මිනීමැරුම්වලින් ප්‍ර‍කාශ වන ප්‍ර‍චණ්ඩත්වය අප වැපිරූ බීජවල අස්වැන්නයි

පසුගිය සතියේ සිදු වූ භයානක අපරාධ සිදුවීම් දෙකක් සමාජය දැඩි කම්පනයකට ලක් කිරීමට හේතු විය. මාතර සිදුවීමේදී බාල වයස්කාර සිසු පිරිසක් විසින් තවත් 19 හැවිරිදි පාසල් සිසුවකු ඝාතනය කරන ලදී. දෙවන සිදුවීමෙහිදී මොනරාගල තරුණයකු විසින් තරුණියකගේ ගෙල මිරිකා මරා දමන ලදී.

මාතර ඝාතනය සීසීටීවී කැමරාවක සටහන් වී තිබිණි. මොනරාගල ඝාතනය කිසියම් පුද්ගලයකු විසින් වීඩියෝ කර තිබිණි. රූපවාහිනී හා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම් අධි සංවේදී ලෙස වාර්තා කරනු ලැබීමට මෙම වීඩියෝ දර්ශන හේතු විය.

සීසීටීවී දර්ශන සිද්ධියක අධි සංවේදීකරණය සඳහා අතිශය වැදගත් ය. මෙම සතියේ තවත් මෙවැනි සිද්ධියක් වාර්තා විය. එහෙත්, වීඩියෝ දර්ශන නැති නිසා සමාජය ඒ ගැන එතරම් කතා කළේ නැත. එම සිද්ධියේදීත්, පාසලේ ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් 17 හැවිරිදි සිසුවකු ඝාතනය කරනු ලැබුවා. එයට සැක කරන ඝාතකයා වයස අවුරුදු 15ක සිසුවෙක්.

මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ ගම්බද ප්‍රදේශවලින් විතරක් නෙමෙයි. කොළඹ ප්‍ර‍සිද්ධ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් පාසල් බිමේදී ම තවත් සිසුවකුට පහර දී අතක් කඩාදැමීමේ සිද්ධියක් ද පසුගියදා වාර්තා වුණා.

ඒ කාලෙ නම් මේ වගේ නැහැ යි කීම මේ කාලේ වැඩිහිටියන්ගේ ස්වභාවයයි. ඒ කාලේ යනු කුමන කාලේ ද යන්න හා ඒ ඒ කාලවලදී මේ කාලයට වඩා වෙනස් ආකාරයෙන් තරුණයන් හැසිරී තිබේ ද යන්න වෙන ම අධ්‍යයනය කළ යුතුයි. තරුණ ප්‍ර‍චණ්ඩත්වය යනු අලුත් ගැටලුවක් නොවේ. අතීතයේදී ද තරුණයන් අතර ගැටුම් ඇති විය. පහරදීම්, මිනීමැරුම් ඇති විය. දේශපාලන කැළඹිලි, කැරැලි, වාර්ගික හා ආගමික් ගැටුම් ආදිය පැවති වකවානුවලදී තරුණයෝ දැඩි ලෙස ප්‍ර‍චණ්ඩත්වය සමග සම්බන්ධ වුණා. 1971 හා 1989 කැරැලිවලට සම්බන්ධ වී මිය ගිය හා අත්අඩංගුවට පත් වූ අය අතරින් අති බහුතරය තරුණ තරුණියන් වුණා. ඇතැමෙකු නවයොවුන් වියේ පුද්ගලයන් වුණා.

අතීතයට වඩා වර්තමානයේදී තරුණ ප්‍ර‍චණ්ඩත්වය වැඩි වී තිබේ ද යන්න නිගමනය කිරීම සඳහා විධිමත් සමීක්ෂණයක් අවශ්‍යයි. බැලූ බැල්මට පෙනෙන දෙය සත්‍ය නොවන්නට පුළුවන්. කෙසේ වෙතත්, අතීතයට වඩා හොඳ තත්වයක් වර්තමානයේදී නිර්මාණය වී නැතිනම් එය සමාජ සංවර්ධනය පැත්තෙන් බරපතල ගැටලුවක්.

කොහොම වුණත්, නූතන සමාජයේ තරුණ පරපුරට බලපාන අලුත් සාධක රැසක් තිබෙනවා. ඒ අතර, ජාතිවාදයේ හා ආගම්වාදයේ නැගීම, අධ්‍යාපනයේ දැඩි තරගකාරිත්වය, මාධ්‍ය බලපෑම, සමාජ මාධ්‍ය ප්‍ර‍වණතා, පරිගණක ක්‍රීඩා, ජංගම දුරකථන, මත් ද්‍ර‍ව්‍ය, සියදිවිනසාගැනීම් වැනි සාධක තිබෙනවා.

වත්මන් තරුණයා ජීවත් වන ලෝකය විග්‍ර‍හ කරගැනීම ඉතා සංකීර්ණ ප්‍ර‍ශ්නයක්. පෙර පාසලේ සිට ම තරුණයා මුහුණ දෙන්නේ දැඩි අධ්‍යාපන තරගකාරිත්වයකට. අධ්‍යාපනය බොහෝ දුරට විභාග සමත් වීමට හා අනෙකා අභිභවා කැපී පෙනීමටත්, එමගින් අවස්ථා ඩැහැගැනීමේ තරගයකටත් නැඹුරු කර තිබෙනවා. පාසලේ මූලිකව ම උගන්වන්නේ විභාග සමත් වීමට අවශ්‍ය විෂය කරුණුයි. පාසල ටියුෂන් වෙළඳපොළේ ගොදුරක් බවට පත් වී තිබෙනවා. මුදල් පසුපස හඹා යන ටියුෂන් ගුරුවරුන් සිසුන්ගේ පරමාදර්ශී චරිත බවට පත් වී තිබෙනවා.

සමාජ සම්බන්ධතා නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් දරුවන්ට පාසලෙන් ලැබෙන්නේ නැහැ. වර්තමානය වන විට පාසල දරුවාට ආදරය විඳින්නට ලැබෙන තැනක් ලෙස හැඳින්වීමට අපහසුයි. දැඩි ලෙස වානිජකරණය වූ ගුරුවරුන් අතර වෙළෙන්දන් වෙළෙන්දියන් ලෙස කටයුතු කරන අය බහුලයි. එසේම, පාසල් සංස්කෘතිය බොරු ආටෝපවලින් වැසී ගොස් තිබෙනවා. ජාතිවාදයේ, ආගම්වාදයේ හා පාසල්වාදයේ සරුවපිත්තල මේ අතරින් ප්‍ර‍ධානයි. වෙනත් රටවල පාසල් අතර තරගකාරිත්වය ඇති වන්නට නව ලිබරල් ප්‍ර‍තිසංස්කරණ හේතු වුණත්, ලංකාවේ පාසල් අතර තිබෙන තරගකාරිත්වය තරමක විකෘතියක්.

වික්ටෝරියානු යුගයේ එංගලන්ත සම්ප්‍ර‍දායන් අන්ධ ලෙස අනුගමනය කරමින් ලංකාවේ පාසල් ද තවමත් ලිංගිකව බෙදා තිබෙනවා. එසේ නොබෙදූ මිශ්‍ර‍ පාසල්වල පවා ළමයින් අතර ලිංගික බෙදීම් පුළුල් කිරීමට දැඩි උත්සාහයක් දරනු ලැබේ. පාසල්වල විෂයමාලාවලට ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය පිළිබඳ පාඩම් ඇතුළත් කර තිබෙනමුත් ඒවා නිසි පරිදි උගන්වනු ලබන්නේ නැහැ. 2013 ජාතික තරුණ සෞඛ්‍ය සමීක්ෂණය විසින් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 – 29 අතර ලක්ෂ 44ක තරුණ ප්‍ර‍ජාවෙන් 50%කට ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් තිබෙන්නේ සීමිත දැනුමක් බව හඳුනාගත්තා. 2015දී පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් නිවේදනය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ ගැබ්ගැනීම්වලින් 5.2%ක් සිදුවන්නේ නවයොවුන් වියේදීයි. ඇතැම් පළාත්වල එය 8-9% මට්ටමේ තිබෙනවා.

මේ සියලු අර්බුදවලට මුහුණ දෙන්නේ නිවසේදී හා පවුල තුළදීත් ගැටලු රැසකට මුහුණ දෙන දරු පරපුරක් බව අප අමතක නොකළ යුතුයි. දරිද්‍ර‍කාවට අමතරව, පෝෂණ ගැටලු, පවුල් ආරාවුල්, ගෘහස්ථ ප්‍ර‍චණ්ඩත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය, මත්පැන්, මත්ද්‍ර‍ව්‍ය, දුම්පානය, සියදිවිනසාගැනීම්, බෝ නොවන රෝග නිසා පවුල් තුළ ඇති වන ගැටලු, පොදු ප්‍ර‍වාහනයේදී සිදු වන හිංසනයන, සමාජාරක්ෂාව පිළිබඳ ගැටලු, අනාරක්ෂිතබව වැනි ප්‍ර‍ශ්න සමුදායකට ඔවුන් මුහුණ දෙනවා.

වයස අවුරුදු 10 – 24 අතර වයස් කාණ්ඩයට අයත් ජනගහනය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 28ක් පමණ වෙනවා. එනම්, රටේ මුළු ජනගහනයෙන් 1/3ක් පමණ. මේ පිරිස ජනගහන පාරිතෝෂිකයක් හෝ ජනවිකාස වාසියක් ලෙස සලකන්නට පුලුවන්. මේ තරුණ ප්‍ර‍ජාවේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම තමයි රටේ අනාගතය ගොඩනැගිය හැකි පාර. එහෙත්, සිදු වන්නේ එය ද? සෑම අවුරුද්දකම ලක්ෂ තුනත්, තුනහමාරත් අතර දරුවන් පිරිසක් ඉපදෙනවා. ඒත්, උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ වසරකට 30,000ක් පමණ වන පිරිසක්. ඒ ද උසස් පෙළ සමත්ව උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් පහෙන් පංගුවක් පමණ ප්‍ර‍තිශතයක්. 2014 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍ර‍ම බලකා සමීක්ෂණයේ දත්ත මගින් හෙළිදරව් වන්නේ වයස අවුරුදු 15-24 තරුණ ජනයා අතර 20.3%ක විරැකියා අනුපාතිකයක් ඇති බවයි. වයස අවුරුදු 25-29 තරුණ ජනයා අතර විරැකියා අනුපාතිකය 8.3%කි.

“අවවාදයයි! කුඩා ළමුන් හා සුළු දෙයටත් බියට පත් වන පුද්ගලයින්, හෘද රෝග සහිත පුද්ගලයින් සහ නැරඹීමෙන් පසුව ආතතික තත්වයට පත් වන පුද්ගලයින් මෙම ප්‍ර‍වෘත්තිය නැරඹීමේදී සැලකිලිමත් වන්න.” මේ ඇතැම් රූපවාහිනී නාලිකා පසුගිය දිනවල සිදු වූ සිදුවීම් විකාශය කරන්නට පෙර ප්‍ර‍චාරය කළ නිවේදනයක්. එතරම් සංවේදී බව දැන දැන ම ඔවුන් ඒ ප්‍ර‍චණ්ඩ ක්‍රියා වැඩි පිරිසක් රූපවාහිනී නරඹන ප්‍ර‍මුඛ කාල පරාසයන්හිදී ප්‍ර‍දර්ශනය කරන්නේ ඇයි? ජනමාධ්‍ය මෙම සිදුවීම් අලෙවි කරන බව පැහැදිලියි. සමාජ වගකීම පැත්තකින් තබා අපරාධ පිළිබඳ සංවේදී වාර්තාකරණය ඔස්සේ තම ජනප්‍රියතා ශ්‍රේණි ඉහළ නංවාගැනීමට ඔවුන් උත්සාහ කරන බවට සැකයක් නැහැ.

මෙවැනි වාර්තාකරණයන් හේතුවෙන් එවැනි ක්‍රියාවලට තරුණයන් තුළ පෙළඹීම් ඇති කරන්නට ඉඩක් තිබෙනවා. රූපවාහිනියේ පිටසක්වල ජීවීන් පිළිබඳ කතා විකාශය වන වකවානුවලදී මෙවැනි පිටසක්වළ ජීවීන් පැමිණෙන යානා දුටු අය පිළිබඳ වාර්තා මාධ්‍යවල නිතර පළවෙනවා. මේ දිනවල එවැනි වාර්තා එතරම් පළනොවන්නට හේතුව එවැනි රූපවාහිනී වැඩසටහනක් මෑත කාලයේදී ජනප්‍රිය නොවීම වෙන්නට පුළුවන්. එසේම, මෙවැනි අපරාධ පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ඇති වන ප්‍ර‍චාරණයන් හා සංවාද ද මහත් ගැටලුසහගතයි. මේ සමාජ මාධ්‍ය ප්‍ර‍තිචාර ඇතැම් විට වගඋත්තරකරුවන්ට දැඩි ලෙස හානිකර විය හැකියි. එසේම, එමගින් ඇතැම් විට වින්දිතයන්ව ද අගතියට පත් කරනවා.

මිනීමැරුම් වැළැක්වීමට නොගොස් වීඩියෝ කිරීම

ළමයින්ගේ, නවයොවුන් වියේ පුද්ගලයන්ගේ සහ තරුණයන්ගේ ආධ්‍යාත්මික වර්ධනයට පවුල, පාසල, ජනමාධ්‍ය වගේ ම සමාජයත්, විශේෂයෙන් ම ආගමික සංස්ථාත් දැඩි ලෙස බලපානවා. වර්තමානයේදී කුමන ආගම ඇදහුවත්, එයට කොයි තරම් බැතිමත් වුණත්, සමාජය ඉහවහා පැතිරී යන මහා ආගම වන පාරිභෝජනවාදයෙන් හා ආගමික අන්තවාදයෙන් මිදීමට එමගින් අවකාශ සලසන්නේ නැහැ. පසුගිය දිනවල රට පුරා පන්සල්වල පැවැත්වුණ කඨින පිංකම් ඔබ දකින්නට ඇති. අතීතයේදී සරල ආගමික වතාවතක් වූ කඨින පිංකම අද වන විට ආගම් අතර, නිකායන් අතර, පන්සල් අතර, පේරු අතර, වීදි අතර, ගෙවල් අතර තරගකාරිත්වයේ ප්‍ර‍චණ්ඩ ප්‍ර‍කාශනයක් බවට පත් වී තිබෙනවා. මැදියම් රැයේ සාමය කඩ වන පරිදි රතිඤ්ඤා ආදිය පුපුරුවමින්, අලි ඇතුන්, නැටුම් ගැයුම් මෙන් ම නාගසලං ද සහිතව යන මෙම පෙරහරවලින් සංකේතවත් වන සමාජ සංසිද්ධිය විග්‍ර‍හ කරගැනීම ඉතා වැදගත්. සෙසු ආගම්වල උත්සවවල තත්වයත් මෙය ම තමයි.

සමාජයේ වටිනාකම් බවට පත් වී තිබෙන්නේ කුමන හෝ ආකාරයෙන් යහමින් මුදල් හම්බ කිරීම, හැකිතරම් යාන වාහන, දේපල, වස්තුව රැස්කිරීම, භාණ්ඩ පරිභෝජනය හා විනෝදාස්වාදයයි. මුදල් හම්බ කිරීමේ පහසුම ක්‍ර‍මය බවට දේශපාලනය පත් වී තිබෙනවා. වෛද්‍ය, ගුරු වැනි ජීවිතයට දැඩි ලෙස බලපාන වෘත්තීන් දැඩි ලෙස වානිජකරණය වී තිබෙනවා. කාටත් අවශ්‍ය පහසුවෙන් හා ඉක්මණින් ධනවත් වීමටයි. මහන්සි වී වැඩ කරන්නට තරුණ තරුණියන් පවා කම්මැලියි. දවස පුරා ත්‍රිරෝද රථ නැවතුම් ස්ථානවල ඈනුම් අරිමින් කාලය කා දමන තරුණ පරපුරකුත් ඉන්නවා. සමාජ සම්බන්ධතා ද වෙළඳපොළ ගනුදෙනු ස්වරූපය ගෙන තිබෙනවා. ආදරය වැනි යව්වනය සමග දැඩි ලෙස සම්බන්ධ කාරණා කොයි තරම් විකෘති වී තිබෙනවා ද? මගේ නිවසේ සිට නගරයට තිබෙන පාරේ කිලෝමීටර් හතරක පමණ දුරක කාමර කුලියට දෙන ස්ථාන පහක් තිබෙනවා. පැය දෙකෙන් දෙකට කුලියට දෙන මෙම කාමර දවල් කාලය පුරා ම තරුණ තරුණියන්ගෙන් පිරී ගොසින්. හැබැයි, ප්‍ර‍සිද්ධ උද්‍යානයක ගැහැණියකට හා පිරිමියෙකුට අතින් අල්ලාගෙන යන්නට හෝ නිදහස නැහැ. විනෝදාස්වාදයේ ප්‍ර‍ධාන මාධ්‍යය බවට පත් වී තිබෙන්නේ කඨෝර ශබ්දයේ, ඇස් ගිනිකණ වට්ටන ආලෝකයේ, අධික තදබදයේ, මත්පැන්වල, මත්ද්‍ර‍ව්‍යවල, ලිංගික හිංසනයේ හා ප්‍ර‍චණ්ඩත්වයේ තෝතැනි බවට පත් වී තිබෙන සංගීත සංදර්ශනයි. පොදු ප්‍ර‍වාහන බස්රථය ද එවැනි අත්දැකීමක් දෙන රාත්‍රී සමාජශාලාවක තත්වයට පත් කරගෙන තිබෙනවා. කලකට ඉහතදී පිරිත්, ධම්ම චින්තා, දවසේ සිතුවිලි විකාශය වූ හිමිදිරි උදෑසන ජනතාව වැඩට රැගෙන යන බස්රථවලත් වාදනය වන්නේ මැදියම් රැයේ උච්ච අවස්ථාවල සංගීත සංදර්ශනයි. හූවක් ඕනේ!

මේ අතරවාරයේ සාහිත්‍යය, කලාව පමණක් නොවෙයි ක්‍රීඩාව පවා දැඩි පරිහාණියකට ලක් වී තිබෙනවා. අඩු තරමේ ක්‍රිකට්වලින් හෝ සතුටු වන්නට මිනිසුන්ට අවස්ථාවක් නැහැ. සමාජය රෝගීයි. මන්දපෝෂණය වගේ ම තරබාරුකමත් සමාජය ඉහවහා පැතිරෙනවා. මේ සියල්ලම මැද සමාජයට විහිළු සපයන ප්‍ර‍ධාන මාධ්‍යය බවට පත් වී තිබෙන්නේ දේශපාලනයයි. වයස අවුරුදු පහට අඩු සෑම දරුවන් හයදෙනෙකුගෙන් ම එක් අයෙකු උසට සරිලන මහතකින් යුක්ත නොවේ. එඋපදින සෑම බිළිඳුන් හයදෙනෙකුගෙන් ම එක් අයෙකු අඩු බර දරු උපතකි. නාගරික ප්‍රදේශවල ප්‍ර‍ජනන වියේ පසුවන සෑම කාන්තාවන් දෙදෙනෙකුගෙන් ම එක් අයෙකු එක්කෝ අධිබර ය. නැතිනම් ස්ථුල ය.

මෙවන් දූෂිත සමාජයක අපට මීට වඩා වෙනස් ජීවිතයක් බලාපොරොත්තු විය හැකි ද? අප මේ නෙළාගනිමින් සිටින් අප විසින් වපුරන ලද බීජවල අස්වැන්නයි. අවාසනාව අප නැවත නැවතත් වපුරමින් සිටින්නේ එම බීජ ම වීමයි. මේ අතරවාරයේ අප මේ සකල දෝෂවලට සරල හේතු සොයමින් සිටිනවා. ඒ හේතු බොහෝ විට අපෙන් බැහැර වෙන අය තුළ දකින්නටත්, වෙනත් අයට දෝෂාරෝපණය කරන්නටත් අප පෙළඹෙනවා. ආණ්ඩුව, දේශපාලකයන්, බටහිර සංස්කෘතිය, විදෙස් කුමන්ත්‍ර‍ණ ආදිය තරමට ම හෝ ඊටත් වඩා අප අප ම මේ තත්වය සම්බන්ධයෙන් වගකිව යුතු බව වටහා ගැනීම අත්‍යවශයි. නැතිනම් අප මේ නරකාදියෙන් ගොඩඑනවා බොරු ය.

– අජිත් පැරකුම් ජයසිංහ, 2018 දෙසැම්බර් 3 ලංකා පුවත්පත

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *