මහා දත්ත ලෝකයක මහජන සුරක්ෂාව හා දර්ශනයේ දුගීකම

අනිද්දාඅජිත් පැරකුම් ජයසිංහ විසින් අනිද්දා පුවත්පතේ මංගල කලාපයට ලියන ලද ලිපියයි. 

පසුගිය අප්‍රේල් 10, 11 දිනවල ෆේස්බුක් සමාගමේ ප්‍ර‍ධාන විධායක නිලධාරි මාක් සකර්බර්ග් එක්සත් ජනපද සෙනෙට් සභාවේ අධිකරණ හා වානිජ කමිටුව හමුවේ ප්‍ර‍ශ්න කිරීමකට මුහුණ දුන්නේ ය. පෞද්ගලිකත්වය පිළිබඳ නීති හා ආචාරධර්ම උල්ලංඝනය කරමින් ෆේස්බුක් දත්ත තුන්වන පාර්ශ්වයන් වෙත ලබා දීම පිළිබඳ වූ මෙම විභාගයේදී ඉලිනොයිස් නියෝජනය කරන චිමොක්‍ර‍ටික් පාක්ෂික සෙනෙට් සභික රිචඩ් ජේ. ඩර්බින් සකර්බර්ග්ගෙන් මෙසේ ඇසුවේ ය:

“පසුගිය රාත්‍රියේ ඔබ නතර වී සිටි හෝටලයේ නම කියන්නට පුළුවන් ද? මේ සතියේ ඔබ පණිවුඩ යැවූ පුද්ගලයන්ගේ නම් කියන්නට පුළුවන් ද?”

“මම එය මෙතැනදී ප්‍ර‍සිද්ධියේ කරන්නට ඉදිරිපත් වන්නේ නැහැ,” යනු සකර්බර්ග්ගේ පිළිතුර විය.

“මේ සියල්ල ම ඒ ගැන තමයි,” ඩර්බින් පැවසී ය. “ එය ඔබේ පෞද්ගලිකත්වය හා ඔබේ පෞද්ගලිකත්වයේ සීමා පිළිබඳවයි. ලොව වටා මිනිසුන් එකට යා කිරීමේ නාමයෙන් ඔබ නවීන ඇමරිකාවේ කරන දේ ගැනයි.”

මෙම විභාගය පැවැත්වීමට හේතු වුණේ 2016 වසරේ එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී කේම්බ්‍රිජ් ඇනලිටිකා නම් දේශපාලන උපදේශක සමාගමක් මිලියන් 87ක් ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ විස්තර ඡන්ද දායකයන් මනෝවිද්‍යාත්මකව විග්‍ර‍හ කර ගැනීම සඳහා භාවිතා කළ බව හෙළිදරව් වීමත් සමගයි. මෙම සමාගම ඩොනල්ඩ් ට්‍ර‍ම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය සමග සම්බන්ධ විය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ ජනමතවිචාරණයේදී ද එම සමාගම කටයුතු කර තිබේ. එය බ්‍රිතාන්‍ය සමාගමකි.

මෙය සිදු කරන ආකාරය වටහා ගැනීම වැදගත් ය. මෙවැනි සමාගම් කරන්නේ යම් උපායමාර්ගයකින් දත්ත ලබා ගැනීම සඳහා කිසියම් පිරිසකගෙන් කැමැත්ත ලබා ගැනීමයි. ඒ සමග ම එම පුද්ගලයන්ගේ ජාල හා සම්බන්ධ එමෙන් සිය දහස් ගුණයක් පුද්ගලයන්ගේ දත්ත වෙත පිවිසීමේ අවස්ථාව ඔවුන්ට ලැබේ. මෙවැනි ප්‍රවේශයන් හැක් කිරීම් වැනි නීති විරෝධී ක්‍රියා වන්නේ ද නැත. පෞද්ගලිකත්වය සම්බන්ධ සම්ප්‍ර‍දායික නීති හා මෙබඳු ක්‍රියා අතර ගැටුමක් තිබේ.

ඔවුන් කරන්නේ මෙමගින් පුද්ගලයන්ගේ රුචි, අරුචිකම් හා චර්යාවන් විග්‍ර‍හ කර ගැනීමයි. එතැනින් සියල්ල අවසන් වන්නේ නැත. ඉන් පසු එම රුචි අරුචිකම්වලට අනුකූල අන්තර්ගතයන් නිර්මානය කර ඒවායින් ඔවුන් පෝෂණය කරනු ලැබේ. ජන මනස තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්නේ එසේ ය. නිදසුනක් ලෙස, ෆේස්බුක්හි කිසියම් ලියමනකට දැක්වෙන ප්‍ර‍තිචාර විග්‍ර‍හ කර ගැනීමෙන් පසු එ් හා අනුකූලව තවත් මනෝ විද්‍යාත්මක අන්තර්ගතයන් නිර්මානය කළ හැකි ය.

මහජන කැමැත්ත නිෂ්පාදනය කිරීමේ මෙම ක්‍රියාවලිය අලුත් එකක් නොවේ. පුවත්පත ප්‍ර‍ධාන ජනමාධ්‍යය වූ යුගයේ පටන් ම මෙය සිදු විය. රේඩියෝව, රූපවාහිනිය පසු කරමින් ඉන්ටනෙට් වෙත පැමිණ තිබෙන වර්තමාන යුගයේදී එය ඉතා සියුම්, දැඩි තරගකාරී කටයුත්තක් බවට පත් වී තිබේ. ජංගම දුරකථන, සමාජ ජාල ආදිය හරහා මහා දත්ත කන්දරාවක් වෙත ප්‍රවේශය ලැබීම වර්තමාන යුගයේ තිබෙන සුවිශේෂත්වයයි.

දත්තවල රහස්‍යභාවය සම්බන්ධයෙන් නීති රීතිවල ගැටලුව ලෝක පරිමාණ ප්‍ර‍ශ්නයකි. දත්තවල ආරක්ෂාව පාලනය කරන ජාත්‍යන්තර යාන්ත්‍ර‍ණයක් නොමැති නිසා ඒ සම්බන්ධ තීරණ ගැනීමට සිදු වී තිබෙන්නේ ජාතික රාජ්‍යයන්ට ය. ලංකාව වැනි සංවර්ධනය වෙමින් තිබෙන රටවලට නම් මේ පිළිබඳ වගේ වගක් නැති බව කණගාටුවෙන් කිව යුතු ය. උදාහරණයක් ලෙස, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතන විසින් ගොනු කර ගනු ලබන දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳ පැහැදිලි වගවීමක් එම ආයතනවල ඇති බවක් නොපෙනේ. වර්තමානය වන විට ජංගම දුරකථන සමාගම් විසින් පුද්ගලයන් පිළිබඳ එකතු කර ගන්නා දත්ත ප්‍ර‍මාණය අති විශාල ය. ඒවායේ නීතිමය සුරක්ෂිතභාවය කෙසේ ද? ඒවා අපහරණය කිරීමට තිබෙන ඉඩනඩ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් අතර සංවේදීභාවය තිබෙන්නේ අවම මට්ටමක ය.

දත්ත සුරක්ෂිතභාවය පිළිබඳ ශ්‍රී ලාංකිකයන් සැලකිලිමත් විය යුතුව තිබෙන සුවිශේෂ හේතුවක් වන්නේ රටෙහි ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය පවතින අතිශය අවදානම් සහගත තත්වයයි. ජාතික හැඳුනුම්පත සඳහා වැඩිපුර දත්ත ලබා ගැනීමේ ක්‍රියාවලියට පවා සමාජයෙන් ප්‍ර‍තිරෝධයක් මතු වූමේ මෙම පසුබිම තුළ ය.

සමාජ ජාල භාවිතා කිරීමේදී හා පොදුවේ සමස්තයක් ලෙස ඉන්ටනෙට් භාවිතා කිරීමේදී ශ්‍රී ලාංකිකයන් දත්තවල සුරක්ෂිතභාවය පිළිබඳ දක්වන්නේ අඩු සැලකිල්ලකි. එයට හේතු රැසක් තිබේ.

1. දත්ත සුරක්ෂිතභාවය පිළිබඳ අවබෝධය හා සංවේදීභාවය අවම වීම: ඉන්ටනෙට් සමග සම්බන්ධ වීමේදී හා විශේෂයෙන් ම සමාජ ජාල පරිහරණයේදී තමන් අති විශාල දත්ත ප්‍ර‍මාණයක් ලබා දෙන බව බොහෝ දෙනෙකු දන්නේ නැත.
2. තාක්ෂණික දැනුම අවම වීම: දත්ත ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ සංවේදී වුණත්, බොහෝ දෙනෙකුට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ප්‍ර‍මාණවත් නැත.
3. භාෂා ගැටලු: මෙවැනි සංකීර්ණ කාරණා සම්බන්ධයෙන් ලිපි ලේඛන හා වීඩියෝ පැහැදිලි කිරීම් ආදිය සිංහල භාෂාවෙන් ලබා ගැනීමට නොහැකි වීම.
4. අනෙකාගේ පෞද්ගලිකත්වයට බලපෑම් කිරීමට තමන්ට තිබෙන හිමිකමෙහි සීමාව පිළිබඳ ඇති අවබෝධය අවම වීම.
5. පොදුවේ ම මාධ්‍ය ආචාරධර්ම පිළිබඳ සමාජ අවබෝධය අවම වීම හා සමාජ මාධ්‍ය ආචාරධර්මවලින් තොර කලාපයකැයි සිතීම.

වර්තමාන ඩිජිටල් යුගය යනු සමාජ පරිණාමයේ වෙනස් තත්වයකි. එය වෙනස් වන වේගයෙන් එය තේරුම් ගැනීමට අවශ්‍ය දාර්ශනික ඥානය සමාජයේ නිර්මාණය වන්නේ නැත. උදාහරණයක් ලෙස, අද ශ්‍රී ලාංකිකයන් අති බහුතරය ජංගම දුරකථන ඔස්සේ ජාලවලට සම්බන්ධ වී තිබේ. ස්මාට් දුරකථන භාවිතා කරන හැම කෙනෙකු ම පාහේ ඊමේල්, ලෝක ව්‍යාප්ත ජලය, සමාජ මාධ්‍ය වැනි දැවැන්ත ජාලයන් සමග සම්බන්ධ ය. මෙම ජාලයන් වෙත ප්‍රවේශය ඉතා අඩු මුදලකින් ලබා ගත හැකි ය. බොහෝ වෙබ් පාදක ඊමේල්, සමාජ මාධ්‍ය, වෙබ් අඩවි වැනි සේවාවන් නොමිළේ ලබා ගත හැකි බැවින් ඇතැමෙකුට ඒවායේ ව්‍යාපාරික පැතිකඩ අමතක වී යයි. මේ බොහෝ සේවාවන්ගේ ප්‍ර‍ධාන ආදායම් මාර්ගය වන්නේ වෙළඳ දැන්වීම් අලෙවියයි. ඒ සඳහා අවශ්‍ය යොමු කිරීම් කාර්යක්ෂම ලෙස කරනු පිණිස ඔවුන් විසින් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරනු ලැබේ.

මෙම සටහන තබන මොහොතේ මගේ අල්ලපු මේසයේ වැඩ කරමින් සිටි මිතුරිය අතිශය පෞද්ගලික ප්‍රජනන සෞඛ්‍ය කාරණාවක් පිළිබඳ ගූගල් සෙවුමක් කළා ය. ඇය එය කළේ ඇගේ මේස පරිගණකයේ ය. මොහොතකට පසු ඇගේ ජංගම දුරකථනයේ ෆේස්බුක් ඇප් එක හරහා ඇය වෙත ඒ හා සම්බන්ධ දැන්වීමක් එවා තිබිණි. ඉන්ටනෙට් සමග සම්බන්ධ වී සිටින ඔබ කිසි සේත් ම හුදකලා නැත. ඔබ පසුපස සිට අද්භූත සත්වයකු ඔබ කරන හැම දෙයක් ම නිරීක්ෂණය කරමින් සිටින බව වටහා ගත යුතු ය.

ඩිජිටල් යුගයේ පෞද්ගලිකත්වය, රහස්‍යභාවයේ සීමා හා ජාලගත වීමේ නිදහස අතර තිබෙන අන්තර් සම්බන්ධතා හා ගැටුම් විග්‍ර‍හ කර ගන්නට දාර්ශනික ප්‍රවේශයක් අවශ්‍ය ය. දාර්ශනිකයන් මුලින් උපන්නේ කිකිළි ද බිත්තරේ ද වැනි යල් පැන ගිය ප්‍ර‍ශ්න සමග පැටලී සිටින අතරතුර දර්ශනයේ රික්තයන් විසින් නිර්මානය කරනු ලබන අවපීඩනයන්ට ජනතාව ගොදුරු වී සිටිති.

සීසීටීවී කැමරාව ගැන මේ වන විට ඔබ යම් තරමකට හෝ දන්නවා ඇත. එය තේරුම් ගැනීම එතරම් අපහසු නැත. එය ඔබට හොරෙන් ඔබ දෙස බලා සිටින්නේ යම් සේ ද, මේ අද්භූත සත්වයා එමෙන් අනන්ත ගුණයකින් ඔබ නිරීක්ෂණය කරමින් සිටියි. එම සත්වයා ඔබ පිළිබඳ දන්නා තරම ඔබවත් දන්නේ නැත.

ඔබ ඉන්ටනෙට් සමග සම්බන්ධ නැති වුණත්, ඔබ දෙස පවා මේ අද්භූත සත්වයා බලා සිටියි. ෆේස්බුක් සමග සම්බන්ධ නැති පුද්ගලයන් පිළිබඳ නිර්මානය කරනු ලබන සෙවණැලි ගිනුම් හෙවත් ෂැඩෝ ප්‍රොෆයිල් කදිම නිදසුනකි.

මගේ 89 හැවිරිදි පියා කිසි දිනෙක අන්තර්ජාලය භාවිතා කර නැත. ඔහුට ජංගම දුරකථනයක්වත් නැත. මම ඔහුගේ නම ඉංග්‍රීසියෙන් යතුරුලියනය කර ගූගල්හි සෙවීමක් කර බැලුවෙමි. ඔහුගේ නම හා ලිපිනය ද, ඔහු සාම විනිසුරුවරයකු බව ද, කිසිදා ඔහු විසින් භාවිතා නො කරන ලද ජංගම දුරකථන අංකයක් ද සහිත විස්තරයක් ශ්‍රී ලංකා ටෙලිකොම් රේන්බෝ පේජස්වල මට හමු විය. එහි ෆේස්බුක් ලයික් බොත්තමක් තිබේ. එයින් අදහස් වන්නේ එම තොරතුරට පවා ප්‍රවේශය ෆේස්බුක් සතු බවයි.

ෆේස්බුක්හි පුළුල්බව නිසා මේ වන විට වැඩි අවධානයකට ලක් වී තිබෙන්නේ එය වුව ද, මෙම කරුණ ෆේස්බුක්වලට සීමා වී නැත.

Please follow and like us:

2 thoughts on “මහා දත්ත ලෝකයක මහජන සුරක්ෂාව හා දර්ශනයේ දුගීකම

  1. අන්තර්ජාලය බී වෙරිවී සිටින මිනිසුන්ගේ වෙරි බැස්සවීම සඳහා හිසේ උලන දෙහි බෑයක් ලෙස මේ ලිපිය හැඳින්වීමට මා කැමතිය

  2. අර තාත්තාගේ නමට ජංගම දුරකථනයක් තිබීම ගැන සොයා බලන්න. එය දරුණු තත්වයක්. කවුරුන් හෝ ඔහුගේ නමෙන් දුරකථනයක් මිළට ගෙන තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *