මිය ගිය කොටින් සමරන්නට උතුරේ දෙමළ මිනිසුන්ට අයිතියක් නැද්ද?

මුල්ලිවයික්කාල්
මුල්ලිවයික්කාල්

අද මැයි 18දා. රජය යුද්ධය ජයගෙන රටේ සුසමාදර්ශීය වෙනසක් හෙවත් සමස්ත තත්වයන්ගේ දැවැන්ත විපර්යාසයක් සිදු වීම සලකුණු වන දිනය අදයි.

ඕනෑම යුද්ධයකදී කිසියම් පාර්ශ්වයක් ජයග්‍රාහී නම්, පරාජිත පාර්ශ්වයක් ද සිටිනවා. ලංකාවේ නම් මේ යුද්ධය සිදු වුණේ අභ්‍යන්තරිකව නිසා පරාජිත පාර්ශ්වයත් ලංකාවේ ම මිනිසුන්.

යුද්ධයක් කියන්නේ දැවැන්ත සමාජ, ආර්ථික, දේශපාලනික, මානසික හා භෞතික කාර්ය සම්පාදන මෙහෙයුමක්. එය අවුරුදු 30ක් තිස්සේ පවත්වා ගැනීම කියන්නේ ඊටත් වඩා දැවැන්ත වැඩක්. එය කිසියම් පුද්ගලයකුට හෝ කුඩා කණ්ඩායමකට කිසි සේත් ම කරන්නට බැහැ. එය විශාල සමාජයක ම බලමුළුගැන්වීමක්.

උතුරේ යුද්ධය කියන්නේ ප්‍ර‍භාකරන්ගේ සටනක් නෙමෙයි. සමස්ත දෙමළ සමාජයේ ම බලමුළුගැන්වීමක්. ඒක එහෙම තේරුම් නො ගන්නා තාක් අප ඉන්නේ අඳුරේ. එසේ වන්නට හේතු තිබුණා. නැවත එවැන්නක් සිදු වීම වළක්වා ගත හැක්කේ ඒ හේතුවලට පිළියම් යෙදීමෙනුයි.

කොටින්ගේ යුද්ධයට අකැමැති කොටස් දෙමළ සමාජයේ සිටියේ නැති බවක් එයින් කියවෙන්නේ නැහැ. ඒත්, සමස්ත දෙමළ සමාජයේ යොමුව ඒ දෙසට හැරෙන එක වළක්වන්නට ඒ පිරිසට හැකි වුණේ නැහැ.

මා හිටියෙ දකුණේ සිංහල සමාජයේ යි. යුද්ධය ජයගෙන කිරිබත් කන විටත් මා නම් හිටියේ යුද විරෝධී ස්ථාවරයක ම තමයි. අදත් එහෙමයි. යුද්ධය යුද්ධයෙන් ම අවසන් කළ යුතු ය යන ස්ථාවරය මා නම් අදත් පිළිගන්නේ නැහැ. එයට හේතුව, එයින් විනාශ වන්නේ ද අපේ රටේ ම ජනතාව වීමයි. එය එහෙම ම වුණා. මා වැනි තවත් අය සිංහල සමාජයේ සිටියත්, අපට ද සිංහල සමාජයේ යොමුව යුද්ධය දෙසට හැරෙන එක වළක්වන්නට බැරි වුණා.

යුද්ධය කියන්නෙ තනි අතින් ගහපු අප්පුඩියක් නෙමෙයි. යුද්ධයේ දෙපාර්ශ්වය ම අවසන් යුද්ධයේ ප්‍ර‍තිඵලයට වග කිව යුතුයි. කොටි සංවිධානය යුද්ධයෙන් ජය ගත්තා නම්, ප්‍ර‍තිඵලය මීට වඩා වෙනස් විනාශයක් වෙයි කියා මා සිතන්නේ නැහැ. ඒ යුද්ධය අවසන් වීමේ මග වැටී තිබුණේ ම යුද අපරාධ හරහායි. ඒ බව, අද යුද අපරාධ පිළිබඳ අද ප්‍ර‍ශ්න කරන අය පවා එදා දැන සිටියා. යුද අපරාධ ගැන අද අඬා වැටෙන අයගේ පාර්ශ්වය ජයග්‍ර‍හණය වෙත යොමු වුණා නම්, එය සිදු වන්නේ ද යුද අපරාධ මැදිනුයි. පරාජය තුළ පවා කොටි සංවිධානයත් යුද අපරාධ කළා.

යුද අපරාධ ප්‍ර‍ශ්නයක් වී තිබෙන්නේ වගකියන්නට නායකයන් ඉතිරි වූ ජයග්‍රාහී පාර්ශ්වයටයි. පරාජිත පාර්ශ්වයේ නායකයන් විනාශ වීම නිසා ඔවුන්ට යුද අපරාධ සම්බන්ධයෙන් වගකියන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

යුද්ධයක් ජය ගන්නට යුද අපරාධ කරන්නට සිදු වුණා නම්, කිසියම් පිරිසක් එය කළා නම්, යුද්ධයට ආවැඩූ සමාජයට ඒ වගකීම සාමූහිකව භාර ගන්නට සිදු වෙනවා. සිංහල සමාජයට යුද අපරාධ සම්බන්ධ වගකීමෙන් මිදෙන්නට බැහැ. හමුදාවල අයට පමණක් නොවෙයි, රණකාමිත්වය ප්‍ර‍වර්ධනය කරමින් බලය ගොඩනගා ගත් දේශපාලකයන්ටත්, යුද පුවත් අලෙවි කළ මාධ්‍යවලටත් ඒ වගකීමෙන් ගැලවෙන්නට බැහැ.

අද වන විට ඒ අය හැසිරෙන්නේ ඉතා මුග්ධ ආකාරයෙන්. යුද අපරාධයක්, කිසිදු ඝාතනයක් සිදු නොවූ බවට තර්ක කරන්නට යාම තරමක් මුග්ධ වැඩක්. අපට කරන්නට පුළුවන් දෙය වන්නේ තිබුණු පසුබිම පිළිබඳ පැහැදිලි කර ඒ වෙනුවෙන් පොදු වරද පිළිගැනීමක් කිරීම හා නැවත එවැනි තත්වයන් ඇති නො වන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමයි. සංහිඳියාව ඇති කිරීම කියන්නේ එයටයි. යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නට යාමෙන් සිදු වන සෙතක් නැහැ. හැබැයි, කිසිදු වරදක් සිදු නොවූ බව කියන්නට යාමෙන් වාසි අත්පත් කර දෙන්නේ යුද අපරාධ චෝදනා මත යැපෙන පිරිසටයි.

මේ අතර, පසුගියදා රජයේ පුවත්පත් සාකච්ඡාවේදී මාධ්‍යකරුවන් පිරිසක් විසින් උණුසුම් තත්වයක් නිර්මානය කරනු ලැබුවා. ලංකාවේ ජනමාධ්‍යකරුවන් අතර දැන් අලුත් විලාසිතාවක් වී තිබෙන්නේ තමන් ද පුවතේ කොටස්කරුවකු වෙමින් වාර්තා කිරීමයි. මෙය බාල විලාසිතාව ආරම්භ කළේ බීබීසී සිංහල මාධ්‍යකරුවා වන අසාම් අමීන් බවයි, අනිද්දා පුවත්පතේ මාධ්‍යකරුවකු වන කේ. සංජීවගේ අදහස.

කෙසේ වෙතත්, අදාළ පුවත නිර්මානය වුණේ උතුරේ දෙමළ සංවිධාන විසින් යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන් සැමරීම සඳහා ගන්නා පියවර හා සම්බන්ධවයි. ඔවුන් මවා ගත් හැඟීම්බර රංගනයක් සමග කරන ලද ප්‍ර‍ශ්න කිරීමට රාජිත සේනාරත්න ඇමතිවරයා දුන් පිළිතුරුවලින් මෙම පුවත නිර්මානය වුණා.

රාජිත සේනාරත්න ඇමතිවරයා ඇසූ ප්‍ර‍ශ්නය වුණේ දකුණේ ජවිපෙට කැරැලි දෙකකදී මිය ගියවුන් සමරන්නට අයිතියක් තිබේ නම්, උතුරේ අයට එසේ නැති විය හැක්කේ කෙසේ ද යන්නයි. මෙය ඉතා සාධාරණ තර්කයකි. දෙක ම ත්‍ර‍ස්තවාදී කැරැලි වූ අතර, එකක් ඊලාම් රාජ්‍යයක් ද, අනෙක, සමාජවාදී රාජ්‍යයක් ද ඉලක්ක කළේ ය. දෙකේ ම අවසන් ඉලක්ක ය මේ රටේ පැවැත්ම වෙනස් කිරීමයි.

තිස් අවුරුදු යුද්ධයේ රජයේ පාර්ශ්වය නියෝජනය කළ ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක සේවා සාමාජිකයන් ද, ආධාරක සේවාවල අය ද 28,500ක් මිය ගිය බව රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය අද උදේ සාරප්‍ර‍භාගිර ගුවන් විදුලි වැඩසටහනේදී මා සමග පැවසුවා. ඒ පවුල්වල අයටත්, ආබාධ සහිතව විශ්‍රාම ගිය 8500ක පිරිසකටත්, ආබාධ සහිතව තව දුරටත් හමුදාවේ සේවය කරන 11,500කටත් රණවිරු සේවා අධිකාරිය සේවා සපයන බව ඇය පැවසුවා.

යුද්ධයේ අනෙක් පාර්ශ්වයේ මරණ හා ආබාධිත වීම් මේ සංඛ්‍යා මෙන් කිහිප ගුණයක් විය හැකියි. ඊට අමතරව, යුද ක්‍රියාමාර්ග හේතුවෙන් සිරගතව සිටින තවත් පිරිසක් ද සිටිනවා. ත්‍ර‍ස්තවාදී චෝදනාවලට ලක් වුණත්, ඔවුන් දේශපාලන සිරකරුවන් ලෙස සැලකීමේ වරදක් නැහැ. අප මතක තබා ගත යුතු කාරණය වන්නේ ඒ ද මේ රටේ මිනිසුන් ම බවයි. ඔවුන් පිළිබඳ සොයා බැලීමත් රජයේ වගකීමක්. සිංහල මූලික මධ්‍යම රජය එය කරන්නට අකැමැති වීම බලාපොරොත්තු විය හැකි තත්වයක්. ඒ වගේ ම, උතුරු පළාත් සභාව තමන් නියෝජනය කරන මේ ජන කොටස පිළිබඳ සොයා බලා කටයුතු කිරීමත් අවශ්‍ය දෙයක්. කවුරුවත් ඒ ගැන තරහ විය යුතු නැහැ.

ඔවුන්ටත් ඔවුන්ගේ මළවුන් සිහිපත් කරන්නට අයිතියක් තිබෙනවා. ඔවුන්ගේ මරණයට හේතු වූ කාරණා අප පිළිගන්නවා ද නැද්ද යන්න එයට අදාළ නැහැ.

හෙට බත්තරමුල්ලේදී රණවිරු සැමරුමක් පැවැත්වෙනවා. යුද්ධයෙන් මිය ගිය සොල්දාදුවන්ගේ පවුල්වල සාමාජිකයන් 3000ක් ඇතුළු පිරිසක් සහභාගි වන මෙම උත්සවයට ජනාධිපති, අගමැති, ත්‍රිවිධ හමුදා ප්‍ර‍ධානීන් හා මැති ඇමතිවරුන් සහභාගි වනවා. එහි ද කිසිදු වරදක් නැහැ.

මේ රටේ යුද්ධයක් සිදු වුණා. එහි ජයග්‍රාහී පාර්ශ්වයක් මෙන් ම පරාජිත පාර්ශ්වයක් ද සිටිනවා. ඔවුන්ට යුද්ධය දැනෙන ආකාර විවිධයි. ඔවුන් යුද්ධය සමරන්නේ තමන්ට හැඟෙන, දැනෙන තැනින්. එය විවිධාකාරයි. ඒ විවිධත්වයට ගරු කිරීම හා ඉඩ දීම තමයි විවිධත්වයෙන් පිරුණු සමාජයක සංහිඳියාවට පාර.

Please follow and like us:

2 thoughts on “මිය ගිය කොටින් සමරන්නට උතුරේ දෙමළ මිනිසුන්ට අයිතියක් නැද්ද?

  1. *තිස් අවුරුදු යුද්ධයේ රජයේ පාර්ශ්වය නියෝජනය කළ ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක සේවා සාමාජිකයන් ද, ආධාරක සේවාවල අය ද 28,500ක් මිය ගිය බව රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය අද උදේ සාරප්‍ර‍භාගිර ගුවන් විදුලි වැඩසටහනේදී පැවසුවා. ඒ පවුල්වල අයටත්, ආබාධ සහිතව විශ්‍රාම ගිය 8500ක පිරිසකටත්, ආබාධ සහිතව තව දුරටත් හමුදාවේ සේවය කරන 11,500කටත් රණවිරු සේවා අධිකාරිය සේවා සපයන බව ඇය පැවසුවාය*
    මගේ සරල පැනය ෆොන්සේකා මහත්මිය ට..එතකොටLTTE ය නියෝජනය කර මියගිය, ආබාධිත වූ අයට මේ සහනය නැද්ද…එවුන් අපේ රටේ වුන් නොවෙයිද?
    …Can anyone publish this question in elsewhere to grab more public attention under my name.
    Thanks.

  2. Sinhala Buddhists" should read and understand why the Buddha prevented 2-3 times prince Virudhabha (son of King Pasenadi Kosol) going to kill the Sakyans at that time. Then he realized the bad kamma of Sakyans was so strong that they would eventually get killed by the powerful prince. On their way back from his killing rampage, prince Virudhabha and his army were destroyed by powerful floods.

    *Nobody but bad kamma wins at the end.*

    දෙමලා මරා දමා ලේ මුසු කිරිබත් අනුභව කල බහුතර සිංහල බෞද්ධ සුපින්වතුන් විසින් තේරුම් ගන්ට ඕනෑ කාරණය නම් අප මහා බුදු පියාණන් විරුධාභ කුමරුන් ( පසේනාදි කොසොල් රජුගේ පුත්) විසින් ශාඛ්‍ය වංශිකයන් සමූලඝාතන තැත දෙතුන්වරක් වැලැක්වූයේ මන්ද කියාය.

    එහිදී බුදු පියාණන් විසින් තම නැණ නුවන විහිදා බැලූ කල පෙනී ගියේ ශාඛ්‍යයයන්ගේ කර්ම ඵලය සෘනාත්මක බැවින් බලවත් විරුධාභ කුමරුන්ගෙන් විනාශ වීමට නියමිත බවයි.

    ශාඛ්‍යයයන් සමූලඝාතනය කර ආපසු එන ගමනේදී විරුධාභයන් සහ ඔහුගේ සෙනඟ බලවත් සැඩ පහරකට හසුව නදියෙන් එතෙර වීමට නොහැකිවූ මුත් මෙලාවින් නම් එතෙර වූහ.

    ** දිනනුයේ අන් කිසිවක් නොව කර්ම ඵලයයි**

    සිංහලයන්ට ප්‍රභාකරන් ඇතුළු LTTE ය සමූලඝාතන ය කර දැමිය හැකි වුවද සිංහලයන්ගේ සෘන කර්මය බලවත් බැවින් ආපසු එන ගමනේදී මහින්දයාගෙන් ගැලවීමට බැරි විය. මේ කර්මය කෙතරම්ම බලවත් ද යත් අමාරුවෙන් මහින්දයාගෙන් ගැලවුනු සෙනඟට දැන් දස මාර සේනාධිපති ගෝටාබය ගෙන් ගැලවීමට කොහෙත්ම නොහැකි සෙයකි.
    නැවතත්…

    *දිනනුයේ අන් කිසිවක් නොව කර්ම ඵලයයි*

    ( බුද්ධ දේශනය මා හා සන්නිවේදනය කල ඇඑජ යේ මිචිගන්වාසී ආචාර්ය අරුණ ජයසිංහයන ට ප්‍ර
    ණාම)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *