මහනුවර වාර්ගික ප්‍රචණ්ඩත්වය ඉහළට

Digana
Mobs on street (Photo: Colombo Telegraph)

මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙනිය කේන්ද්‍ර කරගෙන පැන නැගුණු ප්‍රචණ්ඩ ක්‍රියා හේකුවෙන් මේ වනවිට අඩු වශයෙන්  මුස්ලිම් ආගමික ස්ථාන 4ක්, නිවාස 37ක්, කඩසාප්පූ 46ක් සහ රථවාහන 35 ක් විනාශයට පත් වී ඇති බව වාර්තා වේ. (මූලාශ්‍රය: විකල්ප වෙබ් අඩවිය)

තත්වය පාලනය කිරීම සඳහා රජය මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතිය පනවා ඇත.

අද දහවල් කාලයේදී ද අකුරණ කඩ සාප්පු 25ක් පමණ ගින්නෙන් විනාශ වූ බව ද හින්දු පුවත්පතේ ශ්‍රී ලංකා වාර්තාකරු මීරා ශ්‍රීනිවාසන් පැවසී ය. කටුගස්තොට ප්‍රදේශයෙන් ද ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය.

මෙම ගැටුමට පූර්වයෙන් මහා පරිමාණයෙන් සිදු වූ ජාතිවාදී වෛරය ඇවිළවීමට විශේෂයෙන් සමාජ මාධ්‍ය වග කිව යුතු ය. මේ වන විට, සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් දැඩි සීමා කිරීම් ක්‍රියාත්මක වේ. මහනුවර ප්‍රදේශයේ ෆේස්බුක් භාවිතය අත්හිටුවා ඇත. දිවයින පුරා ම වට්සැප් හා වයිබර් අත්හිටුවා තිබේ.

‘දිගු කලක් තිස්සේ වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩ කුපිත කිරීම් නො තකා හරිනු ලැබුවේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය නිදහසේ නාමයෙනි. එය නතර විය යුතු ය. එවැනි ක්‍රියාවල යෙදෙන අයට එරෙහිව නීතියේ සියලු විධිවිධාන ක්‍රියාත්මක වනු ඇත,’ යි ඇමති එරාන් වික්‍රමරත්න ට්විටර් පණිවුඩයක් තබමින් පැවසී ය.

මහනුවර දිස්ත්‍රික්කයේ තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති රැස්වීමකින් අනතුරුව මල්වතු හා අස්ගිරි මහනායක හිමිවරු පළමු වරට ගැටුම් පිළිබඳ ප්‍රකාශ සිදු කළ හ.

ලංකාදීප ඒ පිළිබඳ වාර්තා කළේ මෙසේ ය:

ජාතිය හා ආගම පදනම් කර ගනිමින් ගැටුම් ඇති කර ගැනීම සියලු ජාතීන්ගේ විනාශයට හේතු විය හැකි බවත් මේ මොහොතේ සැවොම ඒ බව සිහියේ තබා ගනිමින් කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මල්වතු අස්ගිරි උභය මහ විහාරීය අනුනායක හිමිවරු පැවැසූහ.

මේ අතර සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස්පති පූජිත ජයසුන්දර නිවේදනය කළේ ය.

හමුදාව හා පොලිසිය යොදවා ඇතත්, ඇතැම් විනාශකාරී ක්‍රියා වැළැක්වීමට ඔවුන් ක්‍රියා කර නැති බවට වින්දිතයන්ගෙන් චෝදනා එල්ල වේ. කැබිනට් ප්‍රකාශක, ඇමති දයාසිරි ජයසේකර ද මාධ්‍ය හමුවේ ඒ බව පිළිගත්තේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *