මුස්ලිමුන් වෙළඳාමෙදි සිංහලයන් පරදවන්නේ කොහොම ද?

bagsඅවුරුද්ද මුල දරුවන් දෙන්නාට බිරිඳ පාසල් බෑග් දෙකක් අරන් දුන්නා මතුගම පස්කුවල් මාවතේ මුස්ලිම් කඩේකින්. අපට බඩු ගනිද්දි කඩේ සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද කියන එකට වඩා මිළ, කොලිටිය, කස්ටමර් කෙයා, පාකිං වගේ දේවල් වැදගත්.

පොඩි කෙල්ලන් බෑග් ගන්ක ගියාම බලන්නෙ පාට, පිංතූර ආදිය නේ. කොහොම හරි තරමක් හොඳ බෑග් දෙකක් අරන් දුන්නා. මේ බෑග් අරන් සුමාන දෙකක් යනකොට ඒවායෙ සිපර් කැඩුණා. සිපර් බාලයි.

ඒ පාර ඒවා ගෙනිහින් දුන්නා අපට අලුතෙන් සිපර් දාලා දෙන්න ය කියලා. පාසල් බෑග්වලට බාල සිපර් දාන එක ගැන මම කඩේ අයිතිකාරයාට දොස් කිව්වා. ඒ පාර ඔවුන් බෑග් හදලා දුන්නා දින කීපයකට පස්සෙ.

හදිසියට බලන්නෙම නැතුව ගෙදර අරගෙන ආවාට බෑග්වලට අලුතෙන් සිපර් අල්ලලා තිබුණු විදිය අන්තිමයි. බෑග් මැහුවට පස්සෙ ආයෙ සිපර් ගලවලා අල්ලන්නට මුළු බෑග් එක ම ලිහන්නට ඕනැ ඇති. ඒ වෙනුවට මාට්ටුවක් ගහලා දුන්නාට ඒක හරි ගියේ නැහැ. ඒ පාර සිපර් ගාවින් බෑග් ඉරුණා.

ඊළඟ දවසෙ නම් කඩේට ගියේ මල ම පැනලා. දමා ගහල එන්නම් මූණෙ ම කියලා හිතාගෙන.

හැබැයි ඒ යනකොට අපට අලුත් බෑග් දෙකක් වෙන් කරලා.

“ඒ බේග් ගෙන කම්ප්ලේන් ආවා. අපි යේ ඕඩරෙක නෙවැත්තුවා. මිස්ලා මේ බේක් දෙක ගන්න.”

එතනින් එහාට ආයෙ මොකට බනින්න ද? ඔන්න ඔහොමයි ඔය කට්ටිය බිස්නස් අල්ලන්නෙ. එක පාරට ම පාර දෙන්නෙ නැහැ. ලාබ ගන්නෙ විද්‍යානුකූලව.

සිංහල මුදලාලිලා මේ විදියට බිස්නස් කලාව පිහිටලා නැත්තෙ ඇයි? ඒකට එක හේතුවක් තමයි සිංහලයා බහුතර මහ ජාතිය වීම. මුස්ලිම් මිනිහා සුළුතර ප්‍රජාවකට අයිති කෙනෙකු විදියට බිස්නස් කරනකොට දක්වන යටහත් පහත්භාවය සිංහල මුදලාලිලා ළඟ නැහැ. ධනවත් වෙන්න, වෙන්න සිංහල ව්‍යාපාරිකයන් සමාජ ප්‍රභූත්වයත් අත් කර ගන්නවා. ඔවුන් එතකොට තව දුරටත් පාරිභෝගිකයාට ගරු කරන්නට අවශ්‍ය නැති මානසිකත්වයකට තල්ලු වෙනවා.

මතුගම ටවුවෙ සිංහල මුදලාලිලා ඇතැමෙක් කඩ දමාගෙන ඉන්නෙ තමන්ගෙ ම ගොඩනැගිලිවල. එතකොට ඔවුන්ට ලාභ ලබන්නට ලොකු මහන්සියක් වීමේ උවමනාවක් නැහැ. හැබැයි, මතුගම ටවුමෙ අධික කඩ කුලිය ගෙවාගෙන බිස්නස් එකට පිටින් බහින මුස්ලිම් වෙළෙන්දා කෙසේ හෝ ලාභ ලැබිය යුතුයි.

ඒ නිසා ඔවුන්ට මතුගම සමහර මුදලාලිලාට වගේ “සත පහක් අඩු නෑ. ඕනැ නම් ගනින්. එපා නම් පලයන්,” ලෙවල් එකෙන් මූණෙ හිනා පොදක් නැතුව රවාගෙන ඉන්න බැහැ.

එහෙම නැතත්, මුස්ලිම් වෙළඳුන් කියන්නේ පාරම්පරිකව වෙළඳාම කරන, තමන්ගෙ දරුවනුත් වෙළඳාමට ම යොමු කරන, වෙළඳාමට ම ඇපකැප වුණ පිරිසක්. ඒත් බොහෝ සිංහල ව්‍යාපාරිකයන් වෙළඳාම ජීවිතේ ඉහළ නගින තාවකාලික ඉනිමගක් විදියට විතරයි පාවිච්චි කරන්නෙ. ඔවුන් තමන්ගෙ දරුවන්ව දොස්තරලා බවට පත් කර, කඩ කුලියට දීලා වෙළඳාමෙන් ඉවත් වනු බොහෝ විට දකින්නට පුළුවන්. ඒ කඩ කුලියට අරගන්නෙත් මුස්ලිම් ව්‍යාපාරිකයන් තමයි බොහෝ විට.

ඇතැම් සිංහල කඩවලට ගියාම මුදලාලිලා විතරක් නෙමෙයි, සිංහල වෙළඳ සේවක සේවිකාවනුත් හැසිරෙන්නෙ හරියට අපි ලොකු කරදරකාරයන් පිරිසක් වගේ. ටවුමෙ ඇතැම් සිංහල මුදලාලිලාගෙ වෙළඳාමට ඇත්තට ම ලොකු හයියක් වෙලා තියෙන්නෙ දෙමළ වෙළඳ සේවකයිනුයි. සිටි ස්ටෝර්ස්, කල්‍යාණි ට්‍රේඩර්ස් වගේ තැන්වල මම මෙවැනි ඉතා හොඳ වෙළඳ සේවකයන් දැක තිබෙනවා. ඔවුන් ඉතා මැනැවින් පාරිභෝගික සත්කාරය දන්නවා.

අනෙක් කාරණය තමයි සිංහල හෝටල්කාරයන්ගෙ අපිරිසිදුකම. මතුගම ටවුමෙ තියෙන දෙමළ, මුස්ලිම් හෝටලුත් ඒ තරමට ම අපිරිසිදු තමයි. මතුගම කියන්නෙ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියලා ජාතියක් ඉන්න ටවුමක් වෙන්න බැහැ. කෑම කඩ ඒ තරමට අපිරිසිදුයි. හැබැයි, මුස්ලිම් කඩකාරයන් පිටට පේන්නට හරි ලස්සනට කඩ දානවා. මදීනා කියන්නෙ මතුගම පුරාවෘත්තමය හෝටල් නමක්. ඒ නමින් අලුත්ගම පාරෙ අලුතින් දාපු කඩේ උදාහරණයක්. බස් නැවතුම්පල ඉදිරිපිට තිබෙන සිංහල කඩ බලන්න. මේ කඩවලට තිබෙන වෙළඳාමේ හැටියට පාරිභෝගිකයාට අවම හොඳ මට්ටමක් හරි පවත්වාගෙන යන්නට බැරිකමක් නැහැ. ඒත් කරන්නෙ නැහැ. බස් නැවතුම්පළ කිට්ටුව තට්ටු ගානක බිල්ඩිමක් තියෙන හෝටලය තවත් එවැනි උදාහරණයක්. ගොඩනැගිලි අලුත් වුණාට ඒවායේ මුදලාලිලාගේත්, වෙළඳ සේවකයන්ගෙත් ආකල්ප අලුත් වෙන්නෙ නැහැ. මතුගම ටවුමෙ තේ එකක් පිරිසිදුවට බොන්නට පුළුවන් එක කඩයක්වත් නැහැ.

ඉතින් මුස්ලිම් අය අධික මිළට කඩ කුලියට අරගෙන බිස්නස්වලට බැස්සාම නිකම් ම වෙළඳාම ඔවුන් අතට යනවා. ඒක වෙන්නෙ පාරිභෝගික සත්කාරය කියන පුංචි උපාය හරහා. එහෙම පාරිභෝගිකයන් දිනාගෙන ඔවුන් වැඩි ලාභ අරගෙන මතුගමින් පිටට අරන් යනවා. එතකොට තමයි සිංහල මුදලාලිලාට තක්කු මුක්කු වෙන්නෙ.

එතකොට බහිනවා ලුම්පන් ජාතිවාදී සෙට්, හාමුදුරුවරු එහෙම ඉස්සර කරගෙන. ඒගොල්ලන්ට සල්ලි ටිකක් වීසි කළාම පුළුවන් අවුරුදු කාලෙට එහෙම මතුගම ටවුම වටේ පෝස්ටර් පාරක් එහෙම අලවගන්න සිංහල කඩෙන් බඩු ගන්න අරව මේවා කියලා. ඒ ගමන් වඳ පෙති, වඳ බ්‍රෙසියර්, ජංගි අරවා මේවාත් පතුරුවා ගන්නට පුළුවන්. ඔය මොන මගුල කළත් හරි යන්නෙ නැති වෙනකොට ගහන්නට වෙනවා. මතුගම ටවුමෙ නම් තවම එහෙම සීන්කෝන් ඇති වුණේ නැහැ. ඒකටත් එක්ක දර්ගා ටවුමෙ, වැලිපැන්නෙ එහෙම අවුල් ඇති වෙනකොට මෙහෙනුත් කට්ටිය ටක් ගාලා බහිනවා.

මුස්ලිම් මිනිසුන් මතුපිටට පේන්නට පුරාජේරුවට ලොකුවට බිස්නස් කෙරුවාට ඔවුන් දමාගෙන තිබෙන කඩ ගොඩනැගිලි බොහෝ විට අයිති වෙන්නෙ සිංහලයන්ට. මතුගම ටවුමෙ එහෙම කඩ කුලී අස්ප ගණන් බව කවුරුත් දන්නවා. මේ කඩ හිමියන් කූල් එකේ ඉඳලා සෑහෙන ගානක් අතට ගන්නවා. හැබැයි තෘප්තිමත් නැහැ.

සිංහලයන් ව්‍යාපාරික අතින් අසාර්ථක නැහැ. මතුගම පල්ලිගොඩ ස්ටෝර්ස් වගේ ඒවා ඉතා දියුණු ව්‍යාපාර. සිංහල මුදලාලිලාට බොහෝ විට මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ තරගයට මුහුණ දෙන්නට අමාරු සිල්ලර වෙළඳාමෙදියි. ඒකට මූලික හේතුව පාරිභෝගික සත්කාරයේ තිබෙන ගැටලුවයි.

මේ පැතිවල මුස්ලිම් මිනිස්සු වෙළඳ ප්‍රජාවක්. ඔවුන් වෙළෙඳුන් විදියට ඉතා සංකීර්ණ ලෙස ජාලගත වෙලායි ඉන්නෙ. අපි බෑග් උදාහරණයකට ගත්තොත්, ඒවාට අවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන අය, බෑග් නිෂ්පාදනය කරන අය, බෙදාහරින්නන්, වෙළෙන්දන් එහෙම ජාලගත වෙලායි ඉන්නෙ. මේ අංශවලට පිවිසෙන්නට අවශ්‍ය අයට හැඳුනුම්කම් හරහා ඒ විෂයයන් ඉගෙන ගන්නා එකත් පහසුයි.

හැබැයි, සිංහල ව්‍යාපාරිකයන් අතර තරගය අධිකයි. ඔවුන් අර වගේ ජාලගත වෙන්නේත් නැහැ. ජාතිය, ජාතිය කියමින් මන්තරේ වගේ ජප කෙරුවත්, තමන්ගෙ ජාතියෙ කෙනෙකුටවත් උදව් කරන්නෙත් නැති තරම්. සමගිය අවමයි.

ඒ නිසා සිංහල ව්‍යාපාරිකයන්ට සිදු වෙනවා, කලින් කලට ලුම්පන් ජාතිවාදීන් ලවා මුස්ලිම් ව්‍යාපාරිකයන්ට පහර දීලා, ඔය වඳ පෙති වගේ සීන්කෝන් දාලා බිස්නස් කඩාගන්නට. ඒ වුණාට, අර මූලික ප්‍රශ්න එතන ම නිසා ගිනි තියපු කඩේ ආයෙ දැම්මත් බිස්නස් ආපහු එතැනට ම ඇදිලා යනවා. මුස්ලිම් ව්‍යාපාරිකයන් මේ යථාර්ථය හොඳින් දන්නවා.

මුස්ලිම් මිනිසුන් කොයි තරම් වෙළඳාමට දක්ෂ වුණත්, ඔවුන් දේශපාලනික වශයෙන් සිංහල සමාජයට වඩා පසුගාමීයි. ඒ නිසා ඔවුන් ද ඉතා පහසුවෙන් මුස්ලිම් අන්තවාදී අදහස් වෙත යොමු වෙනවා. අන්තවාදීන්ට මුදලින් එහෙම උදව් කරනවා ඇති. එතනින් එන සිංහල විරෝධය කඩේටත් අරන් එනවා. හැබැයි සයන්ස් එක දන්නා නිසා අමුවෙන් ගේම ගහන්න යන්නෙ නැහැ. ඉතා ම සෞම්‍ය විදියට අවසාන විග්‍රහයෙදි හොඳ ගේමක් දෙනවා.

වෙළඳාම කියන්නෙ ලාභය තමයි. ලාභයටත් ජාතියක් නැහැ. ලාභ ලැබීමේ අපේක්ෂාවෙදි ජාති, ආගම් ඉබේ ම මගහැරෙනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් කතා අතෑරලා කවුරු කවුරුත් හරියට බිස්නස් කරන්න. ලාභ ගන්න. හැබැයි, අයුතු ලාභ ගන්න උත්සාහ කරන්න එපා. පාරිභෝගිකයන්ට අවංකව සලකන්න.

Please follow and like us:

4 thoughts on “මුස්ලිමුන් වෙළඳාමෙදි සිංහලයන් පරදවන්නේ කොහොම ද?

  1. /බොහෝ සිංහල ව්‍යාපාරිකයන් වෙළඳාම ජීවිතේ ඉහළ නගින තාවකාලික ඉනිමගක් විදියට විතරයි පාවිච්චි කරන්නෙ. ඔවුන් තමන්ගෙ දරුවන්ව දොස්තරලා බවට පත් කර, කඩ කුලියට දීලා වෙළඳාමෙන් ඉවත් වනු බොහෝ විට දකින්නට පුළුවන්. /
    මේක වෙළදාමට පමණක් පොදු වුවක් නොවේ, අතලොස්සක් වූ සාර්ථක ගොවියන්ටත් අදාලයි, ඇඹිලිපිටියේ කෙසෙල් වගාවෙන් බිත්තිත් ටයිල් කරලා හදපු ගෙවල් අද ගරා වැටිලා, ඔවුන් කොළඹ ඇවිත් දරුවන්ගේ ළමයි බලාගන්නවා. ඒ කුඹුරු දැන් වගා කරන්නේ බදු ගොවියෝ, කලාවැවේ මුල් ජනපදවල දහිරිය ඇති වී/මිරිස් ගොවියෝ හැත්තෑ ගණන්වල තැනු බංගලා මූකලන් වෙලා. ඒ පවුල් වලින් ගමේ ඉතිරිවෙලා ඉන්නේ දෙමාපියන්ට හිසරදයක්හි වූ හිතුවක්කාර අපතයෝ විතරයි, උන් කස්සිප්පු පෙරනවා. වයිට් කොලර් ජොබ් සංස්කෘතිය ජනතාව හූරන් කනවා මදිවට ග්‍රාමීය ආර්ථිකයත් බිඳ දමනවා.

  2. // ඒ නිසා ඔවුන් ද ඉතා පහසුවෙන් මුස්ලිම් අන්තවාදී අදහස් වෙත යොමු වෙනවා. //

    that’s very foolish thing to say, not to mention completely unsubstantiated.

  3. පැරා, මේකෙදි මුස්ලිම් කඩ වලට ගහනවා. හැබැයි ඔය කඩ අයිතිකාරයෝ බඩු ගන්නේ වැඩි හරියක් සිංහල Suppliers ගෙන්. මේ අය ඒක නැවැත්තුවොත් කොහොමද? අනිත් එක එහෙම ප්‍රශ්ණයක් තියෙනවනම් සංහල Suppliers ට පුළුවන් මුස්ලිම් අයට බඩු නොදී ඉන්න.. එහෙම නොඉන්නේ මේක තනිකරම බිස්නස් එකක් නිසා. ඔය කියන ජාතිවාදය එතකොට නෑ. සිංහලයට බිස්නස් අඩු වෙනකොට විතරයි ජාති ආලේ මතක් වෙන්නේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *