මෙය විප්ලවීය මොහොතකි

ශ්‍රී ලංකාවේ අර්බුදය තීව්‍ර‍ වෙමින් තිබේ. මේ වන විට අධිකරණයත් පැටලී තිබෙන මෙම අර්බුදයෙන් ගොඩ ඒමට මේ රටට තව වසර ගණනාවක් ගත වනු ඇත. රාජපක්ෂ පවුල් බලවේගයට අවශ්‍ය පරිදි මහ මැතිවරණයක් පැවැත්වීමෙන් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීමෙන් හෝ මෙම අර්බුදය විසඳෙන්නේ නැත. ඒවායින් සිදුවන්නේ අර්බුදය තව තවත් තීව්‍ර‍ වීම පමණි. තම ජනවරම එම ජනවරමින් පරාජය කරන ලද බලවේගයට පාවා දුන් ජනාධිපති සිරිසේන ජනාධිපතිවරණයක් කැඳවීම මේ අර්බුදයෙන් ගොඩ ඒමට යම් මාර්ගයක් පාදනු ඇත. එහෙත් එය ද බොහෝ අභියෝග හමු වන මාර්ගයකි. එහි යම් ප්‍ර‍ගතිශීලිත්වයක් තිබෙන්නේ එය පූර්ණ රාජ්‍ය ප්‍ර‍තිසංස්කරණයකට මග විවර කරගැනීමට යොදාගත හැකි බැවිනි.

පවත්නා සමාජ ක්‍ර‍මය ධනේශ්වර ලක්ෂණ සහිත සමාජ ක්‍ර‍මයකි. එහි පාලන බලය හොබවන්නේ රජය ම සිය ආදායම් මාර්ගය කරගත් ඉහළ මධ්‍යම පංතියකි. ඔවුන් ව්‍යවසායකයන් බවට පවා පත් වන්නේ මූලික වශයෙන් රජයෙන් විවිධ මාර්ගවලින් උපයා ගත් ප්‍රාග්ධනයෙනි. ඔවුන් ධනවත් පැළැන්තියක් මුත් ධනපති පන්තියක් වන්නේ නැත. නිෂ්පාදනය ඔවුන්ගේ මූලික කාර්යය නොවේ. ඔවුන්ගේ මූලික කාර්යය වන්නේ රජය පුළුල් කිරීම, රජය සමග කොන්ත්‍රාත් කිරීම, රජයෙන් වැටුප් හා වරප්‍ර‍සාද ලැබීම සහ රජය පවත්වාගෙන යාමයි. ව්‍යවසායක හා කම්කරු පන්තිවලට මෙම සමාජ ක්‍ර‍මය තුළ දේශපාලන හෝ මතවාදීමය බලයක් නැත. එහෙත්, ඔවුන් මේ සමාජ ක්‍ර‍මය ඔසවාගෙන යන ප්‍ර‍ධාන බලවේගයි. අප ඉහත සඳහන් කළ අතරමැදි පන්තියට සිය ආධිපත්‍යය පවත්වාගෙන යන්නට සිදු වී තිබෙන්නේ මෙම පන්තීන් සූරාකෑමෙනි. එක පැත්තකින් කම්කරුවන් ද අනෙක් පැත්තෙන් ව්‍යවසායකයන් ද සූරාකන මෙම අතරමැදි පන්තිය ඒ වෙනුවෙන් භාවිතා කරන ප්‍රධාන ආයුධය වන්නේ දෘෂ්ටිවාදයයි.

ලිබරල්වාදය, සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, මාක්ස්වාදය, පශ්චාත් මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය, සිංහල බෞද්ධ ජාතිකවාදය, දෙමළ ජාතිකවාදය වැනි වර්තමානයේ ජනප්‍රිය සියලු දෘෂ්ටිවාදයන් මෙම අතරමැදි පන්තික මතවාදී රාමුව විනිවිදින්නට අසමත් ය. මේ සෑම දෘෂ්ටිවාදයක් ම පදනම් වන්නේ පවත්නා ක්‍ර‍මය රැකගැනීමේ කොන්දේසිය මත ය. ඒ වෙනුවෙන් ඔවුන් කරන පළමු කාර්යය වන්නේ යථාර්ථය වසන් කරන විග්‍ර‍හයක් නිර්මාණය කරගැනීමයි. ඕනෑම රජයේ ආයතනයකට ගිය විට රජය පවතින්නේ කුමකට ද යන්න ඇස් පනා පිට ම දැක ගත හැකි ය. රජයේ රෝහලකට බෙහෙත් ගන්නට යන බුද්ධිමත් පුද්ගලයකුට වුව එය පවතින්නේ රෝගීන්ට ප්‍ර‍තිකාර කිරීමට නොව ඇමතිවරුන්ගේ සිට වෛද්‍යවරුන් හරහා රෝහල් සේවකයන්ට වැටුප් ගෙවීමට බව ද, රෝහලෙන් සේවයක් සැලසෙන්නේ එම පැවැත්ම මහජනතාවට සාධාරණීකරණය කිරීමට පමණක් බව ද පහසුවෙන් තේරුම් ගත හැකි ය. එසේ නම්, රජය ගොඩනැගිලි ආදිය හදමින් සෞඛ්‍ය සේවා සංවර්ධනය කරන්නේ ඇයි ද යයි ඔබ අසනු ඇත. මා කියන්නේ රජය එසේ කරන්නේ මහජනතාවට එසේ කරන බවට පොරොන්දු වී තිබෙන නිසා ය. අතරමැදි පන්තියේ බලය රැකගැනීමට එය අවශ්‍ය ය. නැතිනම්, යටිතල පහසුකම් සංවර්ධනයේ ඇත්ත අරමුණ රජය සමග කොන්ත්‍රාත් කරන පිරිස් හා සැපයුම්කරුවන් පොහොසත් කිරීම ය. අතරමැදි පන්තියේ බලවත් කොටස් වන දේශපාලකයන් කරන්නේ ඔවුන්ගෙන් ද කුට්ටියක් කඩාගැනීමයි.

මෙම සමාජ ක්‍ර‍මය දැන් තව දුරටත් පවත්වාගෙන යන්නට බැරි තරමට සමාජයට බරක් වී හමාර ය. ලක්ෂ 15ක් පමණ වන රජයේ සේවකයන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට පමණක් වසරකට රුපියල් බිලියන 1000කට වඩා වැය වේ. දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ වරප්‍ර‍සාද ද ඔවුන් නඩත්තු කිරීම සඳහා යන වියදම් ද එකතු කළ විට රජය පවත්වාගෙන යාම රුපියල් බිලියන දස දහස් ගණනක මහජන මුදල් නාස්තියකි. රජය පවත්වාගෙන යාමට හා අතරමැදි පන්තියට අතයට වාසි හැර වෙනත් කිසිවක් රටට නොලැබුණු හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල හා වෙනත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ගත් ණය දැන් ගෙවිය යුතු ය. ණය ගෙවන්නට තවත් ණය ගත් විට ණය පැටවු ගසයි. මේ වන විට සමස්ත රාජ්‍ය ආදායම ම ණය ගෙවන්නට මදි ය. මෙවන් සමාජ ක්‍ර‍මයක් තවදුරටත් පවත්වාගෙන යන්නේ කෙසේ ද?

එහෙයින් දැන් දැන් දේශපාලන අධිකාරීන්ට වඩා විනිවිද පෙනෙනසුළු ලෙස වැඩ කරන්නට සිදු වී තිබේ. පසුගියදා එළිදුටු ඉන්ධන මිළ සූත්‍ර‍ය මේ සඳහා කදිම නිදසුනකි. එහි වී එක, වී දෙක ආදී වශයෙන් සූත්‍ර‍ගත කෙරුණේ රජය නඩත්තු කිරීම සඳහා බදු ද ගෙවමින් ලෝක වෙළඳපොළේ මිළ ඉහළ පහළ යන ආකාරය අනුව තෙල් මිළදීගෙන පරිභෝජනය කිරීම හැර වෙනත් විසඳුමක් වැඩ කරන, බදු ගෙවන ජනතාවට නැති බවයි. තත්වය එයයි. ව්‍යවසායක හා වැඩ කරන පංතීන් අභිමුව දැන් පවතින අර්බුදය වන්නේ දැවැන්ත, අකාර්යක්ෂම අතරමැදි පන්තියක සුඛ විහරණය වෙනුවෙන් පවත්වාගෙන යන වත්මන් සමාජ ක්‍ර‍මය රැක ගැනීම සඳහා අනන්ත බදු බරකට කැමැත්තෙන් කර ගසනවා ද නැතිනම් මෙම සමාජ ක්‍ර‍මය රැඩිකල් අන්දමින් වෙනස් කරනවා ද යන්නයි. මෙය එක පැත්තකින් ව්‍යවසායක පන්තියටත්, අනෙක් පැත්තෙන් කම්කරු පන්තියටත් විප්ලවීය අවස්ථාවකි. මාක්ස්වාදී අර්ථයෙන් අවශ්‍ය නම් ධනේශ්වර විප්ලවයක් ලෙස ද හැඳින්විය හැකි ය. එහෙත්, අතරමැදි පන්තික බලය පිළිබඳ අදහසක් මාක්ස්වාදීන්ට නැත.

මේ වන විට පැන නැගී තිබෙන බල අරගලය අප විග්‍ර‍හ කරන්නේ මෙම දැක්ම තුළ සිටිමිනි. එහෙයින් එය හදිසියේ පැනනැගුණ තත්වයක් ලෙස අප දකින්නේ නැත. මෙම අර්බුදය පැනනගින්නේ ම, පවත්නා ක්‍ර‍මය රැකගැනීම සඳහා වඩා මර්දනකාරී පාලනයක් ඉල්ලා මධ්‍යම පන්තියේ පහළ තලය තුළ මතු වූ ජනප්‍රියවාදී රැල්ලත් සමගයි. බල අරගලයේ මුල එතැනයි. ජනාධිපති සිරිසේන  අසු වන්නේ එම රැල්ලේ බලපෑමට ය. මහින්ද රාජපක්ෂ ඉතා නිවැරදිව එතැනට ඇදී එයි. මේ වන විට එම බල අරගලය ප්‍ර‍ජාතාන්ත්‍රික සීමා තුළ සිදු විය හැකි උපරිම තලයට පැමිණෙමින් තිබේ.  එහි ප්‍ර‍තිඵලය පූර්ණ අරාජිකත්වයකි. ඉතා අසීරුවෙන් පවත්වාගෙන ගිය ආර්ථිකයක් මතට මෙම බල අරගලය කඩා වැටීම නිසා මෙම සමාජ ක්‍ර‍මය ඉතා ඉක්මණින් මුළුමනින් ම බිඳවැටෙන්නට අවස්ථාව උදා වී තිබේ. මේ වන විටත් රටේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම අර්ථ විරහිත තත්වයකට පත් වී හමාර ය. මෙය විප්ලවීය මොහොතකැයි අප කියන්නේ ඒ නිසා ය. ජනතාවනි, විප්ලවීය අරගල, ජාතික විමුක්ති අරගල, හමුදා කුමන්ත්‍ර‍ණ ආදී ඕනෑම ආකාරයක පඹගාලක පැටලීමට සූදානමින් සිටින්න.

අජිත් පැරකුම් ජයසිංහ

  • අනිද්දා පුවත්පතෙනි
Please follow and like us:

One thought on “මෙය විප්ලවීය මොහොතකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *