මෙන්න බොලේ සතුටින් ජීවත් වන කම්කරුවෙක් (වීඩියෝ)

මේ සමග තිබෙන වීඩියෝවේ ඉන්නේ පයාගල විතානලාගේ සුගතපාල. ඔහු වැඩ කරන්නෙ ගාලු පාරේ මග්ගොන, නිව් මෝනිස් බේකරියේ රථ ගාලේ. ඔහු එහි ආරක්ෂක නිලධාරියා විතරක් නෙමෙයි, ආයතනයේ ප්‍රවර්ධකයෙක්. මට ඔහු හමු වුණේ ඊයේ ගාලු පාරේ යද්දී යි. ඔහු පිළිබඳ මීට කලිනුත් මාධ්‍යවලින් වාර්තා වුණා.

මෝනිස්ගේ විස්කෝතු ගැන මාර්ටින් වික්‍රමසිංහ මහතා පවා ලියා තිබේ. පරණ තාලේ බේකරියක් වන එහි සේවය කරන මේ මිනිසා තමන් හඳුන්වන්නේ ප්‍රීතිමත් මිනිසකු ලෙස යි. ඔහු විශාල වැටුපක් ලබන්නකු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ලොකු වැටුප් ලැබිය හැකි රැකියාවකට යන්නට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය කුසලතා ඔහුට නැතුවා වන්නට ද පුළුවන. එහෙත්, ඔහු තම කාර්යය උපරිමයෙන් ඉටු කරන්නෙකි. ඒ වෙනුවෙන් යම් නිර්මානශීලිත්වයක් ද එකතු කළ අයෙකි. ඔහුට රජයේ රැකියාවල මෙන් සුරක්ෂිතබවක් හා වැඩ කරන්නට බැරි කාලයේ ජීවත් වන්නට විශ්‍රාම වැටුපක් නොලැබෙන බව ද පැහැදිලි ය. එහෙත්, මෙරට ශ්‍රම වෙළඳපොළේ ස්වාභාවික තත්වයන් හා රාජ්‍ය සේවය අතර ඇත්තේ අහස පොළව වැනි පරතරයකි. අවාසනාව වන්නේ රජයේ සේවක මධ්‍යම පන්තිකයන්ට සුරක්ෂිත ශ්‍රම තත්වයක් නිර්මානය කර දීම සඳහා ඵලදායී වැඩ කරන මැද පෙරදිග ශ්‍රමිකයන්, ඇගලුම් කම්කරුවන්, වැවිලි කම්කරුවන්, කෘෂි කම්කරුවන්, අවිධිමත් අංශයේ කම්කරුවන් ආදීන්ට ශ්‍රම වෙළඳපොළේදී මුහුණ දෙන්නට සිදු වන කටුකත්වයන්ට සහනයක් රජයෙන් හෝ නොලැබීම යි.

ඔහු සිය ආදායම් සීමාව තුළ සිය අපේක්ෂාවන් සැලසුම් කරගෙන ලද දෙයින් සතුටු වී ජීවත් වෙනවා නම් එහි ඇති වරද කුමක් ද? මෙවැනි කම්කරුවන්ට ලබා දිය හැකි විමුක්තිය කුමක් ද?

ඔවුන්ට රැකියා සුලබ විය යුතු ය. අවම වැටුප් හා ශ්‍රම කොන්දේසි සඳහා රජය විසින් ප්‍රමිති නිර්මානය කළ යුතු ය. අසාධාරණ ලෙස රැකියා අහිමි කිරීම් වැළැක්වීමට නියාමනයන් තිබිය යුතු ය. රැකියා කරන අතරතුර, තමන් කැමති නම්, තම වෘත්තීය හා අධ්‍යාපන කුසලතාවන් සංවර්ධනය කර ගැනීම සඳහා අවස්ථා විවෘතව තිබිය යුතු ය. තමන් කැමති නම් රැකියාවෙන් උසස් වන්නට හෝ රැකියාව වෙනස් කරන්නට ද, නැතිනම්, තමන් කරන රැකියාවේ ම ප්‍රවීණත්වය ලබා ගන්නට ද ඔවුන්ට නිදහස තිබිය යුතු ය. රැකියා කරන අතරතුරදී සිදු විය හැකි අනතුරු සඳහා රක්ෂණාවරණයක් තිබිය යුතු ය. වැඩ කරන්නට බැරි කාලයේ ජීවත් වන්නට සමාජාරක්ෂණ ක්‍රම තිබිය යුතු ය.

නිර්ධනයා කියන සංකල්පය මට අනුව නම් මහා යල් පැන ගිය එකකි. කම්කරුවා අනිවාර්යයෙන් නිර්ධනයකු විය යුතු නැත. එහෙම වෙලාත් නැත. අද වන විට කම්කරුවන්ට ඉතුරුම්වලින් දේපල පමණක් නොව සමාගම් කොටස් පවා මිළට ගන්නට කම්කරුවන්ට අවස්ථාව ලැබී තිබේ. නවීන කම්කරුවා යනු බුද්ධිමත්, පුහුණු ශ්‍රමිකයෙක් මිස වහලෙක් නොවේ. ශ්‍රම වෙළඳපොළේ තත්වයන් අනුව කුසලතා ගොඩනගා ගන්නා කම්කරුවන්ට කේවෙල් කිරීමේ හැකියාව ද තිබේ.

පහත දැක්වෙන්නේ පසුගිය මැයි 1දා මා කම්කරු දිනය නිමිත්තෙන් තැබූ සටහනක කොටසකි.

වාමාංශික දේශපාලනය විසින් ලංකාවේ ප්‍රවර්ධනය කර තිබෙන මධ්‍යම පන්තික අපේක්ෂා හරි ප්‍රබලයි. වාමාංශිකයන්ට බලය නැති වුණාට ඔවුන්ගේ මධ්‍යම පන්ති දේශපාලනය තමයි ලංකාවේ දේශපාලන ක්‍රමයේ පදනම. කම්කරු පන්තිය මතත් පටවලා තිබෙන්නේ මේ මධ්‍යම පන්තික විඥානය ම තමයි. ඒක පරාජය කරන්නට නම්, අපි නිකම් ඉඳ මහජන මුදලින් වැටුප් ගැනීම වෙනුවට වැඩ කිරීම අගයන සමාජයක් හදන්නට ඕනැ. ඒ වගේ ම කම්කරුවන් මධ්‍යම පන්තිකයන් බවට පත් නො වී කම්කරුවන් ලෙස ම දියුණු වීම තහවුරු කරන්නට ඕනැ.

කම්කරුවා ද ඇත්තට ම ප්‍රබන්ධයකි. සියලු මිනිස්සු විවිධාකාරයෙන් වැඩ කරති. සමහරු කායිකව වැඩ කරති. සමහරු මානසිකව වැඩ කරති. සමහරු වැඩ කළමනාකරණය කරති. සමහරු හිමිකාරිත්වය සම්බන්ධ වැඩ කරති. සමහරු අඩුවෙන් වැඩ කරති. සමහරු වැඩියෙන් වැඩ කරති. සමහරු තමන් කරන වැඩවලින් වින්දනයක් ලබති. සමහරු හෙම්බත් වෙති.

ඇත්ත ම කියනවා නම් කිසිම වැඩක් නො කරන කිසිවෙකු නැත. දේශපාලකයෝ පවා වැඩ කරති. මුළු ලෝකය ම වැඩ ලෝකයකි. මේ අතර, වැඩ අතර යම් වෙනසක් දැකිය හැකි ය. සමහර වැඩ ඵලදායී ය. සමහර වැඩ ඵලදායී නැත. උදාහරණයක් ලෙස, දේශපාලකයන් වැඩි දෙනෙකු කරන වැඩවල කිසිදු ඵලදායිතාවක් නැත. මැද පෙරදිග ගිය ශ්‍රමිකයන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි අය කරන වැඩ නිසා ලංකාවේ වැඩක් නැති වැඩ කරමින් ඉන්න කාලකණ්ණින්ට කාලා ඇඳලා ඉන්නට පුළුවන්.

හැබැයි, ලෝකෙ මිනිසුන් කරන වැඩ අතරින් කොයි එක ඵලදායී ද, කොයි එක නිෂ්ඵල ද කියා හොයන එක හරි අමාරු වැඩක්. වැඩවල ඵලදායීතාව විග්‍රහ කරන්නට සිදු වන්නෙත් කිසියම් කතිකාවක් ඇතුළෙ. දැන් මං බ්ලොගර් කෙනෙකු විදියට කරන මේ වැඩේට අර්ථයක් ඇති වෙන්නෙ ඒ හා සම්බන්ධ කතිකාව ඇතුළෙ.

අපි හිතමු කිසියම් කම්කරුවෙකු උක් වත්තක වැඩ කරනවා ය කියලා. එහෙම වැඩ කරලා ඔහු නිෂ්පාදනය කරන සීනි කියන්නෙ මිනිසාගෙ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. එයින් කෙනෙකුට දියවැඩියාව හැදෙන්නටත් පුළුවන්. හැබැයි, සීනි නැති ලෝකෙ ජීවිතය හරි නීරස වෙන්නටත් පුළුවන්. උක් කම්කරුවාගෙ වැඩ ඵලදායී ද නැද්ද කියලා විනිශ්චය කරන්නට වෙන්නෙ ඒ කතිකාව ඇතුළෙ.

ඉතින් මං කිව්වා වගේ කවුරුත් වැඩ කරනවා. කාගෙ කාගෙත් වැඩ මේ ලෝකෙට විවිධාකාරයෙන් අදාළ වෙනවා. ඒ අතරෙ අපි කම්කරුවන් කියලා වැඩ කරන විශේෂ පිරිසක් වෙන් කර ගන්නවා.

කවුරු ද කම්කරුවා කියන්නේ? මං හිතන්නෙ නැහැ, කම්කරු ඔස්තාද්ලා කිසිවෙකුට පුළුවන් ය කියලා වැඩ කරන මිනිසුන් අතරින් කම්කරුවන් මේ අය ය කියලා පැහැදිලිව වෙන් කරලා දක්වන්නට. ඒ නිසා, අර මං කලින් කිව්ව ලැයිස්තුවේ ඉන්න පිරිස කොළඹ මැයි පෙළපාලි යන එකේ අවුලක් නැහැ. ඒගොල්ලනුත් කම්කරුවන් තමයි. ඒ වගේ ම රනිල් වික්‍රමසිංහලා, මෛත්‍රීපාල සිරිසේනලා, මහින්ද රාජපක්ෂලා මැයි පෙළපාලි ගියත් කමක් නැහැ. ඒගොල්ලනුත් වැඩ කරනවා. කම්කරුවා පැහැදිලිව වෙන් කර දක්වන්නට බැරි සංදර්භයක් ඇතුළෙ ඒගොල්ලන් කම්කරුවන් නෙමෙයි කියන්නට බැහැ නේ.

කම්කරුවා කියන්නෙ ඇත්තට ම ප්‍රබන්ධයක්. මනසේ නිර්මානය කර ගත් සංකල්පයක්. භාෂා හරඹයක්.

ඒ නිසා කම්කරු පංතිය කියන්නෙත් ඒ වගේ ම ප්‍රබන්ධයක්. එතකොට ධනපති පන්තියත් එහෙමයි. අර මං නිතර බනින මධ්‍යම පන්තියත් එහෙමයි.  ඔය ඔක්කොම ප්‍රබන්ධ.

හැබැයි අපි මේ කම්කරුවන්, ධනපතියන්, පන්ති ගැන තියෙන කතිකාව පිළි ගන්නවා නම්, ඒක ඇතුළෙ ඉඳන් පන්ති විග්‍රහ කරන්න, පෙළපාලි යන්න, රතු කමිස අඳින්න ගැටලුවක් නැහැ. ඒ කතිකාව පිළිගන්නවා ය කියන්නෙ තිසරණ සරණ යනවා වගේ ම වැඩක්. ඒක සමාදන් වීමක්. ඇදහීමක්.

අපි මේ දර්ශනයන්, දෘෂ්ටිවාදයන් ගැන කියන්නෙ මෙච්චරයි. යථාර්ථය දිහා බලන්නට එහෙම එක එක විදියෙ කවුළු තියෙන එකේ කිසිම අවුලක් නැහැ. හැබැයි, යථාර්ථය කියන සමස්තයයි, ඒ දිහා බලන පර්යාලෝකයි සමරූපී නැහැ. තමන්ගෙ කවුළුවෙන් පෙනෙන විදිය තමයි එක ම යථාර්ථය ය කියමින් ඒක අපේ කටේ උලන්නට එන එක යි අවුල.

බුද්ධිමත්, අනාගතවාදී, සාමාන්‍ය ජනතාව නිදහස් මතධාරීන් විය යුතුයි. එතකොට දීප්තිගෙ කවුළුවයි, නිර්මාල්ගෙ කවුළුවයි, විදර්ශනගෙ කවුළුවයි, වංගීසගෙ කවුළුවයි, නලින්ගෙ කවුළුවයි, මහින්ද පතිරණගෙ කවුළුවයි, සුමනසිරි ලියනගේගෙ කවුළුවයි, දයාන් ජයතිලකගෙ කවුළුවයි, මිලින්ද මොරගොඩගෙ කවුළුවයි, රොහාන් සමරජීවගෙ කවුළුවයි, චින්තන ධර්මදාසගෙ කවුළුවයි කියන හැම එකෙන් ම බලන්න පුළුවන්. (මේ නම් ලැයිස්තුවට ෆොරින් නම් ලැයිස්තුවකුත් දාගන්නට පුළුවන් ඕනැ නම් තමන් ඒ අයව හොඳින් දන්නවා ය කියලා පෙන්නන්නට.) ඒ කවුළුවෙන් දකින විදිය ගැන හිතන ගමන් දැනගෙන ඉන්නට ඕනැ වෙන කවුළුවලින් බැලුවා ම වෙන විදිවලටත් පෙනෙන්නට පුළුවන් ය කියන එක.

දි අයිඩියොලොජි, ද ෆිලොසොෆි, ද රිලිජන් කියලා එකක් නැහැ. ලෝකෙ දෘෂ්ටිවාදයන්, දර්ශන, ආගම් ආදිය තියෙනවා. ඒ අතරෙ කිසිවකට නො බැඳුණු නිදහස් මනසක් ගොඩනගා ගන්න එක තමයි පළමු විප්ලවය.

Please follow and like us:

2 thoughts on “මෙන්න බොලේ සතුටින් ජීවත් වන කම්කරුවෙක් (වීඩියෝ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *