෙනෙකු බව පමණයි. පස්සෙ මොනවා හරි කළා ද මම දන්නෙ නැහැ.

අජිත් පී. පෙරේරා ඇමතිවරයාට කතා කරන්නට උත්සාහ කළාට දුරකථනයට පිළිතුරු ලැබුණෙ නැහැ.

උදේ පාන්දර වුණත් රිං දෙක තුනක් යනකොට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන පිළිතුරු දුන්නා විතරක් නෙමෙයි. මේ පිළිබඳව සොයා බලන්නට අදාල තැන්වලටත් වහා දැන්වූවා. ඒ අංශ වහා ක්‍රියාත්මක වුණා. ඒ මැදිහත් වීම මගී ප්‍රවාහන ප්‍රඥප්තිය සංශෝධනය කළ යුතුයි කියන තැන දක්වා ම ඉදිරියට ගෙන යන්නට රජයේ නිල පුවත් වෙබ් අඩවියට පුළුවන් වුණා. විස්තර මෙතැනින් >>

මෙවැනි වර්ජනවලට හේතු අතර මුලින් ම තියෙන්නෙ බස් කර්මාන්තයේ තිබෙන අවිධිමත්භාවය. දෙවෙනි එක තමයි රටේ නීතියේ ආධිපත්‍යයක් නැතිකම. පොදුවේ ගත්තාම හරිහමන් පාලනයක් නැති අරාජිකකම. තුන්වන කාරණේ තමයි පොලිසියේ අකාර්යක්ෂමකම. හතරවෙනි එක මගී ජනතාව විදියට අපි නිවටයන් බවට පත් වීම.

අප ජීවත් වන රට ගැන බැරෑරුම්ව හිතන පාලක පිරිසක් අපට අවශ්‍යයි. දැනට එච්චරයි.

Please follow and like us:

2 thoughts on “මනරංජන වැඩවර්ජන හෙවත් මතුගම බස් වර්ජන මළ කෝලම

  1. මම 1996 වසරේ සිට අවුරුදු ගණනාවක් රාජකාරී කටයුත්තකට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සේවය කලා. එයට කලින් මා සිටියේ මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ. එම රටවල එවකට තිබුණ පොදු ප්‍රවාහණය අදටත් ලංකාවේ නැහැ. තානාපති කාර්යා‍ලයෙන් මට වාහණයක් දී තිබුණත් මම ගමන්කලේ පොදු ප්‍රවාහණයෙන්. ඒ කියන්නේ මොස්කවි නුවර ප්‍රොපසයුස්නයා සිට ප්‍රොස්පෙක්ටිමීරා දක්වා මෙ‍ට්රෝ (උමං දුම්රියෙන්) තානාපති කාර්යාලයට ඉක්මණින් එනවා. ජිනීවා වල බස් එකෙන් උදේට දුව පාසැලට ඇරලවලා කාර්යාලයට එනවා.
    ඒ වුණත් වසර 22 කට කලින් ලංකාවේ පොදු ප්‍රවාහණය දැනට වඩා යහපත් බව කියන්නේ මම අලුත්ගම සිට කොළඹට ගමන් ගත්තේ සමුද්‍රදේවී දුම්රියේ කිසි තදබදයක් නැතිව. නමුත් අද! (විමල් ද සිල්වා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *